කොන්දේසි විරහිත පාක්ෂිකත්වයකට ඉන්දියාව තල්ලු කළ හැකි යයි එක්සත් ජනපදයට ඇති විශ්වාසය අදූරදර්ශීය; ස්වයං-විනාශකාරීය
මිලින්ද මොරගොඩ විසිනි (Click to Read in English)
ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වඩාත් බිඳෙනසුලු අවධියකට පිවිසෙමින් තිබේ. ඒ අතර, වොෂින්ටනයේ පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වන සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවෙකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. 1796දී සිය ධූරයෙන් සමුගැනීමේ කතාවේදී ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකානුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය: “සියලු ජාතීන් කෙරෙහි යහපත් විශ්වාසයකින් යුතුව යුක්තිය පිළිපදින්න. සියලු දෙනා සමඟ සාමය හා සමගිය වර්ධනය කරගන්න.” සියවස් දෙකකට වැඩි කාලයකට පසු, ඉතා වෙනස් නමුත් සමාන ලෙස තීරණාත්මක සන්දර්භයක එම වදන් රැව් පිළිරැව් දෙයි.
වසර ගණනාවක් තිස්සේ, ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සම්බන්ධතාව හඳුන්වනු ලැබුවේ “21 වන සියවස නිර්වචනය කරන හවුල්කාරිත්වයක්” ලෙසය. එය සිය සමාජවල වෙනස්කම් තිබියදීත්, බහුත්වවාදය, නවෝත්පාදනය සහ විවෘත වෙළඳපොළ සඳහා ඔවුන්ගේ කැපවීම හේතුවෙන් එක්සත් වී ඇති සුවිසල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දෙකක දුර්ලභ අභිසාරීත්වයකි. එහෙත් මෑත වසරවලදී, එම සබඳතාවෙහි අසහනකාරී වෙනසක් සිදුවී ඇත. අතීතයේදී මෙම හවුල්කාරිත්වයේ මූලික ගුණාංගය වූ විශ්වාසය වෙනුවට සැකය මෝදු වෙමින් වෙමින් පවතී.
මෙම නායයාමේ අපිකේන්ද්‍රය ඇත්තේ වොෂින්ටනයේ ඇතැමුන්ගේ භයානක ලෙස වැරදි ගණනය කිරීම්වලය. එනම්, එක්සත් ජනපදයට ඉන්දියාව කොන්දේසි විරහිතව තම පැත්තට නැඹුරු කරගැනීම සඳහා බලපෑම් කිරීමට හෝ “කළමනාකරණය” කරගැනීමට හැකි බවට ඇති විශ්වාසයයි. මෙම ප්‍රවේශය අදූරදර්ශී සහ ස්වයං-පරාජිත එකකි. ගෝලීය පිළිවෙල වඩ වඩාත් බහු ධ්‍රැවීයත්වයට නැඹුරු වන සහ පුරෝකථනය දුෂ්කර වන මොහොතක ඇමරිකාවේ වඩාත්ම ස්වාභාවික, අනුපූරක හවුල්කාරිත්වයක් බිඳ ගැනීමේ අවදානමක් නිර්මාණය කරගෙන ඇත.
ඉන්දියාව යනු හුදෙක් විශාල නැගී එන ආර්ථිකයක් පමණක් නොවේ. එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඉන්දියාව නැගී එමින් පවතින ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හතරක ආර්ථිකයකි. අභ්‍යවකාශ ගවේෂණයේ සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රමුඛයෙකි. ගෝලීය දකුණේ විශ්වාසදායක හඬකි. ආර්ථික විභවය, ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දීමේ හැකියාව සහ භූ දේශපාලනික ප්‍රවේශය සම්බන්ධ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙන රටවල් ඇත්තේ ස්වල්පයකි. ආරක්ෂක සහයෝගීතාවයේ සහ තාක්‍ෂණික හවුල්කාරිත්වයේ සිට ත්‍රස්තවාදයට එරෙහි සහ දේශගුණික ක්‍රියාමාර්ග දක්වා, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර එකිනෙක සමපාත වන ක්ෂේත්‍ර සංඛ්‍යාව වැඩි වෙමින් සහ එම ක්ෂේත්‍ර පුළුල් වෙමින් පවතී.
එසේ තිබියදීත්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය දැන් පරිවර්තනීය නැම්මකට මුලපුරා තිබේ. වෙළඳ ආරවුල් උත්සන්න වීම, බලශක්ති මිලදී ගැනීම් සම්බන්ධයෙන් ද්විතීයික සම්බාධක තර්ජන සහ සීමාකාරී තාක්‍ෂණික හුවමාරු පාලන තන්ත්‍ර යන සියල්ලම මගින් නිරූපණය කරන්නේ සම්මුතියක් ගොඩනඟා ගැනීමට වඩා පීඩනය යෙදීමට ඇති කැමැත්තයි. හවුල්කරුවන් අතර එකඟ නොවීම් ඇති වීම ස්වාභාවිකය. එසේ වුවද, ඒවා සමග ක්‍රියා කරන ආකාරය වැදගත් වේ. බලහත්කාර උපක්‍රම හොඳ හිත බිඳ දමනවා පමණක් නොව පිළිතුරු සඳහා ද ආරාධනා කරයි.
උපායමාර්ගික ස්වාධීනත්වය සඳහා ඉන්දියාවේ කැපවීම කේවල් කළ හැකි කරුණක් නොවේ. එය ඉතිහාසයේ මුල් බැසගත් ජාතික එකඟතාවකි. එහි ඇත්තේ හවුල්කාරිත්වයන් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එමගින් අදහස් වන්නේ හවුල්කාරීත්වයන් සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය මත ගොඩනැගෙන බව සහතික කිරීමයි. ඉන්දියාව තම පැත්තට ගැනීම සඳහා “හිරිහැර කිරීමට” ගන්නා උත්සාහයන් අසාර්ථක වීමට නියමිතය. ඒ හා සමානවම, යම් දිනක එක්සත් ජනපද අවශ්‍යතා සමඟ තරඟ කළ හැකි රටක් බැවින් ඉන්දියාවේ නැගීම මෘදු කළ යුතු බවට තවමත් ඇතැම් අංශවල පවතින මතය ද කරදරකාරී එකකි. එම මනෝභාවය අයත් වන්නේ ශුන්‍ය-ඓක්‍ය භූ දේශපාලනික යුගයකටය. එය විසින් 21වන සියවසේ උපායමාර්ගික යථාර්ථය නොසලකා හරිනු ලැබේ.
නැගී එන ඉන්දියාවක් යනු එක්සත් ජනපදයට තර්ජනයක් නොවේ. එය වත්කමකි. සමුද්‍රීය ආරක්ෂාව, සැපයුම් දාම ඔරොත්තු දීමේ හැකියාව සහ නීති මත පදනම් වූ අනුපිළිවෙල පිළිබඳව ගැටලු රටවල් දෙකටම තිබේ. එම සංදර්භය තුළ ඉන්දු-පැසිෆික් කලාපයේ ඉන්දියාවේ කාර්යභාරය අත්‍යවශ්‍ය වේ. ගෝලීය පාලනයේදී, ඉන්දියාවේ හඬ විසින් බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඉල්ලීම් ශක්තිමත් කරයි. එය එක්සත් ජනපදය විසින් ද සහාය දෙන බව කියා සිටින න්‍යාය පත්‍රයකි. තාක්ෂණය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ගත් කල, සිලිකන් නිම්නයේ සිට බැංගලෝර් දක්වා, ඉන්දියානු සහ ඇමරිකානු සමාගම් වඩ වඩාත් තදින් බැඳී ඇත.
එක්සත් ජනපදය පීඩනය මත පදනම් වූ වත්මන් මාවතේ දිගටම ගමන් කරන්නේ නම්, දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතාවක් තිබුණු හොඳම හවුල්කරුවෙකු ඈත් කරගැනීමේ අවදානමක් එහි තිබේ. වටිනාම දෙය විශ්වාසය වන බහු ධ්‍රැවීය ලෝකයක, එවැනි ඈත්වීම් හේතුවෙන් කල් පවතින ප්‍රතිවිපාක ඇති වේ. යුරෝපය සමඟ සබඳතා ගැඹුරු කිරීම, ආසියාන් සංවිධානය සමඟ සබඳතා පුළුල් කිරීම, දකුණු-දකුණු සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි විකල්ප ඉන්දියාවට තිබේ.තමන් සීමා කර ඇති බව හෝ අගෞරවයට පත් කර ඇති බවක් ඉන්දියාවට හැඟේ නම් එරට විසින් ඒවා භාවිතා කරනු ඇත.
මෙයින් අදහස් කරන්නේ සම්බන්ධතාව අලුත්වැඩියා කළ නොහැකි තත්වයට පත්ව ඇති බව නොවේ. එහෙත්, ප්‍රමාද වීමට පෙර වොෂින්ටනය තම ගමන් මග වෙනස් කළ යුතුය. බෙදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති, සමපාත වන උපායමාර්ගික අරමුණු සහිත සහ ස්ථාවර ගෝලීය පිළිවෙලක් හැඩගැස්වීමේදී එක්සත් ජනපදය සමඟ එක්ව වැඩ කිරීමේ හැකියාව ඇති අත්‍යවශ්‍ය සගයෙකු ලෙස ඉන්දියාව පිළිගත යුතුය. එහි තේරුම නම්, ඉන්දියාව කළමනාකරණය කිරීමේ මානසිකත්වය වෙනුවට හවුල්කාරිත්වය බලගැන්වීමේ ස්ථාවරයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බවයි. ඇමරිකාව සඳහා, තේරීම පැහැදිලිය: අවිශ්වාසය සහ බලහත්කාරය සමඟ ඉදිරියට යාම සහ ආසියාවේ ප්‍රබලම සගයකු අහිමි වීමේ ප්‍රතිවිපාකවල අවදානම ගන්නවාද? නැතහොත්, ඉන්දියාවේ නැගීම පිළිගෙන, එමගින් තමන්ගේම මූලෝපායික පදනම ශක්තිමත් කරගන්නවාද?
ජෝර්ජ් වොෂින්ටන් අනතුරු ඇඟවූ පරිදි, “තවත් කෙනෙකුට පුරුද්දක් ලෙස වෛර කරන හෝ පුරුද්දක් ලෙස ආදරය කරන ජාතිය යම් දුරකට වහලෙකි.” වර්තමාන ලෝකයේ, එයින් අදහස් කරන්නේ බිය සහ ආධිපත්‍යය විදේශ ප්‍රතිපත්තියේ පදනම බවට පත් කරගැනීම වෙනුවට, සමබරතාව, ගෞරවය සහ අන්‍යෝන්‍ය අරමුණු මත පදනම් වීම අවශ්‍ය බවයි.
(ලේඛකයා ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්, ඉන්දියාවේ මහ කොමසාරිස්වරයෙක් සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයෙක් වේ.)
කතුවරයාගේ ඇණවුම පරිදි අප විසින් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන ලද ලිපියකි. ඔබටත් මෙවැනි පරිවර්තන අවශ්‍ය නම්,
