ශාෆිට එරෙහි චෝදනා ඔප්පු කළ හැකිව තිබුණු සරල ම ආකාරය අතටම අල්ලාගැනීමයි

අජිත් පැරකුම් ජයසිංහ

දොස්තර ශාෆිට එල්ල වූ මූලික චෝදනාව වන්නේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධ වෙමින්, හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවයි. වඳ සැත්කම් කතාව නිර්මානය වන්නේ ත්‍රස්තවාදී සංවිධානවල අරමුණු අනුව යමින් සංහල ජාතිය විනාශ කරදැමීම සඳහා කරන ලද ක්‍රියාවක් ලෙසයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

මෙම චෝදනා තුන ම ඉතා බරපතල ය. එවැනි චෝදනා සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ යුතුව තිබුණු වෘත්තිකභාවයෙන් තොරව කටයුතු කිරීම වත්මන් තත්වයට හේතු වී තිබේ. කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දොස්තර ශාෆි අත්අඩංගුවට ගන්නේ අයථා ලෙස මුදල් ඉපැයීම හා වත්කම් අත්පත් කරගැනීම සම්බන්ධයෙනි. එහෙත්, ඉන්පසු නීතිය හා අපරාධ පරීක්ෂණය පිළිබඳ කිසිවක් නොදන්නා පිරිසක් විසින් වෙනස් තත්වයක් නිර්මානය කරන ලදී.

එම පිරිස වන්නේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ හා ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ අයෙකු බව කියන දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර, වෛද්‍ය විද්‍යා ගුරුවරයකු වන මහාචාර්ය චන්න ජයසුමන, දිවයින පුවත්පත, කලහකාරී භික්ෂුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි වැනි අයයි. මේ කිසිවෙකු නීතිය පිළිබඳව මෙන් ම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාව ගැන ද විශේෂඥභාවයක් නැති අය මුත්, ඔවුන් විසින් වෛද්‍ය ශාෆි විසින් සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කර තිබෙන බවට මතයක් ප්‍රචාරය කර, එම ප්‍රචාරය ඔස්සේ ශාෆි විසින් ප්‍රතිකාර කරන ලද කාන්තාවන් ද ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට පොළඹවන ලදී.

මෙවැනි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ විශේෂඥභාවය යම් දුරකට හෝ තිබෙන මේ රටේ එක ම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. විශේෂඥ සේවා පරීක්ෂණ සඳහා අවශ්‍ය අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සේවා ලබාගනියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක නිසා මෙම පරීක්ෂණය වෙනත් ආයතනයකට භාර දෙන්නැයි ඉල්ලා සිටින නීතිඥයන් එකී වෙනත් ආයතනය කුමක් ද යන්න නම් කළ යුතු ය. ජනාධිපති කොමිෂමක් ගැන ද ඇතැමෙකු සඳහන් කර තිබේ. ජනාධිපති කොමිෂන්, කමිටු ආදිය නීත්‍යානුකූලව පිහිටුවිය යුතු අතර ඒවා ද විශේෂඥ සේවා වෙනත් ආයතනවලින් ලබාගත යුතු ය. ඇතැම් විශේෂඥ සේවා ලබාගන්නට සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ලංකාවේ අනෙකුත් සියලු රාජ්‍ය ආයතන මෙන් විශ්වාස කළ නොහැකි ආයතනයකි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට 2005 වසරේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දිළිඳු කුලී කම්කරුවකු වූ මුත්තයියා සහාදේවන් නම් සැකකරු පසුගිය ජුනි 22 වනදා රිමාන්ඩ් බන්ධනාගාරයේදී ම මියගියේ ඔහු වරදකරුවකු බව ඔප්පු වන්නේ නැතුව ය. ඔහු කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ එකී ඝාතනයට මසකට පමණ පෙර කදිරගාමර් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසා බව වාර්තා විය. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එකී බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් යයි කියැවේ. එහෙත්, හිටපු ඉහළ පොලිස් නිලධාරියකු වූ නිවෙස් හිමියා අත්අඩංගුවටවත් ගත්තේ නැත.

සහාදේවන් නම් දිළින්දාට එල්ල කරන ලද ත්‍රස්ත චෝදනා වසර 14ක් ගත වීත් ඔප්පු කිරීමට හෝ ඔහු නිදහස් කිරීමට අසමත් වූ පොලිසිය වෛද්‍ය ශාෆි නම් ධනවත්, දේශපාලනික වශයෙන් ද බලවත්, සමාජ පිළිගැනීමක් තිබෙන පුද්ගලයාට එරෙහි පරීක්ෂණ කඩිනමින් සිදු කර ඔහු ත්‍රස්ත සංවිධානයක් සමග සම්බන්ධ නැති බව හා අයථා ලෙස මුදල් ඉපැයීම පිළිබඳ සාධක නැති බව පවසා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීති ක්‍රියාත්මක කිරීම අත්හිටෙව්වේ ය.

දැන් ඔහු තවදුරටත් සිරගත කර තබා ගන්නේ ඔහු නිදහස් කළහොත් මහජන කැළඹීමක් ඇති වේ ය යන පදනමින් පමණි. ඔහුට විරුද්ධව චෝදනා නැගූ අය දැන් එම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි සැපයීමට කටයුතු කරන්නේ නැත. උදාහරණයක් ලෙස කලින් නඩු වාරයේදී අගතියට පත් කාන්තාවන් එච්.එස්.ජී. නම් පරීක්ෂණයට ලක් කර කරුණු තහවුරු කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වූ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා එය වැළැක්වී ය. විකල්පව ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද ඔහු අසමත් වී තිබේ.

මෙම චෝදනාව ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. එච්.එස්.ජී. පරීක්ෂණ ඔස්සේ පවා එය සැකයකින් තොරව ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. එසේ තිබියදී රෝහල් සංඛ්‍යාලේඛන හරහා එය ඔප්පු කළ හැකි යයි තර්ක කරන නීතිඥයන්ගෙන් නීති උපදෙස් ලබාගන්නා අයට අනුකම්පා කිරීමට සිදු වේ. නිතිඥයන් සාමාන්‍ය අධිකරණ මූලධර්ම නොදන්නාකම බරපතල ප්‍රශ්නයකි. ලංකාවේ යුක්තිය පසිඳලීමේ පටිපාටිය ගැන එක්කෝ මෙම නීතිඥයන් දන්නේ නැත. නැතිනම්, ඔවුන්ට ද වෙන කියන්නට දෙයක් නැත. එහෙමත් නැතිනම්, ඔවුන් බලාපොරොත්තු වන්නේ අධිකරණයේ පූර්ව විනිශ්චය මත පදනම් වූ තීන්දුවකි. එහෙත්, මෙම වෛද්‍යවරයා ඉහත සඳහන් කරන ලද සහාදේවන් වැනි අසරණයකු නොවීම හා මෙම නඩුව පවරන ලද දේශපාලනික ස්වරූපය හේතුවෙන් එයට අනවශ්‍ය තරම් ලෝක අවධානයක් යොමු වීම හේතුවෙන් මෙම නඩුවෙන් නිදහස් වුවහොත් දොස්තර ශාෆිට හා පවුලට වෛරී ප්‍රකාශ, ජාතිවාදී බොරු චෝදනා, දේශපාලනික පළිගැනීම් ආදියෙහි වින්දිතයකු වීම වැනි කාරණා මත කීර්ති නාමයක්, අවස්ථා සහ හොඳ රටක දේශපාලන රැකවරණ ආදිය ද ලැබෙන්නට පුළුවන.

මෙම චෝදනා ඔප්පු කරන්නට බැරි වුවහොත් එම චෝදනා ගෙන ආ සිංහල ජාතිවාදීන්ට පමණක් නොව සමස්ත සිංහල ජාතියට ම නරක නාමයක් ගෑවෙනු ඇත. එසේම, ඉස්ලාම් අන්තවාදීන්ගේ තිරශ්චීන ප්‍රහාරය නිසා ලාංකිකයන්ට ලැබෙන්නට තිබුණු ජාත්‍යන්තර සහයෝගය එම සිද්ධියට සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර සහ මෙවැනි වෛරී ක්‍රියා හේතුවෙන් දැනටමත් අහිමි වී ගොසිනි.

වෛද්‍ය ශාෆි වර්ග සංහාර අරමුණකින් යුක්තව සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කළා ද නැද්ද යන්න අප දන්නේ නැත. ඔහුට එරෙහිව තිබෙන චෝදනා වෛද්‍ය විමර්ශනයකින් පවා සැකයකින් තොරව ඔප්පු කිරීම දුෂ්කර ය. එහෙත්, ජාතිවාදී පදනමින්, දේශපාලනික අරමුණු සහිතව, ලද අවස්ථාව පාවිච්චි කර පළිගැනීමේ චේතනාවෙන් තොරව කටයුතු කළා නම් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ටත්, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරටත් ඉතා පහසුවෙන් ශාෆි කොටු කරගන්නට හැකියාව තිබිණි. ඒ සැත්කමක් අතරතුරදී ඔහු එවැනි ක්‍රියාවක් කරන්නේ නම් එවිට ය. ඒ සඳහා ඕනෑතරම් ක්‍රම හා විධි තිබිණි. ඉවසීමෙන් විමර්ශනය කර එසේ කළා නම් මෙම අවුල නිර්මාණය වන්නේ නැත. එසේ කරන්නට අසමත් වීම ප්‍රධාන වශයෙන් ම මෙම නිලධාරීන් දෙදෙනාගේ වෘත්තීය විෂමාචාරයකි. එම ක්‍රියාව නිසා ලංකාවේ රජයටත්, සමාජයටත් දරන්නට සිදු වී තිබෙන පිරිවැය අධික ය.

කල දුටු කල වල ඉහගන්නට යන අයට හදිස්සියට කොරොස් කටේ අත දාගන්නටත් බැරි ය.