A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

‘පුරවැසියන්’ගේ සමනල සිහිනය දකින ලංකාවේ අවසන් සුහුඹුලන් අප ද?

දර්ශන කාහිංගල

තවමත් ළදරු අවධියක පසු වන ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදය විසින් ගොදුරු කොට, භක්ෂණය කරමින් සිටින බවක් දකිමි.  

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයන් මෙහි ආරම්භය හෝ උච්චස්ථානය නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ යයි ද හඟිමි. 

දැන් අප ගත කරමින් සිටිනුයේ කිසිසේත් ම ‘සාමාන්‍ය‘ ජිවිතයක් නො වේ.  ජන ජීවිතය අවුලෙන් අවුලට ගිලා බසිමින් තිබිය දී, බොර දියේ බිලි බාගන්නෝ ගාළුමුවදොර සිට කුලියාපිටියේ ඈත ගම්දනව් දක්වා විිහිද-විසිර- පැතිර ක්‍රියාත්මක වෙමින් සිටී.  අප ගත කරමින් සිටිනුයේ බියකරු අඳුරු මෙන් ම අති දිර්ඝ රාත්‍රියකි.  මේ අන්ධකාරයේ ඝනකම් එකිනෙකා පරයමින් ගොඩ නගමින් තිබෙන්නේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය බව මගේ නිරික්ෂණයයි.  

ඇතැම් විට ‘පුරවැසියන්’ගේ සමනල සිහිනය දකින, ලංකාවේ අවසන් සුහුඹුලන් මේ අප වනු ඇත.  හෙට දිනකදි අපි සියලු දෙනා ම අතිබහුතර යටත්වැසි සමාජය තුළ ගිල්වා නිහඬ කරනු ඇත! 

මේ මොහොතේදී පවා ගොඩ නගා ගත් සමාජ අවබෝධයක් තුළින් ජාතිවාදී මකරාක්ෂයන් පරාජය කිරිම යථාවක් ලෙස මම නො දකිමි.  ඊට තිබු සීමිත ඉඩ ප්‍රස්ථා පවා මේ වන විටත් වේගයෙන් අකුලා දැමෙමින් තිබේ.  ඉතිරි ව ඇත්තේ ගෝලීය මෙන් ම දේශීය ද ප්‍රතිවිරෝධතා උත්සන්න කිරිම හරහා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගා ගැනිමටත්, තහවුරු කරගැනීමටත් අංක එකේ සතුරා වන ජාතිවාදය පරාජය කිරීමේ උපක්‍රම ඔසවා තැබිමක් වනු ඇත.  
දැනට මෙසේ යෝජනා කීපයක් සිදු කරමි;

  • සිදුවීම් සම්බන්ධ සැබෑ තොරතුරු බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් මාධ්‍ය සාක්ෂරතා පුහුණුවක් සමඟ සමාජගත කළ යුතු ව තිබේ.      
  • කුමන ස්වරූපයක හෝ ජාතිවාදී සන්නිවේදනයක හෝ අසහනකාරීත්වය වැපිරීමේ පියවරයන් දුටු තැන විනාශ කර දැමීමට බලයක් සහිත ඒකක ස්ථාපිත කිරීමට රජයට බල කළ යුතුය.  විද්‍යුත් සන්නිවේදනය සම්බන්ධයෙන් මේ කාර්යය විිදුලි සන්දේශ කොමිෂන් සභාවට පැවරිය හැකි වනු ඇත.  එවැනි එක් රැස්වීම් සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක විය හැකි ආරක්ෂක ඒකක විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලීසිය හා ත්‍රිවිධ හමුදා මට්ටමින් පිහිටුවිය හැක. ඒවා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක ආදිය ප්‍රසිද්ධ කිරිමට බල කළ යුතු ය.
  • පොලීසිය හා අනෙකුත් ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය වහාම මෙ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වර්ධනයකට ගෙන ඒම ට අසමත් වන්නේනම්, විශේෂයෙන් ම මේ වන විටත් ඔවුන් ගේ මෙහෙයුම් ‘මුස්ලිම් සැකකරුවන්’ කේන්ද්‍ර කරගත් මට්ටම වෙනස් කිරිමට නොහැකිනම්, ආත්මාරක්ෂාව හා ප්‍රතිවිරෝධය දැක්වීමේ ඉඩප්‍රස්ථා සහ අයිතිය ආරක්ෂා කළ යුතු වේ.  
  • ජාතිවාදි මාධ්‍යයන් හා අනෙකුත් කුපිතකාරි බලවේග අධිකරණය ඉදිරියේ අඛණ්ඩව අභියෝගයට ලක් කළ යුතු ය.  ඒ සම්බන්ධයෙන් නීතිඥ එකතුන් සහ අරමුදල් ගොඩනැංවිමක් කළ හැකි වනු ඇත.
  • ලැබෙන පැමිණිලි සහ තොරතුරු සම්බන්ධයෙන් සිය වගකිම ඉටු කිරිමට අසමත් වන සියලු තරාතිරම් හි රජයේ නිලධාරීන් ට විරුද්ධව ක්ෂණික පියවර ගැනීම සහ වැරදි නිවැරදි කරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වහා පියවර ස්ථාාපිත කිරීමට රජයට බලකළ යුතු ය.
  • සමාජ මාධ්‍යයන් තුළ ජාතිවාදී අසත්‍ය ප්‍රචාරයන් හා කුපිතකාරි සන්නිවේදනයන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා දක්වා ඔවුන් සතු මාධ්‍යයන් වසා දැමිමට අවශ්‍ය පියවර සඳහා සංවිධානාත්මක විය යුතු වෙමු.

මේ මට දැනෙන පෞද්ගලික අදහස් කීපයක් මගේ මිතුරන් වන ඔබ සමඟ බෙදා ගැනිමකි.  මේවා  සුදුසු පරිදි සංවර්ධනය කර ගත හැකි නම් ඒ සඳහා ඔබගේ දායකත්වය අතිශයින් අගනා බව අමුතුවෙන් කිව යුතු නො වේ.  අපි මේ ගැන යම් අත්සාහයක් දරමුයි ඉල්ලමි.  ඇතැම් විට මේ අවසන් අවස්ථාව වනු ඇත.