පැතලි මහ පොළවේ වතුර රඳවාගෙන ඉන්න අයිස් වැටිය බලන්න චාරිකාවක්

මහ පොළව පැතලියි කියල තමයි ඈත ම අතීතයේ මිනිසුන් විශ්වාස කළේ. එහෙත්, ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ ග්‍රීක් ජාතිකයන් පවා මහ පොළව ගෝලාකාර බව සොයාගෙන තිබුණා. පයිතගරස්ට ඒ දැනුම තිබුණ බව විශ්වාස කරනවා. මහ පොළව ගෝලාකාර බව ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ක්‍රි.පූ. 350දී පමණ ය. ක්‍රිස්තු වර්ෂ 16වන සියවසේදී ෆර්ඩිනන්ඩ් මැගලන් ලොව වටා මුහුදු චාරිකාවක යෙදෙමින් මහ පොළව ගෝලාකාර බව වැඩිදුරටත් ඔප්පු කළා.

එහෙත්, 21වන සියවසේ අද පවා මහ පොළව පැතලි යයි විශ්වාස කරන මිනිසුන් සහ ඔවුන්ගේ විශ්වාස කල්ලියක් හෙවත් කල්ට් එකක් තිබෙන බව ඔබ පිළිගන්නවා ද? එපමණක් නොවෙයි, පෑන් කේක් එකක් සේ පැතලි මහ පොළවේ මුහුදු වතුර පිටතට ගලා නොයන්නේ එහි දාරය වටා තිබෙන දැවැන්ත අයිස් වැටිය නිසා බව ද ඔවුන් විශ්වාස කරනවා.

එක්සත් ජනපදය පදනම් කරගත් මේ පැතලි පොළව ජාත්‍යන්තර සම්මේලනයේ වෙබ් අඩවියේ ලිපිනයයි මේ. flatearthconference.com

දැන් ඔන්න ඔවුන් ඒ අයිස් වැටිය බලන්නට චාරිකාවක් යන්නට හදනවා. 2020දි සිදු වන්නට නියමිත මෙම චාරිකාව සඳහා එක්වන්නැයි ඔවුන් සිය සාමාජිකයන්ට ආරාධනා කරනවා. හැබැයි, මේ චාරිකාව යන නෞකාව ධාවනය වන්නේ ජීපීඑස් හා චන්ද්‍රිකා සන්නිවේදනය වැනි මහ පොළවේ ගෝලාකාර ස්වභාවය මත පදනම්ව ක්‍රියාත්මක වන තාක්ෂණයන් භාවිතා කරමිනුයි.

මහ පොළව ගෝලාකාර බව පෙන්වා දීම සඳහා ඉදිරිපත් කර තිබෙන සියලු විද්‍යාත්මක කරුණු ඔවුන් ඉතා සරල ලෙස කුමන්ත්‍රණ ලෙස බැහැර කරනවා.

ලංකාවේත් මෙවැනි විශ්වාස කල්ලියක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඔවුන්ට අනුව, බුදුන් උපන්නේ දඹදිව නොවෙයි ලංකාවේයි. බුදුන් උපන්, බුදු වූ, පිරිනිවන් පෑ ආදී සියලු ස්ථාන ලංකාවේ හඳුනාගත් බව ඔවුන් පවසනවා. ඔවුන්ගේ ද මූලික ලක්ෂණයක් වන්නේ සියලු පුරාවිද්‍යාත්මක සහ ඉතිහාස කරුණු කුමන්ත්‍රණ ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.

(Photo credit: Ian Cuming/Ikon Images via Getty Images)

Sinhala Tamil English Translations and Content Writing