මෙතනින් එහාට කුමක් කළ යුතු ද?

අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ. හදිසි නීතිය ක්‍රියාත්මක වේ. පොලිසියට, හමුදාවට ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලතල හිමි වී තිබේ.

(දැන්වීමෙන් පසු ලිපිය කියවන්න)
Media and Social Entrepreneur

මේ වන විට, ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බොහෝ පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත්, සැඟවී සිටින පුද්ගලයකු යම් විනාශකාරී ක්‍රියාවක් කිරීමට තිබෙන ඉඩ හේතුවෙන් සමාජය ඉතා පරිස්සමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

කෙසේ වෙතත්, දැන් සමාජයක් ලෙස අප වහ වහා කළ යුතුව තිබෙන දෙය වන්නේ සාමාන්‍ය තත්වය නැවත ඇති කිරීමට අවශ්‍ය පියවර අප විසින් ම ගැනීමයි. අප එදිනෙදා කරන වැඩ වැඩි පරිස්සමකින් යුතුව නැවත පටන් ගත යුතු ය. අපට රට වෙනුවෙන් කරන්නට තිබෙන ලොකුම මෙහෙය එයයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු වී ඇති බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයට ද, ආයෝජක ආකර්ශනයට ද මෙය මරු පහරකි. එහෙත්, ඕනෑ ම කළු වළාකුළක රිදී රේඛාවක් ඇත.

පසුගිය වසර හතරහමාරක කාලය තුළ මේ රටේ ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී වටපිටාවේ හොඳ, නරක දෙක ම මෙම සිද්ධියත් සමග ප්‍රදර්ශනය විය. හොඳ මුලින් ම කතා කරමු. සිද්ධියෙන් පසුව විශේෂයෙන් ම පොලිසිය හා ආරක්ෂක හමුදා මනා වෘත්තික පරිණතභාවයකින් යුතුව රටේ සාමය ආරක්ෂා කළෝ ය.

ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිවරයාත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, පොලිස්පති හා අගමැතිවරයාත්, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාත් ප්‍රහාරයට පෙර සිය වගකීම් හරිහැටි ඉටු කර නැති බව ඉතා පැහැදිලි ය.

එහෙත්, සමස්තයක් ලෙස ආණ්ඩුව හා රජය ප්‍රහාරයෙන් පසු ආරක්ෂක හමුදාවල සහාය ලබාගනිමින් තත්වය කළමනාකරණය කළ ආකාරය ප්‍රශස්ථ ය.

රටේ සාමය ආරක්ෂා වීම හා වි‍ශේෂයෙන් ම සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීම සඳහා අත්‍යවශ්‍ය ය. වාර්ගික ප්‍රහාර සහ ගැටුම් වළක්වාගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට මාස දෙකක් යන විට යළි පිබිදිය හැකි ය.

සමාජය ගිනිතැබීමේ හා පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ මාධ්‍ය මෙහෙයුම් නම් දැනටමත් ආරම්භ වී තිබේ. මාධ්‍ය ගැන සමාජ අවධානය යොමු වීම ඉතා වැදගත් ය.

පසුගිය සමයේ රටේ ඇති වූ විනයක් නැතිකමට ද නව ආරක්ෂක විධිවිධාන හේතුවෙන් සීමාවක් සලකුණු වී තිබේ. රට පුරා එක එක තැන්වල එක්රැස් කරගෙන සිටි ආයුධ ආදිය හසු වීම නිදසුනකි. මේ දිනවල සාමාන්‍ය අපරාධ රැල්ල මෙන් ම මාර්ග අනතුරු ද අඩු වී ඇති බව ඔබ නිරීක්ෂණය කළා ද?

Sinhala Tamil English Translations and Content Writing