අබ්දුල් හසන් ෆාතිමා හයිෆා

මුස්ලිම් පල්ලිවලින් දෙන නීති විරෝධී ආගමික දඬුවම් තහනම් කරනු

බන්ඩාරගම, අටුළුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆා බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මාධ්‍ය වෙත පැමිණ කළ කතාවට අවධානය යොමු විය යුතු ය. ඥානසාර හිමි තම මුස්ලිම් විරෝධී දේශපාලන අරමුණු වෙනුවෙන් ඇය පාවිච්චි කරනවා විය හැකි මුත්, එම කරුණ අතහැර පවා ෆාතිමාගේ ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු ය. එය සමස්ත මුස්ලිම් සමාජයේ ම කාන්තාවන් මුහුණ දෙන පොදු ගැටලුවක ප්‍රකාශනයක් පමණි.

වසර 2008දී ඇය සිංහල ජාතිකයයෙකු සමග විවාහ වීම නිසා ඇයටත්, සැමියාට හා දරුවන්ටත් ඇගේ ගමේ පල්ලියෙන් හා අසල්වැසියන්ගෙන් සිදු වූ තාඩන පීඩන ඇය හෙළිදරව් කළා ය. ඇය පවසන කාරණාවලින් වැටහෙන්නේ ඇයට එරෙහිව මුස්ලිම් පල්ලියේ මව්ලවිවරුන් විසින් දණ්ඩන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට උත්සාහ කර ඇති බවයි

ඇය පවසන පරිදි, ඇය ඇතැම් විට අතවරයට ලක් වී තිබෙන්නේ පොලිසිය ඉදිරියේදී ම ය. පොලිසිය ඇගේත්, පවුලේත් ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැත. ඇය විසින් කරන ලද පැමිණිලි හයක් විභාග නොකළ බව ඇය පවසයි.

මේ මෙවැනි පළමු සිද්ධිය නොවේ. වසර 2010 අගෝස්තු මාසයේ දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුදුන්දූව ගමේ පල්ලියේදී මව්ලවිවරුන් විසින් රාත්‍රියේ ශබ්ද විකාශන මගින් නිවේදනය කර ගෙන්වා ගන්නා ලද ගමේ පිරිමින් 100කට වැඩි පිරිසක් ලවා තරුණ කාන්තාවකට සැමියා ඉදිරිපිට බිම දමාගෙන පොල්පිති පහර දෙන ලදී. ඉන් පසු සිරුරෙන් රුධිරය වහනය වන්නට වූ හෙයින් පසුදින ඇය මාවතගම රෝහලට ඇතුළත් කරන ලදී. ඔවුන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් මාවතගම හා ගොකරැල්ල පොලිස් ස්ථානවලින් පියවර නොගත් බව වාර්තා විය.

වාර්තා වූ තවත් මෙවැනි සිදුවීම් රාශියක් තිබිය හැකි ය.

මෙම තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට පටහැණි ය. මුස්ලිම් පල්ලි මේ අන්දමින් රටේ නීතියට පටහැණිව යමින් විශේෂයෙන් ම කාන්තාවන්ට හිරිහැර කිරීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පොලිසියට මෙන් ම මුස්ලිම් බුද්ධිමතුන්ට ද වගකීමක් තිබේ.

මේ රටේ පවතින භාවිතාව අනුව, මුස්ලිම් නොවන වෙනත් ආගම්වලට අයත් පුද්ගලයන්ට ආගම් මාරු කිරීම නිසා මේ අන්දමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත. විශේෂයෙන් ම සිංහල සමාජයේ කාන්තාවන්ට ආගම් මාරුකිරීම හේතුවෙන් තාඩන පීඩනවලට මුහුණදෙන්නට සිදුවන්නේ නැත. සිංහල බෞද්ධ කාන්තාවන් යම් පිරිසක් පවා මුස්ලිම් ජාතිකයන් සමග විවාපත් වී ඉස්ලාම් ආගම වැළඳගෙන තිබෙනමුත්, එකී කාන්තාවන්ට බෞද්ධ සමාජයෙන් හිරිහැර වූ බවක් වාර්තා වී නැත.

රට පුරා පැතිරෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදය මෙන් ම සිංහල බෞද්ධ හා හින්දු ආදී අන්තවාදයන් ද පරාජය කළ යුතු ය.