බුරන හැම බල්ලකුටම පෙරළා බුරන්නට ගියහොත් රාජ්‍ය පාලනයට වෙලාවක් නැත

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පරිසරය වනසනු ලබන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුවේ. එය බොරුවක් නොවන බව ද පැහැදිලිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දසවැදෑරුම් ප්‍රතිපත්ති අතරින් නවවැන්න වන්නේ තිරසාර පරිසර කළමනාකරණයයි. එහි මෙසේ දැක්වේ: “අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයක් මෙන්ම සියලු වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතුය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලු පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතුය. සියලු ගංගා ඇලදොල පිරිසිදු කිරීමේ වැඩසටහනක් සමග පුරවැසියන්ට ජලය සඳහා ඇති ශුද්ධ වූ අයිතිය ආරක්ෂා කිරීම අප සතු වගකීමක් වේ.”

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අටවන කොටස සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන්නේ මෙම ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමටය.

ඒ තරම් පරිසරය ගැන සංවේදීබවක් ප්‍රකාශ කළ ආණ්ඩුවක් යටතේ දේශපාලන හෙංචයියන්ගේ අනුග්‍රහයෙන් මේ තරම් පාරිසරික සංහාරයක් සිදුවීම වර්තමාන විරෝධයට හේතුවයි. රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂ ඇමතිවරයා මෑතදී කළ ප්‍රකාශයකින් ආණ්ඩුවේ පරිසර අසංවේදීතාව සංකේතවත් වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශවලට ජලය ගෙනයාම සඳහා සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් තනා එයට හිලව් ලෙස කැලෑ වවන බව කී ඔහු ඒක බෝග රබර් වගාව වනය වැවීමට සමාන කළේය. ඔහු සිංහරාජය ගැනත්, වැසි වනාන්තරවල වැදගත්කම ගැනත්, ඒක බෝග වගාවේ ගැටලු ගැනත්, රබර් වගාව ගැනත් කිසිවක් නොදන්නා බව පෙනේ.

ඒ හා සමානම වැදගත් කාරණය වන්නේ රාජපක්ෂ පවුලේ ඩී.එම්., ඩ්.ඒ., ලක්ෂ්මන්, මහින්ද, නිරූපමා, නාමල්, චමල්, ශෂීන්ද්‍ර, බැසිල්, ගෝඨාභය ආදී වශයෙන් මේ විස්තෘත පවුලෙන් දශක හතක් පමණ කාලයක් මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, අගමැතිවරුන්, ජනාධිපතිවරුන් පත්වෙලාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනයාගේ මූලික අවශ්‍යතාවත් සපුරන්නට ඔවුන් අසමත් වී තිබීමයි.

කෙසේ වෙතත්, පැහැදිලි කරගත යුතු තවත් කාරණයක් තිබේ. පරිසර සංහාරය, පරිසර සංරක්ෂණය මෙන්ම, සංවර්ධනය කියා ද දෙයක් තිබේ. මේ රටේ මිනිසුන්ගේ ජීවිත පහසු කරන්නට අත්‍යවශ්‍ය ජලය, විදුලිය, මහාමාර්ග, නිවාස, කෘෂිකර්මාන්තය ආදිය වෙනුවෙන් ස්වාභාවික පරිසරය වෙනස් කරන්නට සිදුවීම අනිවාර්ය වේ.

අධිවේගී මාර්ගවල යන්නට ඕනෑ නම් හා ඒ සඳහා අධික ලෙස රට ණය නොවී සිටීමට නම් දාරලුවේ කෘඩියා සිලෝනිකා ගස අධිවේගී මාර්ගය වැටෙන භූමියෙන් ඉවත් කළ යුතුය. ඒවායේ සිවුරු ඔතා ඒවා රැකගන්නට යන්නේ අන්තවාදියෝය.

මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ආහාර බෝග නිෂ්පාදනය සඳහා ද, ඒ සඳහා අවශ්‍ය වාරිමාර්ග පහසුකම් ආදිය වෙනුවෙන් ද කැලෑ එළිකරන්නට සිදුවේ.

රට තිරසාර අන්දමින් සංවර්ධනය විය යුතුය. ඈත දුෂ්කර ප්‍රදේශවල කොටු වී සිටින ජනයා හට පහසුකම් සහිත නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වන්නට හැකි වන පරිදි නිෂ්පාදන හා සේවා කර්මාන්ත සංවර්ධනය විය යුතුය. නාගරීකරණය ද වනාන්තර, පරිසරය ආරක්ෂා කරගැනීමට හැකි එක් මාර්ගයකි.

කිසිම ගසක් නොකපා සිටීම පරිසරය රැකගැනීම නොවේ. මිනිසා ද පරිසරයේ කොටසකි. ඒ නිසා පරිසරය රැකගන්නට සිදුවන්නේ මිනිසාගේ පැවැත්ම ද රැකගනිමිනි. පරිසරය නම්බන්ධයෙන් මනා කළමනාකරණයක් අවශ්‍යය. ගස් කැපීම ද, වැඩි සත්ව ගහණයන් පාලනය කිරීම ද එම කළමනාකරණයට අයත් වේ.

රජයේ ගැටලුව ඇත්තේ එතැනයි. චමල් රාජපක්ෂ වැනි අයගෙන් සමන්විත රජයේ එක් කොටසක් වන සංහාරය දිරිගන්වන අතර, දේවානි ජයතිලක වැනි පිරිසක් ආන්තික ලෙස වන සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටිති.

මේ අතර, රටේ ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයන්ට එරෙහිව කෝපයෙන් ප්‍රතිචාර දක්වයි. සිරස දේශපාලනික මාධ්‍ය ආයතනයක් බව සැබෑය. දෙරණ, හිරු, රූපවාහිනී, අයිටීඑන් වැනි රූපවාහිනී නාලිකා ද මුළුමනින්ම එවැනිය. ජනාධිපතිවරයා සිරසට තර්ජනය කරයි. විහාරමහාදේවි උද්‍යානයේදී ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් පාරිසරික සංහාරයට එරෙහිව අඳින ලද චිත්‍රයටත් ආණ්ඩුව බියය. පරිසර පොලිසිය භාර ප්‍රධානියා දේශපාලනය කතාකරයි. මේ මොන විකාරයක්ද? ආණ්ඩුවේ දේශපාලකයන් හා ආණ්ඩු හිතවාදීන් ද රජගෙදර සිට ෆේස්බුක් එක දක්වාම හැසිරෙන්නේ වියරුවකිනි.

අවශ්‍ය සිහිබුද්ධියෙන් කටයුතු කරන නායකත්වයකි. බුරන සෑම බල්ලකුටම පෙරළා බුරන්නට ගියහොත් ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය කරන්නට වෙලාවක් නැති වනු ඇත. පසුගිය ආණ්ඩුව සම්බන්ධයෙන් රාජපක්ෂ බලවේගය වැඩ කළ විදියට බුද්ධිමත් පුරවැසියන් වැඩ නොකළ යුතුය. ආණ්ඩුවට රට පාලනය කිරීමට ඉස්පාසුව ලබාදිය යුතුය. දේශපාලකයන් කුපිත කර ආන්තික ප්‍රතිචාර වෙත තල්ලු නොකර කටයුතු කිරීම බුද්ධිමත් පුරවැසියන්ගේ වගකීමකි. ඔවුන් නෙළාගන්නේ ඔවුන් වැපිරූ දේවල අස්වැන්න බව සැබෑය. එහෙත්, මේ රට අපේය.