Strikes in Sri Lanka

ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සංවාදයක්

හර්ෂනාත් කාංචන, රාජ්‍ය පරිපාලන සේවය

රාජ්‍ය සේවයේ වැඩ වර්ජන නිමක් නැත. බොහෝ වර්ජනවලට හේතුව වැටුප් විෂමතා ය. එක් විෂමතාවකට ගෙනෙන විසඳුම විෂමතා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසකට මග පාදයි. රාජ්‍ය සේවයේ ගැටලු විසඳන්නට නම් පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය ය. ඒ පිළිබඳ සංවාදයක් රාජ්‍ය සේවය තුළ ගොඩනගාගත යුතු ය. පහත දැක්වෙන අදහස් පද්ධතිය ඒ වෙනුවෙනි.

Sinhala Tamil English Translations and Content Writing

1. රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රමාණය හා තනතුරු පිලිබඳව නැවත සමාලෝචනයක් සහ විද්‍යාත්මක පදනමක් සහිතව පුරෝකථනයන් ගොඩනැගීම.
2. මූලිකවම රාජ්‍යයේ වැයබරෙහි විශාල ප්‍රමාණයක් දරණ විශ්‍රාම වැටුප ක්‍රමය අහෝසිකර ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් සහ අග්‍රහාර රක්ෂණ ආවරණය තවදුරටත් ශක්තිමත් කරමින් වඩා පහසුවෙන් ඒ කටයුතු සිදුකිරීම. එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ටද එවැනි රක්ෂණ ආවරණයක් හා ප්‍රථිලාභ ලබාදීම.
3. රාජ්‍ය සේවයට බඳවා ගැනීම වඩා විධිමත් කිරීම. උදා:- වාර්ෂික බඳවාගැනීම් සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ඒ සඳහා යන වියදම් සහ කාලය අවම කරගැනීම
4. හුදු අමාත්‍යාංශ ප්‍රමාණය අඩු කළ පමණින් අපේක්ෂිත පරිදි වියදම් හෝ කාලය අඩුවීමක් සිදුනොවේ. ඒ සඳහා මනා අධ්‍යයනයකින් යුතුව අවශ්‍යතාවය මත අමාත්‍යාංශ 30-35 අතර ප්‍රමාණයක පවත්වාගන්නා අතරම ඒ යටතේ ඇති දෙපාර්තමේනතු, අධිකාරීන්, මණ්ඩල, සංස්ථා නිසි අධ්‍යයනයකින් අනතුරුව අවශ්‍ය පරිදි ඒකාබද්ධ කිරීම, අහෝසි කිරීම, ඈවර කිරීම හෝ නව ආයතනයක් යටතට පත්කිරීමට කටයුතු කිරීම. උදා:- අමාත්‍යාංශ දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරී මෙන් අනතුරුව නාමය ඒකාබද්ධ වුවද බොහෝ අවස්ථාවන්හිදී අදාල අමාත්‍යාංශය යටතේ ඇති අංශයන්හි ඒකාබද්ධ වීමක් හෝ සිදු නොවේ. එසේම, එකම කාර්යය සඳහා ආයතන ගණනාවක් පැවතීමත් ඒ ඒ ආයතන එකම ක්ෂේත්‍රයක් ආවරණය කරන්නා වූ නීති හඳුන්වාදීමත් හේතුවෙන් අවසාන වශයෙන් සේවාලාභීන් අපහසුතාවයට හෝ නොමග යාමට ඉඩකඩ ඇත.
5. රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු කිරීමේදී සහ ආයතන අතර සම්බන්ධ කටයුතු කිරීමේදී අවශ්‍ය සන්නිවේදනය, තේරුම් ගැනීම සහ සහයෝගය නොමැතිවීම හේතුවෙන් නිවැරදි ඉලක්ක වෙත ගමන් කිරීමට මෙන්ම සැබෑ ප්‍රතිඵල සහ අගය ලබාගැනීමට නොහැකි වී ඇත. ඒ හේතුවෙන් ආයතන සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය ක්‍රමවේද, ආයතනයක් හඳුන්වාදීම.
6. රාජ්‍ය සේවක පුහුණු ක්‍රියාවලීන් අද ලෝකයට ගැලපෙන පරිදි සකස් කිරීම හා කාලීනව යාවත්කාලීන කිරීම. එමෙන්ම ඒ සඳහා තිබෙන ආයතන ප්‍රතිසංස්කරණයන්ට ලක්කිරීම සහ අවශ්‍ය නව ආයතන හඳුන්වාදීම.
7. රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම දීප ව්‍යාපත්ත සේවා බඳවාගැනීමේදී ඉහල ගුණත්වයකින් යුතුව සිදු කළ යුතුය.ඒ සඳහා වන ක්‍රමවේදයක් කලාපීය ක්‍රමවේදයන් අධ්‍යනය කරමින් අපට ගැලපෙන සහ වඩා නිවැරදි බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කිරීම. උදා:- ඉන්දියානු සිවිල් සේවයේ බඳවාගැනීම මෙන්ම සිංගප්පූරු හා මැලේසියානු ක්‍රමවේද මෙම අධ්‍යයනයට යොදාගතහැකි අතර සේවාවන්හි අවශ්‍යතාවය සහ පෙළගැස්ම ඒ අනුව නිර්මාණය කරගැනීමට හැකියාව ඇති කරගැනීමට හැක
8. දැනට ක්‍රියාත්මක ජ්‍යෙෂ්ඨතාව මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදය වෙනුවට දක්ෂතාව සහ හැකියාව මත පදනම්වූ උසස්වීම් සහ වැටුප වර්ධක ලබාදෙන ක්‍රමවේදයක් නිශ්චිත කාලරාමුවක් ඇතුළත හඳුන්වාදීම.
9. තොරතුරු තාක්ෂණ විසඳුම් නිසි පරිදි හඳුනාගනිමින් රාජ්‍ය සේවයේ මීලඟ යුගය ඇරඹීම සඳහා කාලය පැමිණ තිබේ. විශේෂයෙන්ම, කාර්යක්ෂමතාවය ඉහල නැංවීම මෙන්ම අවම ශ්‍රම බලකායකින් ඉහල ධාරිතාවයක් ලබාගැනීමේ අරමුණෙන් යුතුව මෙන්ම සමස්ථ රටේම සංවර්ධනයට මෙන්ම යහ පැවැත්මට බාධාවක් වී තිබෙන අල්ලස හා දූෂණය මැඩලීමටද මේ හරහා යම් දායකත්වයක් ලැබෙනු ඇත.
විශේෂයෙන් රාජ්‍ය ආදායම්, වියදම් මෙන්ම ව්‍යාපෘති ප්‍රගතිය නිසි පරිදි සමාලෝචනය කිරීම සඳහා ද මෙවන් විසඳුම් යොදාගත හැකිය.
10. ඕනෑම මට්ටමේ ‍රාජ්‍ය සේවකයෙකුට තම ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවෙන පරිදි පෞද්ගලික අංශයේ වසර 3 ක් සේවය කිරීමේ අවස්ථාව ලබා දිය හැකි ය.

දේශපාලන බලය කුමන අතට හුවමාරු වුණත්, යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා ඵලදායී රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය ය. රටේ ඇති වන වෙනසක මුල තිබෙන්නේ රාජ්‍ය සේවයේ ය. අප ඒ ගැන සංවාද කළ යුත්තේ ඒ නිසා ය.