මේ කතාව ඍග් වේදයේ එන කතාවක්. එය ක්‍රි.ව. සිව්වන සියවසේදී කාලිදාසයන් විසින් වික්‍රමෝර්වශිය ලෙස නාට්‍යයට නැගුවා. වික්‍රමෝර්වශිය කියන්නේ ඌර්වශිය දිනාගැනීමේ වික්‍රමයයි. මහා භාරතයේ, විෂ්ණු පුරාණයේ එහෙමත් මේ පෙම් පුවත සඳහන් වෙනවා. මේ කතාවේ ස්වරූප කීපයක් තිබෙනවා. මේ කතාව එවැනි කතා කීපයක් ඇසුරෙන් කරනු ලබන දළ පෙළගස්වාගැනීමක් විතරයි.

ඌර්වශී කියන්නෙ දිව්‍ය අප්සරාවක්. අප්සරාවන් කියන්නෙ දෙව්ලොව දෙවියන් නැටුමින් ගැයුමින් තුටු කරන දෙව්ලියන් පිරිසක්.

ඌර්වශීගේ උපත සිදු වුණ හැටි ගැනත් අපූරු කතාවක් තිබෙනවා. හිමාලයේ භද්‍රිනාත් කියන අසපුවේ භාවනා කරමින් සිටි නරනාරායන් නම් මුනිවරයා දිව්‍ය බලයන් ලබාගන්නවාට අකැමැති වූ දෙවියන්ගේ නායක ඉන්ද්‍ර දෙවියන් නරනාරායන්ගේ දැහැන බිඳින්නට අප්සරාවන් දෙදෙනෙකු එවනවා.

ඌර්වශී සහ පුරුරව

නරනාරායන් මුනිවරයා ඔහුගේ කලවෙන් ඉන්ද්‍ර දෙවියන්ගේ අප්සරාවන් පැරදවිය හැකි රූමත්කමකින් යුත් අප්සරාවක් මවා ඉන්ද්‍ර වෙත තෑගි කර යවනවා. සංස්කෘත බසින් ඌර් නම් වන කලවෙන් උපන් නිසා ඇය ඌර්වශී නම් වෙනවා. ඇය ඉන්ද්‍රගේ මාළිගාවේ ආඩම්බරය බවට පත් වෙනවා.

ඌර්වශීට දෙව්ලොව ඒකාකාරී, කම්මැලි තැනක් වෙනවා. ඒ නිසා ඇය නිතර රෑට රෑට හොරෙන් මනු ලොව එනවා. ඇය පිනි පාගන්නත්, සිසිල් සුළං පහස විඳින්නත් කැමතියි.

පුරුරව කියන්නෙ මනු ලොව රජකෙනෙක්. ඉන්ද්‍ර දෙවියන් නිතර පුරුරවට උත්සවවලට දෙව්ලොවට ආරාධනා කරනවා. පුරුරව එහි ශ්‍රී විභූතිය දැක එයට ඊර්ෂ්‍යා සහගත වෙනවා. ඔහු සිය අස් රියෙන් අධි වේගයෙන් වළාකුළු අතරින් යද්දී මනු ලොව සිට ආපසු යමින් සිටි ඌර්වශීව යක්ෂයකු පැහැරගන්නා ආකාරය දකිනවා. එය දකින පුරුරව යක්ෂයා හඹා ගොස් ඌර්වශීව බේරගන්නවා.

ඒ අවස්ථාවේ තමයි අප්සරාවක වන ඌර්වශී මුල් වරට නරයකුගේ ස්පර්ශය විඳින්නේ. ඔවුන් ආදරය කරන්නට පටන් ගන්නවා. ඌර්වශී හිතනවා පුරුරව මුලින් ආදරය ප්‍රකාශ කරයි කියලා. ඒත්, පුරුරව එසේ කරන්නේ නැහැ. ඔහු බිය වෙනවා මේ දිව්‍ය අප්සරාව ඔහු ප්‍රතික්ෂේප කරයි කියලා.

මේ අතර ඉන්ද්‍ර දෙවියන් අබියස පැවති නැටුමකදී ඌර්වශීට විෂ්ණු දෙවියන් වෙනුවෙන් ගැයෙන ස්තෝත්‍රයක විෂ්ණු දෙවියන් වෙනුවෙන් යෙදෙන පුරුෂෝත්තම වෙනුවට ඇගේ පෙම්වතා වන පුරුරවගේ නම කියවෙනවා. එයින් කෝප වන නර්තන අධ්‍යක්ෂ භරත ඇයට සාපයක් කරනවා. ඒ අනුව, ඇයට සිය ආදරවන්තයා සමග ජීවත් වන්නට පුළුවන්. ඒත්, ඒ ආදරයට නිරතුරු බාධා සිදු වෙනවා.

අවසානයේදී ඔවුන් විවාපත් වෙනවා. ඌර්වශී කොන්දේසි තුනක් පනවනවා. ඒ අනුව, ඇගේ සයනය ළඟ හැම විට ම බැටළුවන් දෙදෙනෙකු සිටිය යුතුයි. එසේම, පුරුරව කිසි විටෙකත් නිරුවතින් ඇගේ නෙතට ලක් නොවිය යුතුයි. ඇයට නිරතුරු ගිතෙලින් සංග්‍රහ කළ යුතුයි. ඔය විදියට ඇය පුරුරවගේ මාළිගයේ වෙසෙනවා. ඔවුන් දෙදෙනා ම සතුටින් කල් ගෙවනවා.

මේ අතර දෙව්ලොව සංගීතඥයා වන ගාන්ධර්වට ඌර්වශී නොමැතිව පාළු දැනෙනවා. ඔහු සොයා බලනවා ඇය ගෙන්වා ගත හැකි ආකාරය. ඔහු දැනගන්නවා ඌර්වශීගේ කොන්දේසි. දැනගෙන ඇය නිදා සිටින අතර පැමිණ බැටළුවන් සොරකම් කරනවා. ඌර්වශී එය දැනගෙන වැළපෙන විට එය අසා නිදි යහනෙන් පැමිණෙන රජු බැටළුවන් සොරාගත් ගාන්ධර්ව පසුපස නිරුවතින් ම ලුහුබඳිනවා. ගාන්ධර්ව ගින්දර මවනවා. ඒ එළියෙන් ඌර්වශී රජුගේ නිරුවත දකිනවා. මේ ජවනිකාව අතරතුර ඌර්වශීට ගිතෙල් සැපයීමත් මගහැරෙනවා. අවසානයේදී ඇය මනුලොවින් දෙව්ලොවට නික්මෙනවා. ශෝකයෙන් පීඩිත වන පුරුරව රජු ඌර්වශිය සොයා කුරු ක්ෂේත්‍රය පුරා සැරිසරනවා. වරක් ඔහුට ඇය හමු වෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර සිදු වන සංවාදය ඍග් වේදයේ ප්‍රසිද්ධ සංවාදයක්.

මඳක් නැවතී කතා කරමු යයි පුරුරව බැගෑපත් වෙනවා. එවැනි කතාවකින් ඇති ඵලය කුමක්දැයි ඌර්වශී අහනවා. උදෑසන ප්‍රථම යාමය සේ මා ඔබෙන් දුරු වූ බවත්, හමන සුළඟ අතින් අල්ලා ගත නොහැකිවා සේ පුරුරවට තමා රඳවා ගත නොහැකි බවත් ඌර්වශී පවසනවා. ගැහැණුන්ගේ ආලය ස්ථාවර නැති බවත් ඔවුන්ගේ හදවත් සිඟාලයන්ගේ හදවත් වැනි බවත් ඇය පවසනවා.

ඌර්වශී කිව්වා ම 1994 කාදලන් දෙමළ චිත්‍රපටයට ඒ.ආර්. රහුමාන් නිර්මාණය කළ ටේක් ඉට් ඊසී ඌර්වශී ගීතයත් මතක් වෙන එක වළක්වන්නට බැහැ, විශේෂයෙන් ම එහි තිබුණු මනස්කාන්ත නැටුම් නිසා. වීඩියෝව පහත ඇත.

අජිත් පැරකුම් ජයසිංහ

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

Call 077 1734470 for Sinhala Tamil English Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.