රිෂාඩ් බදුර්දීන් ඊලඟ මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගේ එකම නායකයා වෙයි ද?

රිෂාඩ් බදුර්දීන් යනු තවත් එක් දෙශපාලනඥයෙකි. ඔහුත් සෙසු දේශපාලනඥයිනුත් අතර තිබෙන එක ම වෙනස ඔහු මුස්ලිම් වීම විය හැකි ය. මුස්ලිම් දේශපාලනඥයන් අතර ඔහුගේ වෙනස ඔහු මුස්ලිම් දේශපාලනයේ ප්‍ර‍ධාන ධාරාව බිහි වන නැගෙනහිර පළාතට පිටින් බිහි වීම විය හැකි ය. එසේ නොමැති නම්, බදුර්දීන් අනෙකුත් සියලු දේශපාලනඥයන් කරන බලය අපහරණය කිරීම්, නීති උල්ලංඝනය කිරීම් හා දූෂණ සිදු කර තිබේ. ඔහුගේ ය කියා කිසිදු වෙනසක් නැත.

රිෂාඩ් බදුර්දීන් මුල් වරට 2001දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත් වන්නේත්, එතැන් සිට අද දක්වා නියෝජනය කරන්නේත් වන්නි දිස්ත්‍රික්කයයි. කොටි සංවිධානය විසින් උතුරින් පළවා හරින ලද සරණාගත පවුලක සාමාජිකයකු වූ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාධාරී 47 හැවිරිදි දේශපාලකයෙකි. ඔහු පාර්ලිමේන්තු ආසන පහක් හිමි සමස්ත ලංකා මහජන කොංග්‍ර‍සයේ නායකයා ය. ඔහුගේ සහෝදරයකු වන රිෆ්කාන් බදුර්දීන් උතුරුපළාත් සභාව නියෝජනය කළේ ය.

රිෂාඩ් 2010 සිට ම කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති ධුරය හොබවයි. ඔහු පිළිබඳ පළමු විරෝධය මතු වන්නේ විල්පත්තු රාජපක්ෂ ආණ්ඩුවේ උතුරු වසන්තය යටතේ ආරම්භ වුණ විල්පත්තු වනාන්තරය විනාශ කරමින් මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘති සමගයි.

වර්තමානයේදී ඔහුට වැඩි ම විරෝධයක් එල්ල වන්නේ අප්‍රේල් 21 බෝම්බ ප්‍ර‍හාර මාලාව එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග ඔහුගේ සම්බන්ධකම් පිළිබඳවයි. ඔහු සමග සමීප ඇතැම් පුද්ගලයන් අන්තවාදීන් සමග සමීපව කටයුතු කර තිබෙන බව ඇත්තකි. එහෙත්, රිෂාඩ් බදුර්දීන් අන්තවාදීන් සමග ඍජුව සම්බන්ධකම් පැවැත්වූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවකු තවම සමත් වී නැත. එසේම, ඔහු විමර්ශනවලට බලපෑම් කළ බවට කරන චෝදනා ද දේශපාලනඥයන් සාමාන්‍යයෙන් කරන අන්දමේ මැදිහත්වීම්වලට සම්බන්ධ ඒවා මිස සත්‍ය වශයෙන් විමර්ශනවලට බාධා කිරීම් නොවේ.

රිෂාඩ්ට චෝදනා නැගීමේ ජාතිවාදී ස්වරූපය නිරූපණය කරන පැහැදිලි සාක්ෂියක් තිබේ. පාස්කු ඉරිදා මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා සහ බෝම්බකාරියකගේ මාමණ්ඩිය වූ ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු විය. ඔහු සමග ජවිපෙ පවත්වා තිබෙන සම්බන්ධය රිෂාඩ් අන්තවාදීන් සමග පවත්වා තිබෙන සම්බන්ධය වැනි ම එකකි. එහෙත්, ජවිපෙ සම්බන්ධයෙන් සිංහල සමාජය රිෂාඩ්ට තරම් බලපෑමක් කරන්නේ නැත. හේතුව අන් කිසිවක් නොව ජවිපෙ සිංහල වීම හා රිෂාඩ් මුස්ලිම් වීමයි.

රිෂාඩ් මෙතරම් පීඩනයකට ලක් කරන්නේ දේශපාලනික හේතු මත බව පැහැදිලි ය. එයට හේතු කීපයක් තිබේ. ඔහු මුස්ලිම් දේශපාලනඥයන් අතර රැඩිකල්, ජනප්‍රිය, ක්‍රියාකාරී, දක්ෂ, උගත් පුද්ගලයෙකි. පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍ර‍ණයේදී ඔහුගේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණාත්මක සාධකයක් වූ අතර ඔවුන් දිනාගැනීමට ජනාධිපති සිරිසේන හා මහින්ද රාජපක්ෂ ඇතුළු කුමන්ත්‍ර‍ණකරුවෝ අසමත් වූ හ.

රිෂාඩ් බදුර්දීන් වෙත යොමු කර තිබෙන සිංහල වෛරය ඔස්සේ ඔහු විනාශ කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගෙන සාධාරණ හෝ අසාධාරණ අන්දමින් සිරගත කිරීමට සිංහල ජාතිවාදී බලවේගවලට හැකි විය යුතු ය. එසේ නොකළහොත්, මෙම අර්බුදය හරහා රිෂාඩ් බදුර්දීන් පිටතට පැමිණෙන්නේ මුස්ලිම් ජනතාවගේ එකම නියෝජිතයා වන තරම් බලයකින් විය හැකි ය.