අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 2 ලංකා පුවත්පතෙනි)

ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය සාමූහික දණ්ඩනයකට ලක්කිරීම අවදානම් සහගත වුවත්, නැතත්, ඉතා වැරදි වැඩකි. මෙවැනි ක්‍රියා හිට්ලර් පන්නයේ වැඩ ය. හිට්ලර් යුදෙව්වන්ට කළේ ද මෙය ම ය. සංහාරය ආරම්භ කරන්නට පෙර ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට කටයුතු කරන ලදී. වාර්ගික මර්දනය කොයි තරම් දරුණු ලෙස කළත්, එයට ප්‍රතිචාර ලැබීම වළක්වන්නට බැරි ය. හිට්ලර් තරම් දරුණු සංහාරයක් කරන්නට ලංකාවේ ජාතිවාදීන්ට කොහොමත් බැරි ය. එහෙත්, ජර්මනියේ යුදෙව් සංහාරයට පවා පිළිතුරු ලැබිණි. ඒ ඊශ්‍රායලය බිහි කිරීමෙනි.

කෙසේ වෙතත්, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වාර්ගික මර්දනයේ ආතතිය දිගට ම පවත්වාගෙන යන්නට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් තිබෙන බව ඉතා පැහැදිලි ය. ඒ කවදා දක්වා ද? ඇතැම් විට මීළඟ ආණ්ඩු විපර්යාසය දක්වා ම විය හැකි ය. මුස්ලිම් ප්‍රජාව බියපත්ව, අසරණව, තව්හීද් ජමාත් පල්ලි කඩන තැනට තල්ලු වුණත් මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ සහ ක්‍රිස්තියානි අන්තවාදීන් ඔවුන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වනු ඇති බව පෙනේ. සහරාන් අමතක කර දැන් දොස්තර ශාෆි පසුපස හඹා යන ඔවුන් හෙට දිනයේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක අබ්දූල් රාසික් රෆ්දීන් පසුපස හෝ වෙනත් අය පසුපස හෝ එළවනු ඇත.

මුස්ලිම් විරෝධී ආතතිය පවත්වාගෙන යාමේ අරමුණු කීපයක් තිබේ. එකක් වන්නේ සිංහල බහුතර ජනයා ජාතිවාදයෙන් හිරිවට්ටා ඔවුන්ගෙන් බහුතරයකගේ සහයෝගය දිනාගැනීමයි. ඒ අතරවාරයේ හැකිනම් බියවද්දන ලද මුස්ලිම් සුළුතරයේ නායකයන් බිලී බාගැනීමට වුව උත්සාහ කරනු ඇත. අනෙක් ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථිකය බිඳ දමා ආණ්ඩුව කෙරෙහි ජනතාව තවදුරටත් කලකිරවීමයි. එහෙත්, මෙකී දෙවන උපායමාර්ගය අතිශය භයානක ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට වී තිබෙන බලපෑම පිළිබඳ දත්ත තවම හරියට එළිදක්වා නැත. සංචාරක ව්‍යාපාරය බිම හාන්සි බව කවුරුත් දනිති. එය එතනින් නතර වී නැත. ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රතිඵල පෙට්ටි කඩය දක්වා ම දැනෙනු ඇත. බලවත් අය දැනටත් සිය දුක්ගැනවිලි කතාකරන්නට පටන්ගෙන තිබේ. නිදසුනක් ලෙස සංගීත ප්‍රසංග ව්‍යපාරික, ගායක, වාදක, විදුලි හා ශබ්ද ශිල්පී ආදීන්ට ද සිනමා කර්මාන්තයට ද පාන් කියාගන්නට බැරි තත්වයක් උද්ගත වී තිබේ. මේවා යථා තත්වයට පත් වන්නට නම් රටේ සාමාන්‍ය තත්වය නැවත ඇති විය යුතු ය. එහෙත්, මෙසේ සිය සාක්කුව පතුලට ම හෙණ කඩා පාත් වූ අයත් රටේ සාමාන්‍ය තත්වය නැවත ඇති වීම වැළැක්වෙන පරිදි කටයුතු කරමින් සිටිනු දැකීම උත්ප්‍රාසජනක ය.

මුස්ලිම් විරෝධය සමග ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් එතරම් දුරට ඍජුව සම්බන්ධ වී ඇති බවක් නොපෙනේ. විමල් වීරවංශගේ මට්ටම දක්වා ම එයින් ඈත්ව සිටින අතර යම් දුරකට හෝ සමීප වී තිබෙන්නේ මධුමාධව අරවින්දගේ මට්ටමයි. එහෙත්, බිම් මට්ටමේදී පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගෝඨාභය රාජපක්ෂ බලවේගය වැනි ජාතිවාදය සමග පැටලුණු ව්‍යාපාරවල අනුගාමිකයන් හා හිතවතුන් මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රචණ්ඩත්වය සමග පැටලී සිටින බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය සමීපව නිරීක්ෂණය කරන විට පවා ඉතා පැහැදිලිව දැකිය හැකි ය.

මේ අතර, අනාගත ජනාධිපති වීමට සිහින දකිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ සිසිර නිද්‍රාවකට ගොස් ඇති ආකාරයේ නිහැඬියාවක ගිලී සිටියි. මුලදී ඔහුගේ ට්විටර් ගිනුම ඇතුළු ප්‍රකාශනවල ජාතික සමගිය පිළිබඳ වාගාඩම්බර කියැවුණ ද දැන් ඒවා ද නැවතී ඇත. එයින් අදහස් වන්නේ මුස්ලිම් විරෝධය සමග මෙන් ම ජාතිවාදය සමග ද නොපැටලී සිටීමට ඔහු පරිස්සම් සහගත වන බවයි.

මුස්ලිම් ප්‍රජාව යනු පාලිත ඡන්ද පදනමකි. එය මුස්ලිම් නායකයන් සහ ඔවුන්ට සහයෝගය දෙන පල්ලි විසින් එම ඡන්ද පාලනය කරනු ලැබේ. ජනාධිපතිවරණයක් ජයගැනීමට අවශ්‍ය අපේක්ෂකයකු සුළු ජාතික ඡන්ද අතහැර දමන්නේ නැත. එසේ කළහොත් ඔවුන්ට සිංහල මහ ජාතික ඡන්ද 70%ක් පමණ වඩා දිනාගැනීමට සිදු වේ. එය පහසු කාර්යයක් නොවේ. 2015දී මහින්ද රාජපක්ෂ පරාජය වූයේ මෙම පදනමිනි.

මෙම තත්වය තුළ, ඉතා බලවත් කේවල් කිරීමේ හැකියාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලැබී තිබේ. ඔහු උත්සාහ කරමින් සිටින්නේ ප්‍රධාන සිංහල ජාතික බලවේගය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගලග්‍රහයෙන් ගෙන එහි අපේක්ෂකත්වය ඔහුට තහවුරු කරගන්නට ය. මන්ද, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළහොත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට අවාසි සහගත වන හෙයිනි. රාජපක්ෂ බලවේගය මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි කොයි තරම් අවිශ්වාසයකින් කටයුතු කළත් ඔවුන්ට ඔහු අතහැර දමන්නට බැරි මෙම තත්වය තුළ ය. කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේනට නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ හෝ සිවිල් සමාජ බලවේගවල හෝ සහායක් ලැබෙනු ඇතැයි සිතන්නට බැරි තරමට ඔහු හා එම බලවේග අතර නොහොඳ නෝක්කඩු තිබේ.

මෙම පසුබිම තුළ අපගේ අවධානයට යොමු විය යුතු භික්ෂු චරිත දෙකක් නැවත දොරට වැඩ තිබේ. ඔවුන් එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කඳවුරෙනි. පළමුවැන්නා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාවක් යටතේ නිදහස් කළේ ය. එහෙත්, ඥානසාර හිමි නිදහස් කිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියා අතර සම්බන්ධයක් නැත. ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද මැදිහත්වීමක් නිසා නොවේ. ඔහු එවැනි මැදිහත්වීම් කර තිබේ නම්, ඒවා ද මතභේදයට තුඩු දෙන සිදුවීම් ය. මන්ද, එකී ක්‍රියා හේතුවෙන් තව්හීද් ජමාත් වැනි අන්තවාදීන්ට සිදු වූ දෙයක් නම් නැත. සිදු වී තිබෙන්නේ අලුත්ගම, ධර්ගා නගරය වැනි තැන්වල සිදු වූ විනාශයන් ය.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී.

Sinhala Tamil English Translations and Content Writing

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් ගොනු කර තිබිණි. එම චෝදනා හතර මෙසේ ය:

නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධා වන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම

එම අවස්ථාවේදීම අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බවට සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව සහ නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම, අවමන් කිරීමෙන් වරදක් කිරීම

එහිදී බී 7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින් අණකර සිටීමෙන් අධිකරණ කටයුතුවලට බාධාකිරීමෙන් වරදක් කර තිබීම

එම අවස්ථාවේදීම බී 7417/10 නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පාරිභවාත්මක වචනයෙන් ඇමැතීම මඟින් වරදක් කිරීම

ඒ අනුව පළමුවන චෝදනාවට වසර හතරක, දෙවන චෝදනාවට වසර හතරක, තෙවන චෝදනාවට වසර හයක, සිව්වන චෝදනාවට වසර පහක යනාදී ලෙස බරපතල සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් එකවර ගෙවීයන ලෙස ද නියම කෙරිණි.

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ 2018 අගෝස්තු 8දා ය. ඔහු වසරක් ඉක්ම යාමට මත්තෙන් 2019 මැයි 24දා නිදහස් වූයේ ය. ඔහු නිදහස් කරනු ලැබුවේ පැහැදිලි දේශපාලන කොන්ත්‍රාත්තුවක් මත බව දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබේ. එසේම එය අධිකරණයට, නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද මරු පහරකි.

කරළියට ආ දෙවන භික්ෂු චරිතය මොබ් හෙවත් අනවසර ජන රාශි සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකට ඉතිහාසයක් ඇති අතුරලියේ රතන හිමි ය. එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ, මේ වන විට ජාතික හෙළ උරුමයෙන් ද කැඩී ගොස් සිටින එහිමියන් ද මේ වන විට සිටින්නේ ජනාධිපතිවරයා සමගයි. කුරුණෑගල රෝහලට අනවසර ජන රාශියක් සමග පැමිණ වෛද්‍ය ශාෆි සම්බන්ධ චෝදනා විමර්ශනවලට රජය බලපෑම් කරන බව කියමින් මාධ්‍ය ඇමතූ හෙතෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කළහොත් රටක් ඉතුරු නොකරන බව කීවේ මාවිල්ආරු සොරොව්ව අරින්නට පිටත් වූ දවසේ ගැම්මෙන් ම ය.

මුස්ලිම් විරෝධය, ඥානසාර හා රතන හිමිවරුන් කරලියට නැගීම, ඉදිරි ජනාධිපතිවරණය යන මේවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඉදිරියේදී තව තවත් හොඳින් දකින්නට ලැබෙනු ඇත.

1 thought on “මුස්ලිම් විරෝධය, ඥානසාර හිමි නිදහස් කිරීම හා ජනාධිපති සිරිසේනගේ නැගීම

  1. ගලගොඩා‍යා ගැන නම් කියන්න තියෙන්නේ සූකරයාට අසූචිවළෙන් තොර ජීවිතයක් නැතිවා සේම මොහුටත් මුස්ළිම් විරෝධයෙන් තොර පැවැත්මක් නැති බවය. අතන මෙතන ලගින, අතුරේ යන කෙනා ගැනනම් ඉතින් මොනවා කියන්නද?)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.