අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රයේ තෙවැනි ඇස දෙවන කලාපය වෙනුවෙන් ලියන ලදී)

2018 අවුරුද්ද කියන්නේ ලංකාවේ දේශපාලනය මෙන් ම ආර්ථිකය ද දැඩි පීඩනයකට ලක් වූ වසරක්. ආණ්ඩුවේ බෙදීම් ආරම්භ වුණේ 2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණයත් සමගයි. එම මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වී රටෙන් ම තුන්වන ස්ථානයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දයෙන් දෙවෙනි තැනට පත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කුමන්ත්‍රණ ආරම්භ කළා. එජාප නායකයා අගමැතිකමෙනුත්, පක්ෂ නායකත්වයෙනුත් ඉවත් කිරීමට ඔහු දියත් කළ කුමන්ත්‍රණවල පළමු වටය අවසන් වුණේ සැප්තැම්බර් මාසයේදී අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කළ විශ්වාස භංග යෝජනාවෙන් ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පරාජය වීමෙන්.

Sinhala Tamil English Translations and Content Writing

කුමන්ත්‍රණයේ දෙවන වටය වඩාත් තීරණාත්මක වුණා. එහිදී ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර, සිය ජනවරමට පූර්ණ ලෙස ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින්, අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළා. මේ කුමන්ත්‍රණය විසඳුණේ අධිකරණයේ මැදිහත් වීමෙනුයි. අධිකරණය විසින් කුමන්ත්‍රණකරුවන්ට ප්‍රබල පණිවුඩයක් සන්නිවේදනය කළා. ඒ පණිවුඩය මේ රටේ බුද්ධිමත් සමාජයෙන් ලබා දෙන ලද පණිවුඩයක් ලෙස තේරුම් ගැනීමේ බුද්ධිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ පළාත් පාලන ඡන්දයේ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින රාජපක්ෂ බලවේගයට හෝ ඇතැයි සිතන්නට අමාරුයි.

ඒ පණිවුඩය අප නම් තේරුම් ගන්නේ පරණ සෙල්ලම් අරගෙන ආපහු එන්නට එපා ය කියන දැඩි පණිවුඩය ලෙසයි. අපගේ තක්සේරුව අනුව නම්, 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය යනු පොදු ජන පෙරමුණේ හා රාජපක්ෂ බලවේගයේ කූටප්‍රාප්තියයි. මෙතනින් එහාට ඇත්තේ එතැනින් ආපස්සට ගමනක් විය හැකියි. අපේ තර්කයේ හරි වැරදි බලාගන්නට නම් තවත් මැතිවරණයකට රට මුහුණ දිය යුතුයි. එහෙත්, පළාත් සභා මැතිවරණ දිගින් දිගට ම කල් යමින් තිබෙනවා.

සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනකදී පැවැත්වීම සහ පළාත් සභා ඡන්දය කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම අරමුණු කරගෙන 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථක වුණේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතර කැමැත්ත මෙන් ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නිසායි.

සියලු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීම වියදම් ඉතිරි කරන පියවරක් වුව ද, එය බලය බෙදාගැනීමේ මූලික සංකල්පයට හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පටහැණියි. එසේ වුවහොත්, කිසියම් හේතුවක් මත පළාත් සභාව කල් තබා විසුරුවා හැරියත්, අනෙකුත් පළාත් සභා බලපැවැත්වෙන තාක් කල් එකී පළාත් සභාවට මැතිවරණ පැවැත්විය නොහැකියි. එවැනි අවස්ථාවකදී පළාත් සභාව ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත් වෙනවා. ඌව පළාත් සභාවේ කාලය අවසන් වන්නේ 2019 නොවැම්බරයේයි. ඒ දක්වා පමණක් නොව, එයින් පසුවත් පළාත් සභා මැතිවරණය කල් දමන්නට ආණ්ඩුවට දැන් හැකියාව තිබෙනවා. ඒ සීමා නිර්ණය පාවිච්චි කරමිනුයි.

20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වූ පසු, කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කරන්නට මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගත්තා.

ජනාධිපතිවරණයට පෙර තවත් මැතිවරණයක් පරාජය වීම වළක්වා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද උත්සාහ කරන බව පෙනේ. ඒ සඳහා පළාත් සභා මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටිනු දැකිය හැකියි. එසේම, පොදුජන පෙරමුණ ද පළාත් සභා මැතිවරණය කඩිනම් කරගැනීමට කිසිදු බලපෑමක් කරන්නේ නැති බව ද දැකිය හැකියි. එයට හේතුව, පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵලය මත පදනම් වෙමින් මහ මැතිවරණයකට යාම ඔවුන්ට වාසිදායක නිසායි. එහෙත්, පවත්නා සංදර්භය තුළ මුලින් පැවැත්වීමට ඉඩ තිබෙන්නේ ජනාධිපතිවරණයයි.

මේ වන විට ආණ්ඩුව පවතින්නේ 2018 ඔක්තෝබර් 26 වන විටත් පැවති තත්වයට වඩා දුර්වල තත්වයකයි. දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සහයෝගය නැතිනම් ඔවුන්ට ඉදිරි අයවැය සම්මත කරගැනීම පවා ගැටලුවක්. මෙම අස්ථාවරත්වය රටට අයහපත් අන්දමින් බලපාන බව ද කිව යුතුයි. මන්ද, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පවතින්නේ ඉතා ගැටලු සහගත තැනකයි.

2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයත් සමග ලංකාවේ ආර්ථිකය ඇද වැටෙන්නට ඔන්න මෙන්න තැනකට ආවා. ජාත්‍යන්තර ණය දර්ශකවල ශ්‍රී ලංකාව පහළ වැටුණා. එසේ තිබියදී 2019 වසර ඇරඹෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගන්නා ලද විදෙස් ණය මහා පරිමාණෙන් ආපසු ගෙවන්නට සිදු වන සමයකි. ඉදිරි වසර කීපයේදී විදේශ ණය හා පොළී ලෙස ශ්‍රී ලංකා රජය අවුරුද්දකට ඩොලර් බිලියන හතරක් පමණ ගෙවිය යුතු ය. මේ ණය ගෙවන ආකාරය මහජනතාව අවබෝධ කරගත යුතු ය. ජනවාරි මාසයේ මැදදී කල් පිරුණු, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලබාගත් ඩොලර් බිලියනයක බැඳුම්කර සඳහා ආපසු ගෙවීම සඳහා යොදගත්තේ හම්බන්තොට වරාය ඒකාබද්ධ ව්‍යවසායෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.1ක මුදලෙහි දෙවන කොටස ලෙස ලැබෙන ඩොලර් මිලියන 650 සහ චීනයෙන් ලබාගන්නා තවත් ණයකිනි. රනිල් වික්‍ර‍මසිංහ ආණ්ඩුව රාජ්‍ය දේපල විකුණනවා ය යන චෝදනාව නිරන්තරයෙන් එල්ල වුව ද, එසේ කරන්නට සිදු වී තිබෙන සංදර්භය මෙයයි. ලංකාව කරන්නේ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමයි.

ණය ගෙවන හැටි ගැන 2019 පෙබරවාරි 11දා දිනමිණ පුවත්පතේ ඇතුළු පිටුවක මුල්ලක පළ විය. “ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය සඳහ‍ා පොලී හ‍ා ව‍ාරික ලෙස මේ වසරේ දී රුපියල් බිලියන 2200 ක් ගෙවීමට ඇතැයි මුදල් හා ජනම‍ාධ්‍ය අ‍ම‍ාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත‍ා ප්‍රකාශ කළේය.” මෙහි ශ්‍රී ලංකාව යයි සඳහන් කළ ද මේ ණය ගන්නේ ශ්‍රී ලංකා රජයයි. “මින් රුපියල් බිලියන 1300ක් ව‍ාරික ලෙසද රු.බි. 900ක් පොලී ලෙසද ගෙවීමට තිබේ.ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති රුපියල් බිලියන 635 දේශීය ණය හා රුපියල් බිලියන 265 විදේශීය ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් බිලියන 900ක් වේ.

“රුපියල් බිලියන 1300 ක් ලබාගත් ණයවල වාරික ලෙස ගෙවීමට ඇත. ඒ අනුව රුපියල් බිලියන 635 ක් ‍දේශීය ණයවලටත් රුපියල් බිලියන 665 ක් විදේශීය ණයවලටත් වාරික ලෙස ගෙවීමට සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.

‍”මේ අන්දමට රජය මේ වසරේ ගෙවිය යුතු රුපියල් බිලියන 2200 මුදල ගෙවීමට රුපියල් බිලියන 1270 ක් දේශීය ණය වශයෙන්ද, රුපියල් බිලියන 930 ක් විදේශීය වශයෙන්ද ලබාගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටි බවද ලේකම්වරයා කීය.”

බිලියන් 2200ක් ණය ගෙවන්න ය කියලා බිලියන් 2200ක් ම ණයට ගන්නවා. මේ විදියට අපට කෙතරම් දුරක් යන්නට පුළුවන් ද? මේ වැටී සිටින වලෙන් අප ගොඩ යන්නේ කෙසේ ද? ඒ සඳහා අපට තිරසර ආර්ථික සංවර්ධනයක් අවශ්‍යයි. අර්බුද මැද 2018 වසරේ ශ්‍රී ලංකාව වාර්තාගත කළේ 3%ක ආර්ථික වර්ධනයක් පමණයි. එය 2019දී 4% දක්වා වැඩි විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙනවා. මහ බැංකුවේ විග්‍රහය අනුව, ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත්, ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයත්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නිසි ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා.

2019 මෙන් ම 2020 ද මැතිවරණ වර්ෂ වීම වැළැක්විය නොහැකියි. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර හා දේශපාලන පක්ෂවල පම්පෝරි ආර්ථිකයට අයහපත් ලෙස බලපෑම වළක්වා ගැනීමට අපහසුයි. ඒවා අප රටට ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම කෙරෙහි විශේෂයෙන් බලපානවා. බලය අපේක්ෂා කරන කවර පක්ෂයක් වුවත්, යථාර්ථවාදී දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් කල් තබා ප්‍රසිද්ධ කර ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලා සිටීම වැදගත් වන්නේ ඒ නිසායි. එසේම, මූලික ක්‍රමයට පටහැණි වන ජාතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අන්තවාදී ප්‍රචාරණයන්ගෙන් ප්‍රධාන පක්ෂ වැළකී සිටීමත් ඉතා වැදගත්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.