Sri Lanka Bhikku students

අජිත් පැරකුම් ජයසිංහ

කුමන්ත්‍ර‍ණ කියන වචනය ශිෂ්‍ය හා වාමාංශික දේශපාලනයේ නිරතුරුව යෙදෙන යෙදුමක්. එහි හැම විට ම ලොකු අරුතක් නැහැ. හැබැයි, මෙම ඡායාරූපයේ තිබෙන උද්ඝෝෂණයේ සිටින ශිෂ්‍ය භික්ෂූන් පවසන්නේ කුමක්දැයි සොයා බලන්නට අප උත්සාහ කළා.

28/12/2018 දින ජනාධිපතිවරයා විසින් නිකුත් කළ 21033/33 දරණ ගැසට් පත‍්‍රය මගින් ඔවුන් කුමන්ත්‍ර‍ණයක් ලෙස හඳුන්වන්නේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත්, අනුරාධපුර බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කොට අධ්‍යාපන අමාත්‍යාංශයට යටතට පත් කිරීමයි.

පසුගියදා පැවති භික්ෂු උද්ඝෝෂණයක් අමතමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි මෙසේ පැවසුවා. “විජයදාස රාජපක්ෂ කියන්නෙ අමු සිංහල බෞද්ධයෙක්. හැබැයි මිනිහ තමයි ගිය අවුරුද්දෙ බෞද්ධ දර්ශනයට සිසුන් බඳවගන්න එපා කියල විශ්වවිද්‍යාලවලට ලියුම් ගැහුවෙ. මෙතන තියෙන ඇත්ත ප‍්‍රශ්නෙ අපි හඳුනගන්න ඕනි. ඇත්ත ප‍්‍රශ්නෙ තමයි අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙළ. ඒක ඇතුළෙ ක‍්‍රියාත්මක කරන ශාස්ත‍්‍රීය විෂයය කප්පාදුව. ශාස්ත‍්‍රීය විෂයයන් කප්පාදු කරන්න දඟලන්නෙ දැන් වසර ගණනාවක ඉඳන්. මේ අවුරුද්දෙත් පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය විෂයයන්ට තවම කිසිදු විශ්වවිද්‍යාලයකට සිසුන් බඳවගෙන නෑ. බෞද්ධ පාලිය හා බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමෙන් ඉවත් කරන්නෙ මේ ශාස්ත‍්‍රීය විෂයය කප්පාදුවේම ඊළග ඊළග පියවර විදිහට. ඒ නිසා ඒක කුමන්ත‍්‍රණයක්. අපි ජනාධිපති ඇතුළු ආණ්ඩුවට කියනවා මේ ප‍්‍රශ්නෙට විසඳුම් දුන්නෙ නැත්තම් අපි ඊළඟ දවසෙ එන්නෙ හෝමාගමට නෙමෙයි. අපි එන්නෙ උඹලගෙ ගුබ්බෑයම් වටලන්න.”

මෙම ආයතන විශ්වවිද්‍යාල මිස පිරිවෙන් නොවන නිසා, ඒවා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂමට යටත් නොවුණත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබිය යුතු බවයි ඔවුන්ගේ තර්කය.

ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයට දිගු ඉතිහාසයක් තිබෙනවා. අනුරාධපුර යුගයේ මහා විහාරය, අභයගිරිය, ජේතවනය මෙන් ම වෙනත් පිරිවෙන් ද, කෝට්ටේ යුගයට එන විට කෑරගල පද්මාවතී පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන, වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන වැනි පිරිවෙන් පිළිබඳව ද ඉතිහාසයේ ද සඳහන් වෙනවා. විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල බිහි වුණෙත් ඒ නමින් වූ පැරණි පිරිවෙන් පාදක කරගෙනයි. දැන් ඒවා පිළිවෙලින් ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල ලෙස හැඳින්වෙනවා.

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත්, අනුරාධපුර බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයත් සුවිශේෂ වන්නේ ඒවා පාලි, සංස්කෘත වැනි පැරණි භාෂා සහ බුද්ධ ධර්මය හා දර්ශනය ඉගැන්වීම පිණිස ම ඇපකැප වූ විශ්වවිද්‍යාල නිසායි. ඒවායේ වැඩිපුර ඉගෙන ගන්නේ ද භික්ෂූන්. එමගින් පිරිනමනු ලබන ශාස්ත්‍රවේදී උපාධි සඳහා පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි මෙන් ම, දර්ශනය, බෞද්ධ දර්ශනය, අධ්‍යාපන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන් ද උගන්වනවා.

ශ්‍රී ලාංකික භික්‍ෂූන්ට තම අනන්‍යතාව තහවුරු කොට ගෙන උසස් අධ්‍යාපනය ලැබීමට ආයතනයක් නොතිබූ බැවින්, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමති සමයේ 1968 අංක 16 දරන බුද්ධශ්‍රාවක ධර්ම පීඨ පනතින් මහා විහාර භූමියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටුවන ලදී. එය 1996 අංක 26 දරන පනතින් බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත්, 2012 අංක 08 දරන සංශෝධිත පනතින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් අංග සම්පූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි.

බෞද්ධ අධ්‍යාපනය පුනර්ජීවනය කිරීම හා ථෙරවාදී බුදුදහම පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ පැවැත්වීම හා ලෝකය පුරා ව්‍යාප්ත කරලීම, බෞද්ධ සංස්කෘතිය හා එහි අංගයන් ප්‍රවර්ධනය කරලීම මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ ලෙස දැක්වෙනවා.

මෙම විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගන්නා භික්ෂූන් බොහෝ දෙනෙකු පාසල් හා පිරිවෙන් ආචාර්යවරුන් ලෙස රජයේ සේවයට බැඳෙනවා. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින දැඩි වානිජවාදී අධ්‍යාපන හා සමාජ රටාව හේතුවෙන් මෙම විශ්වවිද්‍යාල එතරම් ආකර්ශනීය නැහැ. ඒවායේ පාඨමාලා නවීන වීමේ අවශ්‍යතාව තිබෙනවා. නවීන වීම යනු ශාස්ත්‍රීය ලක්ෂණ අවම කරගැනීම විය යුතු නැහැ. එහෙත්, ලෝකයට අවශ්‍ය ආකාරයේ උපාධිධාරීන් පිරිසක් නිර්මාණය වන ආකාරයට මෙම පාඨමාලා සංශෝධනය විය යුතුයි. බෞද්ධ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය විෂයන් හුදු ශාස්ත්‍රීය පමණක් විය යුතු නැහැ. එහි ව්‍යවහාරික පක්ෂය වැඩිදියුණු කර ගැනීමේ වරදක් නැහැ.

මේ අතර, මුදල් අය කර පාඨමාලා පවත්වන කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය වැනි ආයතන ඉල්ලුමක් තිබෙන නව පාඨමාලා සංවර්ධනය කරගැනීමට සමත් වී තිබෙනවා. බෞද්ධායුර්වේද මනෝකායික චිකිත්සාව, උපදේශනය, බෞද්ධ සංස්කෘතිය හා පාරම්පරික විද්‍යාවන්, බෞද්ධායුර්වේදීය වෘද්ධත්ව කළමනාකරණය, ආයුර්වේද ශාස්ත්‍රය වැනි විෂයන් දේශීය හා ජාත්‍යන්තර සිසුන්ට එහිදී හැදෑරිය හැකියි. ආචාර්ය බෝදාගම චන්දිම හිමි අනුශාසකත්වය හොබවන මෙම විශ්වවිද්‍යාලයට රාජ්‍ය අනුග්‍ර‍ය ද ලැබෙනවා.

ශ්‍රී දළදා මාළිගාව විසින් ද උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කර තිබෙනවා. එහි නම ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය හෙවත් සිබා කැම්පස් යන්නයි. එමගින් තොරතුරු තාක්ෂණය පිළිබඳ ටොප් අප් උපාධියක් පවා පිරිනැමෙනවා. දළදා මාළිගාවෙන් පටන් ගත් විශ්වවිද්‍යාලයක් වුණත්, එය ද අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයට අනුව ‘උපාධි කඩයක්.’ 

Leave comment

Your email address will not be published. Required fields are marked with *.