ත්‍ර‍ස්තවාදය සම්බන්ධයෙන් නව අවධියකට පිවිස සිටින ශ්‍රී ලංකාවට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ නව නීති අවශ්‍යව තිබේ. ඒ සඳහා දැනට පවතින ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ප්‍ර‍මාණවත් නැති බව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැවසී ය.

Sinhala Tamil English Translations and Content Writing

එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අමානුෂික නීතියක් බවට පොදු මතයක් රජයේ ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත් කෙටුම්පත කරළියට එනතුරු ම පැවතිණි. මේ වන විට, විපක්ෂයේ මහින්ද රාජපක්ෂ අනුගාමිකයන් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම අනවශ්‍ය ඉතා හොඳ පනතක් ලෙස කරුණු දක්වමින් සිටිති. ඔවුන්ට අනුව, ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත යනු ත්‍ර‍ස්තවාදීන්ට සහන සලසන පනතකි. එහෙත්, ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පවසන්නේ එය නවීන ත්‍ර‍ස්තවාදී උපායමාර්ග මෙන් ම මානව හිමිකම් කෙරෙහි ද අවධානය යොමු කළ වඩා උසස් නීති සංශෝධනයක් බවයි.

මෙම සංවාදය ගලා යන ආන්තික ස්වරූපය අපි පහත දැක්වෙන ලිපියෙන් පෙන්වා දුන්නෙමු.

ත්‍ර‍ස්තවාදයේ නව යුගය, ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත හා ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූයේ එය තාවකාලික පනතක් ලෙස හඳුන්වා දෙන ලද 1979 පටන් ම ය. එය සංශෝධනය කරන බවට රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ද පවසා තිබේ. ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත හඳුන්වා දී තිබෙන්නේ ඒ වෙනුවෙනි. එහි ගැටලු තිබේ නම් සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කළ හැකි ය. සිදු කළ යුතු ය. එහෙම නැතිව දරුවා ද සමග කොරහේ වතුර විසි කළ යුතු නැත.

ත්‍ර‍ස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ස්ථාවර නීති පනවා නොගෙන හදිසි නීතිය යටතේ කටයුතු කිරීමේ අවදානම පුරවැසි බලය සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන මානව හිමිකම් පෙත්සමකින් අවධාරණය කර තිබේ. එම අවදානම් සහගත තත්වය පිළිබඳ විස්තර කරන පහත දැක්වෙන කොටස අද දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

“හදිසි නීතියේ 19 (1) වගන්තියට අනුව පුද්ගලයකු වරදක් කර නොතිබුණත් ඔහුගෙන් රටේ ආරක්‍ෂාවට, සාමය හා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට බාධාවක් ඇති වනු ඇතැයි පෙනී ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන මුලින්ම දින 30 ක් රඳවාගෙන සිට ඊට පසුව ආරක්‍ෂක ලේකම්ගේ නියෝග මත වසරක කාලසීමාවක් දිගටම රඳවා තබා ගැනීමට 19 වැනි වගන්තිය යටතේ බලය පැවරී ඇත.

“එසේ රඳවාගෙන සිටීමට ගත් තීරණය විමර්ශනයක් කිරීමට හෝ සාධාරණ ද නැද්ද යන්න සොයා බැලීමට අධිකරණයට බලයක් නැති අතර එවැනි පුද්ගලයකුට ඇපයක් පිට නිදහස් කිරීමට අධිකරණයට ඇති අයිතිය හා බලය ද එම රෙගුලාසිය මගින් ඉවත් කර ඇත.

“මෙම රෙගුලාසිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1) 12(2) 12(3) 14(1) සිට එච් දක්වා යන වගන්තිවලට පටැනි වන අතර අධිකරණ බලතලවලට අනිසි ලෙස ඇඟිලි ගැසීමකි.

“අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙක් මියගිය විට ඔහුගේ අවසන් කටයුතු එනම් භූමදානය හෝ ආදාහනය උසස් පොලිස් නිලධාරියකුගේ කැමැත්ත අනුව මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් තොරව සිදුකිරීමට ජනාධිපති පැනවූ 58 (1) සහ (2) හදිසි නීති රෙගුලාසියෙන් ආරක්‍ෂක අංශවලට බලය පවරා ඇත.

“එවැනි බලයක් ආරක්‍ෂක අංශවලට පැවරීමෙන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කරන මෙන්ම බලෙන් පැහැරගෙන විත් රඳවා ගන්නා පුද්ගලයන් කිසිවකු නොදැනුවත්ව හොර රහසේ විනාශ කර දැමිය හැකි වනු ඇත.

“රටේ සිදුවන සෑම මරණයක් ගැනම පරීක්‍ෂණයක් පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි විය යුතුය. ජාතික ආරක්‍ෂාව සඳහා කරන සෑම දෙයක්ම සාධාරණව ඒ අරමුණ පෙරදැරි කරගෙනම කිරීමට වගබලාගත යුතු යැයි පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් කර ඇත.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.