lyceum-panadura

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමු ස්ථානය දිනාගෙන තිබෙන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්යා ද අල්විස් සිසුවියයි. මෙය ලංකාවේ පෞද්ගලික පාසල් ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයකි.

ඇය කලුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර දේශීය විෂය නිර්දේශය යටතේ උසස් පෙළ සඳහා හදාරා තිබෙන්නේ ඉංග්‍රීසි (සාහිත්‍යය), ආර්ථික විද්‍යාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන විෂයන් ය.

ඇගේ පියා වෙළඳ නාවික කපිතාන්වරයකු වන වජිර ද අල්විස් වන අතර මව ගෘහනියක වන ප්‍රියානි සළුවඩනයි. සෙනාදී ඔවුන්ගේ එක ම දියණියයි.

“මෙම ප්‍රතිඵලය මට පුදුමයක්. මා මෙතරම් ඉහළ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නැහැ,” යි සෙනාදී praja.lk සමග පැවසුවා ය. ඇය මුල පටන් ම ගොස් තිබෙන්නේ මෙම පාසලටයි.

‘ජාත්‍යන්තර’ පාසල් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැති නිසා මෙම පාසල්වලට යන දරුවෝ බොහෝ අසාධාරණකම්වලට ලක් වෙති. ඔවුන් වරදකරුවන් පිරිසක් ලෙස සැලකෙන ප්‍රවණතාවක් තිබේ. මෙම පාසල්වලට දරුවන් යොමු කරන මව්පියන් ඉතා ධනවත් අය නොවේ. ධනවත් ම පවුල්වල දරුවන් බොහෝ විට ඉහළ පෙළේ රජයේ ජාතික පාසල්වලට හෝ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරනු ලැබේ. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරනු ලබන්නේ, බොහෝ විට මෙම අවස්ථාව අහිමි, එහෙත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය මව්පියන් ය.

ලංකාවේ පෞද්ගලික පාසල් අතරින් කොටසක් රජයේ ආධාර ලබන, කළමනාකාර මණ්ඩලයක පාලනයට යටත් ඒවා වන අතර, තව කොටසක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ජාත්‍යන්තර පාසල් ලෙස නම් කරන ලද ඒවා ය.

1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වැනි වගන්තියට අනුව පෞද්ගලික පාර්ශවයන්ට පාසල් පිහිටුවීම තහනම් ය. වයස අවුරුදු 5-14 දක්වා දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ රජයට පමණි. රජය සතුව පාසල් 10,000කට වැඩි සංඛ්‍යාවක් තිබේ. එයින් 350ක් පමණ මධ්‍යම රජයට අයත් ජාතික පාසල් වන අතර අනෙක් සියලු පාසල් අයත් වන්නේ පළාත් සභාවලට ය. සාමාන්‍යයෙන් ගත් කල ජාතික පාසල්වලට වැඩි ඉල්ලුමක් තිබේ. රජයේ පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 40ක් පමණ වේ.

‘ජාත්‍යන්තර’ පාසල් බිහිවුණේ මෙරට ජීවත් වන විදේශිකයන්ගේ දරුවන්ට විදේශ විභාග සඳහා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වුව ද මේ වන විට එකී ‘ජාත්‍යන්තර’ පාසල් විසින් දේශීය විභාග සඳහා අධ්‍යාපනය ලබා දෙයි. ඒවා ‘ජාත්‍යන්තර’ පාසල් ලෙස හැඳින්වීම තේරුමක් නැති අතර, ඒවා හැඳින්විය යුත්තේ පෞද්ගලික පාසල් ලෙස ය. එවැනි පාසල් 100කට වැඩි ගණනක් මෙරට ඇතැයි සැලකේ. ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාවල ලක්ෂය ඉක්මවයි.

මේ ඇතැම් පාසල්වල දේශීය විභාග වෙනුවට කේම්බ්‍රිජ්, EDEXCEL වැනි විභාගවලට උගන්වනු ලැබේ. එම විභාගවලට පෙනී සිටින දරුවන්ට රජයේ දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවකි. ඔවුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ම අධ්‍යාපනය ලැබීමට සිදු වේ.

‘ජාත්‍යන්තර’ පාසල් රජයේ අනුමත පාසල් ලෙස සැලකෙන්නේ නැත. රජයේ අනුමත පෞද්ගලික පාසල් යනු 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත පැනවීමට පෙර සිටම එවකට පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ පාසල් හෝ එම පනත යටතේ රජයට පවරා දීමට කැමැත්ත ප්‍රකාශ නොකර රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එකඟව තවදුරටත් පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ පවත්වාගෙන යනු ලබන පාසල්ය. එවැනි රජයේ අනුමත පෞද්ගලික පාසල් 79 ක ලේඛනයක්‌ 2014දී අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ පාසල්වලට විදුහල්පතිවරුන්ට යවා තිබේ. සාමාන්‍ය පෙළින් පසු රජයේ පාසල්වල උසස් පෙළ සඳහා සිසුන් ඇතුළත් කරගත හැක්කේ මෙම අනුමත පාසල්වලින් පමණි. මෙම තත්වය නිසා, ජාත්‍යන්තර පාසල් දරුවකු වයස අවුරුදු 14 ඉක්මවීමෙන් පසු, කිසියම් හේතුවක් මත මව්පියන්ට හෝ භාරකරුවන්ට හෝ එම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කළ නොහැකි තත්වයක් ඇති වුවහොත්, ලංකාවේ පවතින තත්වය තුළ එම දරුවාට අධ්‍යාපනය නතර කර දැමීමට සිදු විය හැකි ය.

‘ජාත්‍යන්තර’ පාසල් බොහොමයක බරපතල අඩුපාඩු තිබේ. ඒ අතරින් මූලික ම ගැටලුවක් වන්නේ මෙම පාසල්වල උගන්වන ගුරුවර – ගුරුවරියන් අතරින් බහුතරයකට වෘත්තීය පුහුණුවක් නැතිකම ය. එම ගුරුවරියන්ට නිසි වැටුපක් හෝ සේවා ස්ථිරතාවක් හෝ නැත. ඔවුන් සේවයේ තබාගන්නේ පුහුණුව ලබන්නියන් ලෙස වන අතර සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ආදියට කළ යුතු දායකත්වයන් පවා ඔවුන් වෙනුවෙන් කරන්නේ නැත.

කෙසේ වෙතත්, ‘ජාත්‍යන්තර’ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් විදෙස් ඌරුවට ඉංග්‍රීසි බස උච්චාරණය කිරීමට උගනිති. ජාත්‍යන්තර පාසල්වල කෙරෙන මූලික ම ඉගැන්වීම ලෙස ද සැලකිය හැක්කේ එයයි. කෙසේ වෙතත්, අගනාගරික සමාජයේ ව්‍යාපාරික ආයතනවල හා ජාත්‍යන්තර සංවිධානවල මෙම ඉංග්‍රීසි උච්චාරණයට විශාල ඉල්ලුමක් තිබේ.

මෙරට සියලු පෞද්ගලික පාසල් නිසි නියාමනයකට ලක් විය යුතු ය. ඒවා සම්බන්ධ නීති යාවත්කාලීන කිරීම ද අවශ්‍ය ය. මෙහිදී, අධ්‍යාපනය පිළිබඳ තෝරාගැනීම් කිරීමට පුරවැසියන්ට තිබෙන අයිතියට ගරු කළ යුතු ය. සෑම මවක හා පියෙකු ම උත්සාහ කරන්නේ තම දරුවාට පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලබා දෙන්නට ය. එහෙත්, ජාතික පාසල් 350ක් හා පළාත් සභාවලට අයත් පාසල් සීමිත සංඛ්‍යාවක් හැර සෙසු පාසල් සඳහා විශාල ඉල්ලුමක් නැත. ඒවාට යන දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ද, අධ්‍යාපනයෙන් පසු ලැබෙන සමාජ අවස්ථාවල ද ගැටලු තිබේ.

රජය රටේ සෑම දරුවකුගේ ම අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු ය. එහිදී සැමට සමාන ගුණාත්මක තත්වයක අධ්‍යාපන පහසුකම් ලබා දීමට රජය අසමත් වී තිබීම පිළිබඳ සැලකිල්ලට ගනිමින්, පෞද්ගලිකව ධනය වියදම් කරමින් අමතර වටිනාකම් දරුවන් වෙනුවෙන් ලබාදීමට ඇපකැප වන දෙමව්පියන්ගේ හා දරුවන්ගේ හිමිකම්වලට ආරක්ෂා කර දීමට රජය බැඳී සිටියි. ලංකාවේ පෞද්ගලික පාසල් සියල්ල ද රජයේ නියාමනයට ලක් කළ යුතු ය. නියාමනය යනු රජයේ විෂය නිර්දේශය අනිවාර්ය කිරීම නොවන බව ද සඳහන් කළ යුතු ය.

  • අජිත් පැරකුම් ජයසිංහ

2 thoughts on “ජාත්‍යන්තර පාසලකින් පළමු වරට උසස් පෙළ දිවයිනේ පළමුවැනියා වූ සෙනාදී කවුරුද?

  1. ඇය මුල පටන් ම ගොස් තිබෙන්නේ මෙම පාසලටයි — මා දන්නා පරිදි පෞද්ගලික පාසල් වල ටියුෂන් යා යුතු නැත. රජයේ පාසල් සිසුන් ටියුෂන් සඳහා පෞද්ගලික පාසල් සිසුන්ටත් වඩා වියදම් කරති.

    • ඒක සැබෑවක් නොවේ. පුද්ගලික පාසලක ඉගෙනුම ලබන මගේ දරුවාටද ටියුෂන් යාමට සිදුව තිබේ. රජයේ වේවා, පුද්ගලික වේවා, ‘සිලබස් කවර් කිරීමට’ සිදුවේ. එහිදී ඉගැන්වීමේ වේගය වැඩිය. අතහැරෙන, මගහැරෙන විෂය කරුණු, වැඩිය. ඒවායෙත් පංතියක 40 ක් විතර සිටිති. එනිසා ඔබගේ තර්කය වැරදිය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.