කේ.ජී. පිලිප් ශාන්ත

දීර්ඝ කාලයක් තිස්සේ ඇසුන ඉඩම් නඩුවකට අවසානයේ මට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදුවුණා. මුළු ජීවිතයටම අධිකරණයක පෙනී ඉන්න දෙවැනි දවස වූ නිසා පොඩි තිගැස්මක් නැතිවමත් නෙවෙයි. නමුත් මගේ නීතීඥයා ලවා සුපරීක්ෂා කර ගත්තේ මගේ ඇදුමේ පැළඳුමේ නොගැලපීමක් හෝ තියෙනවාද යන්නයි. එහෙත් කිසිම වරදක් නැති බව ඔහු කීවා. එහෙත් අධිකරණයට ප්‍රවේශ වෙන කොටම ළාබාල පොලිස් නිලධාරියකු ආචාරශීලී හා ගෞරව සම්පන්නවත් විනීතවත් සුහදශීලී ලෙසත් මට කීවේ මොබයිල් ෆෝන්ස් තියෙනවා නම් පිටතින් තබා එන ලෙසයි.

Sinhala Tamil English Translations and Content Writing

අධිකරණ භූමිය පැවතියේ නගරයට මෙපිටින්. අසල සුවිසල් නිවෙස් මිස කඩයක් ගෙයක් දොරක් නැහැ. මා අසරණ වුනා. එය තේරුම් ගත් තරුණයා කීවේ “තියන්න තැනක් නැත්නම් මට දීල යන්න. මහත්තය එනකොට මතක ඇතිව ඉල්ල ගන්න,” ලෙසයි. එය අවස්ථාවේ හැටියට ලොකු උදව්වක් උනා. නමුත් ප්‍රශ්නය පැන නැගුනේ දෙවැනි දිනයි.

එදින අනුව ජංගම දුරකථනය වෙනත් තැනක තබා යන්නට හැකියාවක් මට තිබුණෙ නැහැ. එනිසා මා අධිකරණයට ආවෙ එදා හිටි ප්‍රියමනාප තරුණයා අතට හෝ දුරකථනය දීමේ අදහසින්. කල් වේලා ඇතිව අධිකරණයට ගියත් එය ආරම්භ වන්නට වේලාව තිබූ නිසා මා කොරිඩෝව අසල හිටගෙන හිටියේ අධිකරණයට පැමිණ සිටි ගැමියන්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින්. කලින් දින සිටි ප්‍රිය මනාප තරුණ පොලිස් නිලධාරියා එදින දක්නට සිටියේ නැහැ. ඒ වෙනුවට වැඩිහිටි රළු පරළු පොලිස් සාජන් කෙනෙක් ඔබ මොබ ගියේ පෙර කී ගැමියන්ට නොමනා ලෙස තර්ජනය කරමින් හා බැන අඩගසමින්. මා දෙස ද ඇස් ලොකු කර බැලූ ඔහු මහත් ශබ්දයෙන් මෙලෙස විමසුවා.

“මොකද මෙතැන කරන්නෙ?” ඔහු ශබ්ද නගා විමසුවේ ගැමියන් ඉදිරියේ මාව හාස්‍යයට ලක් කරන්නට මෙනි.

මම ද මහත් ශබ්ද නගා කීවේ “උසාවිය පටන් ගන්නකම් ඉන්නවා,” යන්නයි.

“ඇයි ඔච්චර ශබ්දෙ?” ඔහු නැවත විමසුවේ අමුතු සතෙක් දුටු අයුරිනි.

“ඇයි සාජන් මහත්තයට විතර ද සද්දෙට කතා කරන්න පුළුවන්?”

මිනිසුන් පුදුම වී බලා සිටිය දී ඔහු ඉලක්කයක් ගෙන නිශ්චිත ප්‍රශ්නයක් මගෙන් විමසුවා. මා එය බලාපොරොත්තු වූ අතර මා මොහොතකට නිහඬ කරන්නක් බව ද තේරුම් ගත්තා.

“ෆෝන් තියෙනවද ළග? ෆෝන් තියෙනව ද? තියෙනව නම් එළියෙන් තියල එනව,” එය ද ශබ්ද නගා කීවේ තර්ජනයක් ලෙසින්.

මගේ කමීස සාක්කුවේ ජංගම දුරකථනය තිබූ අතර එය සාජන්වරයා දුටුවා. “ඔය ෆෝන් එක එළියෙන් තියල එනවා,” යැයි ඔහු මහත් ප්‍රීතියෙන් ශබ්ද නගා කීවා. මා එය නොඇසුණු ස්වරයෙන් හිටියේ කල් ගැනීම සදහායි.

සාජන්වරයා ඊලග රවුම එන්නට කලින් කළ යුත්තක් කළ යුතුය. එවිට මට අධිකරණයේ කැන්ටිමක් ඇති බව මතක් වී ඊට ගොස් දුරකථනය තබා ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැදෑකම් ඇදුරුම්කම් සියල්ල පවසමින්. අවසානයේ කැන්ටිමේ මුදලාලි දුරකථනය තබා ගැනීමට භාර ගත්තා. මා එළියට ඇවිත් සුපුරුදු පරිදි මඳ වේලාවක් කොරිඩෝවේ සිට උසාවිය ඇතුළට ගොස් අසුනකට බර වූවා.

සාජන්වරයා උසාවිය ඇතුලටත් පැමිණ සුපුරුදු බර බරය නැගුවේ අහිංසක ගැමියන් බියට පත් කරමින්. මගේ මුහුණ දුටු සැනෙන් මා අසලට ආ ඔහු ෆෝන් එක තියල ද ආවේ යැයි විමසීය. මම අහක බලා ගත්තෙමි. එවිට මහත් ශබ්ද නගා නැවත එය මගෙන් විමසීය. උසාවිය පටන් ගන්නට කලින් වුවත් සෑහෙන සෙනගක් සිටි බැවින් ඔවුහු මා දෙස බැලුවේ බරපතල වරදකරුවකු දෙස බලන අයුරිනි. මා අහක බලා ගන්නා විට සාජන්වරයා මා බලෙන් මෙන් නැගිටුවා මගේ සාක්කු ඇද්ද දුරකථනය සෙවීමට පටන් ගත්තේය.

“මොනවද මහත්තයෝ හොයන්නේ?” යැයි මා ඇසූ විට “කෝ ඕයි තමුසෙගෙ ෆෝන් එක?” යැයි විමසීය. මා නැවත විමසුවේ “මොන ෆෝන් එකක් ද?” යන්නයි. එවිට ඔහු අශීලාචාර ලෙස යන්නට ගියේ ය. මා දුරකථනය කැන්ටිමේ තැබූ බව සාජන්වරයා දැක නැත.

උසාවිය ආරම්භ වූ පසුත් සාජන්වරයාගේ ඇස යොමු වී තිබුණේ මා දෙසට ය. රැවුම් ගෙරවුම් එල්ල කරමින් ඔහු මගෙන්ම ගේම ඉල්ලුවේ ය. ඔය අතර අසුනේ හොදින් වාඩි වී අත්දෙක දෙකකුල මත තබාගෙන සිටි මට නොදැනෙන ලෙසම අත්දෙක බැදගන්නා වූ ඉරියව්වකට මාරු වී තිබුණි. එය දුටු සාජන්වරයා වේගයෙන් පැමිණ මට තරවටු කළේ “උසාවියට අපහාස කරල හිරේ යන්නද හදන්නෙ?” කියමිනි. මම දත්මිටි කෑවෙමි. ඒ අතරම මගේ නඩුව කැඳවූ අතර මගේ නම කියවූයෙන් නැගිට ආචාර සමාචාරව ගෞරවනීයව ඉදිරියට ගොස් සිට ගතිමි.

මම කෝපයෙන් පුපුරමින් සිටියෙමි. නඩුව ඇසෙමින් පවතී. නඩුවේ අවශ්‍යතාවකට මගේ නීතීඥයා මා අසලට ආ අතර මම ඔහුට කීවේ මා පත් වූ අකරතැබ්බයයි. එසේම මට මෙය විනිශ්චයකාරවරයාට පවසන්නට අවශ්‍ය බව ද කීමි. ඔහු අකැමැත්තෙන් වුවද ඊට එකග විය. මගේ ඉල්ලීම මත ඔහු විනිශ්චයකාරවරයා අමතා මට අවස්ථාව ලබා දුන්නේ ය. විනිසුරුවරයා මගෙන් විමසුවේ තමාට පවසන්නට ඇත්තේ කුමක් ද යන්නයි.

මම විවෘත අධිකරණය අමතමින් මට සිදුවූ අසාධාරණය හඬ නගා කීමී. මා රාජ්‍ය සේවයකු බවත් අධිකරණය හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය බවත් කිසිම අපරාධ නඩුවක චූදිතයකු වී නැති බවත් ගෞරවනීය පුරවැසියකු බවත් කීමි. එසේම ජීවිත කාලය පුරාම නීතියට දැක්වූ පක්ෂපාතීභාවය හා ගෞරවය ගැන ප්‍රකාශ කළ මා එහෙව් මට මේ පොලිස් සාජන්වරයා හිරිහැර කිරීම ගරු අධිකරණය අනුමත කරන්නේදැයි විමසීමි. සාජන්වරයා මට කරන ලද අවමානය විනය ගරුක නීතිගරුක පුරවැසියකුගේ අයිතීන් උදුරා ගනිමින් මගේ මූලික අයිතීන්ට කළ බරපතල අවමානයක් යැයි කීමි. ඔහුගේ විනෝදාංශය වී ඇත්තේ ගරු අධිකරණයට පැමිණෙන අහිංසක දුප්පත් මිනිසුන් බිය වැද්දීම බවත් ඒ අයුරින්ම මා ද බිය වැද්දීමට උත්සාහ දැරීම හාස්‍යජනක බවත් මම කීමි. එසේම ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ගරු විනිසුරුතුමා පෞද්ගලිකවම මැදිහත්වන ලෙස ද කාරුණිකව ඉල්ලීමි.

විනිසුරුවරයා මගේ කරුණු දැක්වීම බරපතල ලෙස සලකා බැලීය. ඒ සම්බන්ධව පොලිස් සාජන්වරයා අධිකරණය ඉදිරියට කැඳවා තදින් අවවාද කළේ ය. මේ ගරු අධිකරණයට පැමිණෙන සිවිල් පුරවැසියන්ගේ අයිතීන්ට ගරු කරන්නට ඔබ ඉගෙන ගත යුතු බව විනිසුරුවරයා විසින්ම ප්‍රකාශ කළේ ය. එසේම උසාවියට පැමිණ සිටි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු ද කැදවා සාජන්වරයාට තදින් අවවාද කරන ලෙස ප්‍රකාශ කළේ ය.

2 thoughts on “කෝට් සාජන්ලගෙ රැස්පොට්

  1. මිණිවන් පී තිලකරත්න ලියූ උසාවි සාවිය යන නවකතා පොතේ මෙවැනි අවස්ථා සඳහන් වෙනවා.

  2. එය ඔබේ දෙවන හා අවසන් දවස විය හැකියි. නමුත් අර අනෙක් ගැමියන්ගේ වසර ගනනක 1ක් දිනයක් පමනි… විස්වාසෙටම දෙවන දිනයේ ඔබ නැති බව දැක අර යකා මේ මිනිස්සුන්ව කන්නට ඇත

Leave comment

Your email address will not be published. Required fields are marked with *.