Mahinda in parliament cartoon

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ල මේ වන විට පරාජයෙන් අවසන්වී තිබේ. එහෙත්, කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම තවම අවසන් වී නැත. මෙය රාජ්‍ය විරෝධීකුමන්ත්‍රණයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පවා අපහසු වී තිබේ. එයට ප්‍රධාන හේතුව රටේ ජනාධිපති හා සේනාධිනායක ධුරය දරන පුද්ගලයා ද කුමන්ත්‍රණකරුවකු හා රාජ්‍යවිරෝධියකු වීමයි. ඔහුට ආණ්ඩුව තුළ තිබෙන බලය හේතුවෙන් කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මේ රටේ මහජනතාවට නැත.

Sinhala Tamil English Translations and Content Writing

කුමන්ත්‍රණ නායකයකු ජනාධිපති පදවියේ තබාගෙන ආණ්ඩු කිරීම පහසු නැති බව ඇමති මණ්ඩලය පත් කරන අවස්ථාවේදී ම පැහැදිලිව දක්නට ලැබිණි. සරත් ෆොන්සේකා හිටපු ඇමතිවරයාට ද, මන්ත්‍රීන් මිළ දී ගැනීම හෙළිදරව් කළ පාලිත රංගෙබණ්ඩාර මන්ත්‍රීවරයාට ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වුණ මන්ත්‍රීවරුන්ට ද ඇමති තනතුරු ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. එපමණක් නොව, කැබිනට් මණ්ඩලය පත් කිරීම පමා වූයේ ජනාධිපතිවරයා නැවත වරක් ව්‍යවස්ථා විරෝධී ලෙස තමන්ට දරන්නට බලය නොමැති ඇමති තනතුරු ඉල්ලා සිටීම නිසා බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චය කර තිබේ. එම නිශ්චය කිරීම ද ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික රුචිය මත පදනම් වී තිබෙන බව ද, විද්‍යාත්මක නොවන බව ද වෙනම කාරණයකි. 

රටේ ජනාධිපතිවරයා ඉදිරියටත් ආණ්ඩුවේ කකුලෙන් ඇදීම දිගට ම කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය. මේ වන විට ඔහු සහ ඔහුගේ පක්ෂයේ බලය මුළුමනින් ම පාහේ පිරිහී ගොසිනි. ඔහුට කිසි සේත් ම නැවත බලයට පත් වීමේ හැකියාවක් නැත. මහින්ද රාජපක්ෂ ඔහුට ජනාධිපති අපේක්ෂකකම පවරන්නේ නම් එය දේශපාලනික සියදිවි නසාගැනීමකි. එහෙත්, මෙම දුබල ජනාධිපතිවරයා රූකඩයක් සේ පාලනය කිරීමට ලැබී තිබෙන නූල් අතහැර දැමීමට තරම් රාජපක්ෂවරුන් දේශපාලනික වශයෙන් අඳබාල වන්නේ නැත. එහිදී එය යම් දුරකට හෝ තුලනය කරගත හැකි වන්නේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මූලධාර්මික පදනම් බිඳ දමමින් තම බලය තහවුරු කරගැනීමේ වෙන ම ක්‍රීඩාවක යෙදෙන සජිත් ප්‍රේමදාසට ය. එහෙත්, සජිත් ප්‍රේමදාස යනු එජාප මෑත වකවානුවේදී අත්පත් කරගත් ගුණාංගවලට අනුකූල නායකයකු නොවේ. ඔහු නියෝජනය කරන ගුණාංග මොනවා ද යන්න ද අපැහැදිලි ය. 

මේ අතර, කුමන්ත්‍රණකරුවන් අතර කැළඹීමක් ඇති කර තිබෙන අලුත් ම ප්‍රශ්නය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඒ වනාහි මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය තබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ දැරීමට නීතිමය අයිතියක් තිබේ ද යන්නයි. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයට පත් වූ අවස්ථාවේදී ඔහුගේ නාම යෝජනාව ඇතුළත් වූ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සාමාජිකභාවය, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ පසුගිය නොවැම්බර් 11දා ය. ඒ අනුව, මේ වන විටත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී හමාර ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම යනු ඉතා පැහැදිලිව ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා එහි සාමාජික පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව, එම මන්ත්‍රීවරයා ඉවත් කර ඇති බව හා ඔහු වෙනුවට වෙනත් අයකු පත් කරන බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තිබේ. එම සන්ධානයේ මහලේකම් ධුරය හොබවන්නේ මහින්ද අමරවීර ය. ඔහු එසේ නොකර සිටීම පක්ෂ ලේකම්වරයකු ලෙස වගකීම් පැහැරහැරීමකි. එය හුදු පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවේ. පාර්ලිමේන්තුව හා සම්බන්ධ පොදු කාරණාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු එම ධුරය දැරීමත්, එසේ කිරීමට අනුබල දීමත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමකි. 

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බව සහතික කරමින් ලිපියක් 20 දින ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කතානායක කරු ජයසූරිය මහතාට බාරදෙන බව ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කළ බව දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. ශ්‍රීලනිප ලේකම්වරයාගේ ලියුම් පාර්ලිමේන්තුවට අදාළ නැත. ශ්‍රීලනිපයෙන් පත් වූ එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවේ නැත. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත් වූ මන්ත්‍රීවරුන් ය.

මේ බව හොඳින් දන්නා නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණට පක්ෂපාතී එජනිස මන්ත්‍රීන් 44ක පිරිස පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් කිසිවිටෙකත් පොහොට්ටු සාමාජිකත්වය ගත්තේ නැත. ඔවුන් ප්‍රසිද්ධියේ ම එසේ කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු ය. ඔවුන්ගේ ක්‍රියාකලාපය ඔවුන් චේතනාන්විතව ම, උපායශීලීව කටයුතු කළ බව ඔප්පු කරයි. එසේම, ඔවුන් ඒ අයුරින් හැසිරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවඥාවට ලක්කිරීම පිණිස ය.

මේ අනුව, සදාචාරාත්මකව මේ වන විට මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මන්ත්‍රී පිරිස ඔවුන්ට තනතුරු අහිමි වී ඇති බව දනිති. ඒ නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ අයිතියක් නැත. එසේ පැමිණීමෙන්, මන්ත්‍රී වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබාගැනීමෙන් ඔවුන් කරන්නේ මුල්‍ය වංචාවකි. 

පක්ෂය හැර ගිය මන්ත්‍රීන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සිදු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වී තිබෙන අතිශය දුර්වල තත්වය නිසා ය. මේි මන්ත්‍රීන් කටයුතු කරන්නේ පන්දුව වැදී තමන්ගේ විකට් පොලු තුන ම ගැලවී ගිය පසුත්, තුන්වන විනිසුරුවරයාගෙන් තීන්දුව අපේක්ෂා කර පිටියේ රැඳී සිටින පිතිකරුවකු සේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමන්විත වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකිනි. සන්ධානය තුළ එම පක්ෂවලට හා එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට යම් ස්වාධීනත්වයක් තිබෙනමුත්, පක්ෂය හැර දමා වෙනත් පක්ෂවලට එක් වීමේ හැකියාවක් නැත. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ය. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද දෙවන සංශෝධනය සිහිපත් කිරීම වැදගත් ය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් තරග කොට ජයගෙන ආණ්ඩුවට එකතු වූ රාජදොරෙයි හා ශ්‍රීලනිපයෙන් බේරුවල ආසනයට තේරී පත්වී ආණ්ඩුවට එකතු වූ ආර්.ජී. සමරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීම එහි අරමුණ විය. එම සංශෝධනය ගෙන ආවේ අනාගතයට බලනොපාන ඒ අවස්ථාවට පමණක් බලපාන පරිදි ය. එයින් ද පෙනෙන්නේ පක්ෂ මාරු කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. ලංකාවේ ආණ්ඩුක්‍රමය සකස් කර තිබෙන්නේ ම 
පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂයක් ලබාගන්නා ආසන සංඛ්‍යාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් නොවෙනස්ව පවතින ආකාරයටය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේදී ඇතිවන පුරප්පාඩු එම පුරප්පාඩුවට හිමි දේශපාලන පක්ෂය විසින් පිරවිය යුතුය. මෙම ක්‍රමය සකස් කර තිබෙන්නේම පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පක්ෂ මාරු නිසා සිදුවන ආණ්ඩු පෙරළි ඇතිවීම වැළකීම අරමුණු කොටගෙනය. 

ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් වූ අවස්ථාවේදී එම මන්ත්‍රීවරයාගේ නම ඇතුළත් වූ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක  සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ සාමාජිකත්වය නතර වූ විට, සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට මන්ත්‍රීවරයාගේ අසුන හිස්වන්නේය. එම වගන්තියේ දෙවැනි ඡේදයේ මෙසේ දැක්වේ: “එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් පහකරනු ලැබූ අවස්ථාවක ඉහත කී මාසයක කාල සීමාව ඉකුත්වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ එම පහකිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේය.” මේ අනුව බලන විට, පක්ෂයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අවස්ථාවක් පවා නැත. තිබුණත්, මේ වන විට ඒ සඳහා නියමිත කාලය ද අවසන් ය. 

නීිතියේ සිදුරුවලින් රිංගමින් රටේ නීතිය, ව්‍යවස්ථාව සමග සෙල්ලම් දැමූ යුගය අවසන් බව පසුගිය සති කීපය තුළදී අධිකරණය විසින් ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වා දී තිබේ. ඒ නිසා දැන් ඉතින් සියල්ලට පළමුවෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ සාමාජික මන්ත්‍රී පිරිස දොට්ට බැස යා යුතු ය. ඔවුන්ට සිය බල අරගලය පාර්ලිමේන්තුවෙන් පිටත කරගෙන යාමට බාධාවක් නැත. 

අජිත් පැරකුම් ජයසිංහ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.