Palali airport from sky

ලංකාවේ ඉතිහාසයේ නව නැම්මක්; පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ලබන මස

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි.

Translations by Creative Content Consultants

ලබන මාසය මැද වන විට පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරේ වැසියන්ට විදේශගත වීම සඳහා කොළඹට පැමිණීමේ අවශ්‍යතාව මේ සමග නැති වී යනු ඇත. එමගින් විශාල කාලයක් මෙන් ම මුදලක් ද ඉතිරි කරගැනීමට හැකි ය. පලාලි සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්, චෙන්නයි, බැංගලෝර් වැනි ගුවන් තොටුපලවලට ඉතා කෙටි කාලයක් තුළ පියාසර කිරීමේ හැකියාව තිබේ.

පලාලි ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන අතර මත්තල වැනි සුදු අලියෙකු නොවන බව සහතික ය. එයට හේතුව වන්නේ උතුරු පළාත මේ වන විටත්, විදේශගත දෙමළ ප්‍රජාවක් සමග සම්බන්ධ, නිතර විදේශගත වන දෙමළ මධ්‍යම පන්තියකින් සමන්විත ප්‍රදේශයක් වීමයි. මත්තල අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ, හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජන නිර්මාණය කරගෙන කර්මාන්ත සංවර්ධනයක් සිදුකිරීමට රජයන් අසමත් වීමයි.

මේ සමග ම අවධානය යොමු විය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ තලෙයි මන්නාරමේ සිට රාමේශ්වරම් දක්වා පැවති පැරණි බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමයි. එය ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර සුළු වෙළඳ කටයුතු, ගමන් බිමන් ආදියට මහෝපකාරී වෙනු ඇත. අතීතයේදී මෙම බෝට්ටු සේවය හරහා ඉන්දියාව හා ලංකාව අතර දුම්රිය ගමන් සම්බන්ධීකරණය විය.

පසුගිය රජය මේ වෙනුවට කොළඹ වරාය හා කොචින් අතර නැව් සේවාවක් ආරම්භ කළ අතර එය පාඩු ලැබීමෙන් අසාර්ථක විය.