සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ
උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ
ඕක තමයි අපි කිව්වෙ අපි එක්ක බෑ කියලා කියනවා බොලේ
තවත් සමහරුන් කියනා විදියට ක්‍රිකට් බයි චාන්ස් මේක මලේ

ක්‍රිකට් කියන්නේ ලව් එක වාගේ බොක්කෙන් කළ යුතු දෙයක් ප්‍රියේ
දිනන දවස් ඇත ඒ පමණක් නොව පරදින දවසුත් අපට තියේ
සතුටට උනනා කඳුළෙ උණුසුම ම දැනෙයි කඳුළටත් පරාජයේ
විනාශයේ අළු මතින් නැගී එන බලාපොරොත්තුව අපට තියේ

අපේ ටීම් එක දුර්වල නම් එය රටේ ම ක්‍රීඩාවේ තත්තේ
මොනව කරන්න ද මරා දාන්න ද උන්මයි ගොඩ දා ගත යුත්තේ
ක්‍රිකට්ලෝලීන් සෙවල වැඩ නැතුව මුළු හදින් ම දිරි දිය යුත්තේ
උනන්දුවයි විශ්වාසයයි තිබේ නම් ක්‍රිකට් දිනන්නට බැරි නැත්තේ

ඔය කතාවමයි දේශපාලනේ ගැනත් කියන්නට සිදුවන්නේ
අප වැනි යකුන්ගෙ හැටියට මිතුරනි මේ වගෙ විමාන ඉදිවෙන්නේ
මොනව කරන්නද අපමනෙ මුන් ටික මේ විදියට පත් කරගන්නේ
දැන් ඇති ප්‍රශ්නය මේ ඉබ්බන්ගෙන් පිහාටු කොහොමද අරගන්නේ

ක්‍රිකට් ගහන්නට අලුතෙන් කොල්ලන් සොයාගන්න පාරට බහිමු
රට කරවන්නට ගැලපෙන නායක-යන් අලුතෙන් අපි හදාගමු
ක්‍රිකට්ලෝලීනි අසුබවාදිකම අත්හැර ආදරයෙන් බැඳෙමු
දේශපාලනෙදි මුලින්ම අලුතෙන් ජනතාවක් පත් කර ගනිමු

අජිත් පැරකුම් ජයසිංහ

1 thought on “ක්‍රිකට් සහ දේශපාලනය ගැන කවි

  1. !
    ක්‍රිකට් ටීම් එක අලුතෙන් හදන්න පොදු නායකයකු පත් කරමු
    සංඝ ගුරු ගොවි වෙද කම්කරු සිකුරිටි බලවේගය පාරට ගනිමු
    කතරගමට නල්ලූර් කෝවිලට අයියනායකට බාර වෙමු
    “විස්සයි විස්සේ” කප් එක පැරදුනහොත් රට හැමතැන පොල් ගහමූ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: