Sajith and Mangala

සජිත්ගේ දේශපාලන සියදිවි නසාගැනීමේ අව’මංගල’ මෙහෙයුම

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින ඇතැමෙකු ක්‍රියා කරන්නේ අවම හෝ ආචාරධර්මයක් නැතුව ය. වම, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ගැහැණු, පිරිමි භේදයකින් තොරව බලය වෙනුවෙන් ඕනෑම ජඩ පාවාදීමක්, මිත්‍රද්‍රෝහීකමක් පමණක් නොව දීන වැඩක් කරන අය එහි බහුල ය.

Sinhala Tamil English Translations and Content Writing

අලුත් ම හෙළිදරව්ව තවත් පැරැන්නෙකු ගැන ය. ඔහු වනාහි කුමන්ත්‍රණ පිළිබඳ චිරප්‍රසිද්ධ අයෙකි. නමින් මංගල සමරවීර ය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු ලෙස බලය දිනාගත් මංගල උපරිම අන්දමින් හා සදාචාර විරෝධී අන්දමින් බලය අවභාවිතා කළේ ය. පසුව, චන්ද්‍රිකාගේ දෙවන ධුර කාලය අවසන් වන විට චන්ද්‍රිකා සමග සියලු හිතවත්කම් පාවා දී මහින්ද රාජපක්ෂට සමීප වී යළි බලවත් විය.

වයසෙන්, සිරුරෙන් වියපත් වුව ද, ඇතැම් විට රෝගී පවා වුව ද ලංකාවේ දේශපාලකයන් හැසිරෙන්නේ නොමැරෙන මිනිසුන් තරම් තෘෂ්ණාවකින්, බල ලෝභයකින් හා අධමකමකිනි. මංගලගේ අලුත් ම ගොදුර පසුගිය සමයේ ඔහුට ඉහළ නගින්නට උර දුන් රනිල් ය.

අගමැති සහ එ ජා ප නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන භූමියෙන් සදහටම ඉවත් කිරීම සඳහා මුදල් ඇමති මංගල සමරවීර සිය ආරම්භයේදී ම අසාර්ථක උපායමාර්ගය පසුගිය අගෝස්තු 28 දා රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් තම නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී එළිදක්වා ඇති බව වාර්තා වේ.

රටේ මේ වන විට සිටින ජනප්‍රියම අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා බවත්, විපක්ෂයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැක්කේ ඔහුට බවත්, මෙහිදී සංඛ්‍යාලේඛන ඇසුරින් පැහැදිලි කර දී තිබෙන්නේ එජාපයේ සිටින බුද්ධිමතෙකු ලෙස සැලකෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ය. මොහු ද රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලනයට කැඳවාගත්, අවසානයේදී ඔහුට ම කෙළවීමට ඉදිරිපත් වූ දේශපාලකයන් සමූහය අතරින් තවත් එක් අයෙකි. තමන් විසින් දේශපාලනයට උඩින් පාත් කරන ලද අය තමන්ට ම එරෙහිව යාම රනිල් වික්‍රමසිංහගේ අවාසනාවන්ත දේශපාලන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයකි.

මෙහිදී මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වඩා ජනප්‍රිය අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව කීමට තමන්ට සංඛ්‍යාලේඛන අනවශ්‍ය බවත්, ඒ බව ගමට ගිය විට තමන්ගේ ඇඟට දැනෙන බවය. ඒ මන්ත්‍රීවරුන් විමසා ඇත්තේ මෙම යෝජනාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කරවා ගන්නේ කෙසේද යන්නය.

එහෙත්, අපගේ විශ්වාසය නම් වඩා ජනප්‍රිය සජිත් ය යන්න ද යම් දුරකට සිරස ගම්මැද්ද වැනි වැඩසටහන් හරහා සහ රැස්වීම්වලට පිටින් ගෙනැවිත් සජිත් ඉල්ලා උද්ඝෝෂණය කරන මුදලට යෙදවූ පුද්ගලයන් හරහා නිර්මාණය කරන ලද්දක් බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට මෙම ප්‍රශ්නය විසඳිය හැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම අගමැති ධුරයේ කටයුතු කළ හැකි බවත් මෙහිදී මලික් සමරවික්‍රම ඇමැතිවරයා පවසා ඇත. මලික් සමරවික්‍රම යනු ආර්ථික අරමුණු වෙනුවෙන් පක්ෂපාතිත්වය මාරු කළ රනිල් විසින් දේශපාලනයට ගෙන ආ තවත් අයෙකි.

ඒ අනුව පළමුව ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙත ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත ලබා ගැනීමට නියමිත ය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන අයගේ යෝජනා ස්ථිරත්වයෙන් එම නාම යෝජනාව සම්මත කරගනු ලැබේ. ඉන් අනතුරුව, එම නම යෝජිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්ව මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමත කරගනු ඇත. ඉන් පසු ජනාධිපති අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇත. උපායමාර්ගය එයයි.

“මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්වෙන හෙයින්ද, 19 වන සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට හැකියාවක් නැති බැවින්ද, අගමැති අපේක්ෂකයකු නම් කිරීමෙහි තේරුමක් නැත.”

“සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, පක්ෂයේ ව්‍යවස්ථාවලියෙහි සඳහන් අන්දමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද ඔහුට පැවරීම සිදුවනු ඇත.”

මෙම අවස්ථාවේදී සාකච්ඡා නොවුණු කාරණය වන්නේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වන මහ මැතිවරණයෙන් පසු පිහිටුවීමට බලාපොරොත්තු වන ආණ්ඩුවේ අගමැති ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්නය. ජනාධිපතිවරයෙකු බලයට පත්වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. 19වන සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5ක් බවට පත් කොට, එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් 2/3 ක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කරන ලද්දේ නම් මිස, වසර 4 1/2ක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය. කෙසේ වුවද පෙබරවාරි මාසයේදී වසර 4 1/2 සම්පූර්ණ වන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට හැකියාව ඇත.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පවත්වන ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බලයට පත් වී බිහිවන නව රජ යේ අගමැති ධුරය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේද යන්න මන්ත්‍රීවරුන් විසින් විමසා ඇත. මෙහිදී මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණේ ඒ ආණ්ඩුවේ අගමැතිකම ගැන කතාකිරීමට පෙර ඡන්දය දිනා ගත යුතු බවයි.

සජිත් ජනාධිපති කිරීමේ මංගලගේ උපායමාර්ගයේ අරමුණ වන්නේ අගමැතිකමට පත්වීමයි. එක්සත් ජාතික පක්ෂය විනාශ කර හෝ තම අරමුණ දිනාගැනීම මංගලගේ අපේක්ෂාව බව හෙළිදරව් වී හමාර ය. මෙම ඊනියා බොළඳ උපායමාර්ගයේ ඇත්ත අරමුණු පෞද්ගලික ඒවා බව පැහැදිලි ය. අඩු තරමේ එක්සත් ජාතික පක්ෂය තුළ මෙම ප්‍රශ්නය අර්බුදයකින් තොරව විසඳාගැනීමට හෝ මෙම පිරිසට උපායමාර්ගයක් නැත.

රට පාලනය කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ දැක්ම පිළිබඳ අනන්ත විවේචන සමාජය තුළ තිබේ. මෙම පිරිසට අඩු තරමේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට හෝ සැලැස්මක් නැති බව පැහැදිලි ය. මේ පිරිස් මේ අන්දමින් කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ම උපායමාර්ගයේ කොටසක් ලෙස වන්නට පුළුවන. ඔවුන්ට අවශ්‍ය ජනාධිපතිවරණය ජයගැනීම නොව රනිල් වික්‍රමසිංහ පළවා හැර පක්ෂයේ බලය අල්ලාගැනීම බව පෙනේ.

මෙම අශුද්ධ සන්ධානයේ ඇතැම් පිරිස් පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේදී හැසිරුණ ආකාරය ද මේ සඳහා සාක්ෂි සපයයි. සජිත් ප්‍රේමදාස කුමන්ත්‍රණකාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග රහස් ගනුදෙනු කළ අතර මංගල සමරවීර එදා රනිල් වික්‍රමසිංහලා කරගෙන ගිය සටන්කාමී අරගලය හාස්‍යයට ලක් වන පරිදි තටාකවල නාමින්, බල්ලන් හුරතල් කරමින් ඡායාරුප පළ කළේ ය.

එදා සටන්කාමී ලෙස කුමන්ත්‍රණයට එරෙහි අරගලයේ සිටි අප මිත්‍ර අජිත් පී. පෙරේරා වැනි අය පවා මෙවර කුමන්ත්‍රණයට අසුවීම ගැන කණගාටු ය. ඔහු කලුතර දිස්ත්‍රික්කයේ එජාප නායකයා ලෙස සාර්ථකත්වයක් පෙන්වන්නට අසමත් වීම නිසා සජිත් ප්‍රේමදාස සමග එකතු වීමෙන් සිය අසාර්ථකත්වය ආවරණය කරගැනීමට හැකි යයි ඔහු සිතනවා ඇත.

එහෙත්, මේ නාඩගම දැන් අවසන් අදියරට පැමිණ තිබේ. සජිත්ට මෙවැනි කුමන්ත්‍රණකරුවන් සමග එක්ව එජාප අපේක්ෂකත්වය දිනාගන්නට බැරි ය. ඔහු ඉදිරියේ විකල්ප දෙකක් ඇත. එක්කෝ එජාපය කඩාගෙන ගොස් මේ වන විට අතරමං වී කිහිලිකරුවක් සොයමින් සිටින තවත් අසරණයකු වන මෛත්‍රීපාල සිරිසේන සමග එකතු වී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහු සමග සටනක් පටන් ගැනීමයි. එහෙම නැතිනම් අඩියක් පස්සට ගෙන දැන්වත් බුද්ධි වර්ධනය ආරම්භ කරගැනීමයි. සජිත්ට ජනාධිපති වෙන්නට අවශ්‍ය නම් අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන් සමග සන්ධානගත වී පක්ෂය කඩාගෙන යන්නට උත්සාහ කිරීම වෙනුවට විධිමත් වැඩසටහනක් අනුව වැඩ කළ යුතු ය. ඔහුට තව කාලය තිබේ. එහෙත්, ඔහු මේ සූදානම් වන්නේ දේශපාලන සියදිවි නසාගැනීමකට ය.