Mahinda caricature by Ajith Perakum Jayasinghe

මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

අද මහින්දට වයස අවුරුදු 77කි. මහින්ද යනු මා කැමති දේශපාලනඥයකු නොවේ. ඔහු මට ගෞරවනීය සතුරෙකි.

2005දී ජවිපෙ සහ කොටි සංවිධානය මහින්ද බලයට ගෙන ආවේ ඔහු දුර්වල පාලකයකු බවට පත්වනු ඇතැයි සිතාගෙනය. එහෙත්, මහින්ද කොටි සංවිධානයට ඇඩ්‍රස් නැතිවෙන්නම දුන් අතර ජවිපෙ දෙකට කැඩුවේය. ඒ කෑලි දෙක තවමත් වලිය.

යුද සමයේ මහින්දගේ නායකත්වය යටතේ යුද අපරාධ සිදුවිය. මහින්දගේ කාලය තුළ මිලිටරි සතුරන් ලෙස විග්‍රහ කරගත් මාධ්‍යකරුවන් පවා ඝාතනය කරන ලදී. මහින්දගේ සතුරන් මහින්ද හා ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන් ද අවම මට්ටමෙන් හෝ ආචාරධාර්මික වූයේ නැත. යුද්ධ එහෙම තමාය.

මහින්ද ගතානුගතික නායකයකු නොවේ. පැවති භූ දේශපාලනික පසුබිම තුළ සම්ප්‍රදායික යුද්ධයකින් පැරදවිය නොහැකි කොටි සංවිධානය පැරදවීම සඳහා මහින්ද රාමුවෙන් පිටතට පැමිණියේ එහි අවදානම ගැන නොතකමිනි. ඔහුට බඹරය වැල්ලේ ද කැරකෙන වාසනාවක් තිබුණු යුගයක් තිබිණි. ඒ කාලේ මහින්දට කළ හැකිව තිබුණු වටිනා දේ ඔහු කළේ නැත.

සංහිඳියාව සඳහා යම් ක්‍රියාමාර්ග ගෙන බලය බෙදීම ඔස්සේ දෙමළ අරගලය සමග සම්මුතියකට පැමිණ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමුකර බලය තිරසර කරගැනීමට අවස්ථාව තිබියදී මහින්දත්, ඔහුගේ නෑ පිරිවර හා කණ්ඩායමත් පිස්සු කෙළියහ. ළඟ නවමින් ධන කුවේරයන් වෙන්නට උත්සාහ කළහ. අතේ තිබුණු බලය ගිලිහෙන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළහ. ඒ අතර කිසිදු තේරුමක් නැති ලෙස මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරගෙන මෝඩ සිංහල ජාතිවාදයක ගිලුණහ. ඔහු රජාට අන්දන බව කී තක්කඩින්ට අහුවී මහින්ද ගොනාට ඇන්දේය.

විජාතික කුමන්ත්‍රණකරුවෝ රාජපක්ෂ බලය බිඳදැම්මේ පවුල ඇතුළෙන්ම සොයාගත් කඳ පණුවකු මාර්ගයෙනි. අද වන විට මහින්ද බලයෙන් මෙන්ම කීර්තියෙන් ද පිරිහුණු, කැරැලිකරුවන්ගේ ඝාතන තර්ජන හමුවේ අනාරක්ෂිත වී සිටින, එහෙත්, තවමත් නොබියව සටන් කරන සටන්කරුවෙකි.

කිසිදා මහින්දට කැමැත්තක් නොදැක්වූ මම මේ අවස්ථාවේදී මහින්දගේ විශේෂ දේශපාලනික වැදගත්කමක් දකිමි. මහින්ද සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයේ සංකේතීය නායකයාය. මා මීට පෙර බොහෝ වර පෙන්වා දී ඇති පරිදි මෙතෙක් පැවති ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි මූලික ශ්‍රී ලංකාවක් වූ අතර මහින්දත් සමගම එය ආසන්න වශයෙන් බිඳවැටී තිබේ.

මේ ආධිපත්‍යය බිඳදැමීම සඳහා අපි ද කලක සිට වෙහෙසුණෙමු. එහෙත්, දැන් තිබෙන ප්‍රශ්නය සංකීර්ණ එකකි. තිබුණු රාජ්‍යය බිඳ දමා අප නිර්මාණය කරන්නේ කුමක්ද?

මෙය ඉතා සරලව විග්‍රහ කළ හැකිය. පවත්නා ක්‍රමය රැකගෙන සිටින රනිල්-මහින්ද සන්ධානය පරාජය වුවහොත් බලයට එනු ඇත්තේ කුමන ආකාරයක පාලනයක්ද? එහි නායකයන් වන සජිත්, ඩලස්, විමල්, ෆොන්සේකා, ජීඑල්, කාදිනල් කුරේ, ඕමල්පේ සෝභිත, සාලිය පීරිස්, ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන්, රාවුෆ් හකීම්, සුමන්තිරන්, ශානක්‍යන්. වසන්ත මුදලිගේ, ජීවන්ත පීරිස්, නිර්මාල් දේවසිරි ආදීන්ගේ මූලික පොදු ලක්ෂණය වන්නේ ඔවුන් සිංහල-බෞද්ධ-ගොවිගම නොවීමයි.

මේ සන්ධානය සිංහල-බෞද්ධ-ගොවිගම විරෝධී එකක් බව ඉතා පැහැදිලිය. එහි නීතිමය වරදක් නැත. එහෙත්, දේශපාලන වරදක් තිබිය හැකිය. එනම්, මේ බල හවුල පෙළගැසී තිබෙන්නේ සම්ප්‍රදායික සිංහල-බෞද්ධ-ගොවිගම දේශපාලනික ආධිපත්‍යය තීරණාත්මකව පරාජය කිරීම සඳහා වීමයි. ඒ පෙළගැසීම ආන්තිකය. එසේම, සිංහල-බෞද්ධ-ගොවිගම විරෝධය මත පදනම් වූ මෙම බල හවුලට සතුරා පරාජය කිරීම මිස වෙනත් දෙයක් කළ හැකිද යන ගැටලුව ද මතුවේ. ඒ තරම් විජාතික උවමනාවන්ට, ගැටවලට, මුදල්වලට හසුවෙන, එක් අදහසක්, ස්ථාවරයක් නැති, සකලවිධ ජනප්‍රියත්වයන් පසුපස දුවන, වෛරය මුල්කරගත්, ඇරියස්කාර, බල තණ්හාධික, එහෙත්, අවදානමට බිය, දෙපිටකාට්ටු සන්ධානයකට රට වල පතුළටම ගිල්ලීමට මිස වැටුණු අගාධයෙන් ගොඩගැනීමට නොහැකිය.

රනිල්-මහින්ද සන්ධානය දේශපාලනික බලතුලනයේදී කෙතරම් වැදගත් එකක් ද යන්න මෙතනින් එහාට විග්‍රහ කිරීම අවශ්‍ය නැත. ඔවුන් නියෝජනය කරන්නේ සම්ප්‍රදායික අධිපතිවාදී දේශපාලන බලවේගයයි. මොන අඩුපාඩු හා පසුගාමීත්වයන් තිබුණත්, ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස රැකගත්තේ එම බලවේගයයි. ඔවුන් එය රැකගත්තේ නැතිනම් මෙහි තිබෙන රාජ්‍යය වඩා හොඳ වෙන්නට ඉඩ තිබුණා යයි යමෙකු තර්ක කරන්නේ නම් මම එය ප්‍රතික්ෂේප නොකරමි. එහෙත්, නොදන්නා අමුතු ලංකාවකට වඩා තිබුණු ශ්‍රී ලංකාවට මා කැමතිය. අලුත් ලංකාවක් හැදිය යුත්තේ තිබුණු එක සුණුවිසුණු කර දමා නොව එහි පදනම ශක්තිමත් කරගෙනය.

ජනතා විමුක්ති පෙරමුණ ඉහත කී විපක්ෂ බල හවුල සමග සන්ධානගත නොවන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සඳහා ව්‍යාජ සමාජවාදය අමතක කර ජවිපෙ ව්‍යූහය ද ඉහත කී පදනමින් විග්‍රහ කරගන්න.

දැන් ඉතින් මෙතන ඇවිත් මං කුලවාදය ඇවිස්සුවා, ආගම්වාදය ඇවිස්සුවා යි කියා ටිපර් බෑමෙන් වැඩක් නැත. මා පෙන්වා දුන්නේ බලවේග පෙළගැසුණු පිළිවෙලයි. ඒක එහෙම නොවෙන්නට සමබරව කරගන්නට සජිත්ලාට බැරි වුණේ ඇයිද යන්න ඔවුන් විසින් තේරුම් ගත යුතුව තිබේ.

කැරැලිකරුවන් මරණය ප්‍රාර්ථනා කරන නාකි මයිනාට දිගාසිරි පතමි.