Champika Ranawaka

මල් පිපිය යුතු චම්පකය

අජිත් පැරකුම් ජයසිංහ

චම්පික රණවක සමග උපුල් ශාන්ත සන්නස්ගල සිදුකළ මහජනමුත්තා පළමු සංවාදය දේශපාලනිකව ඉතා වැදගත්. චම්පික රණවක දේශපාලන නායකයකු ලෙස ඉදිරියෙන් සිටින බව කිසි සේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්. දත්තයක්.

දේශපාලන නායකත්වය දක්වා ගොඩනැගීමේදී චම්පික ගහපු ගේම් අනෙක් අය ගහපු ගේම්වලට වඩා සුවිශේෂ නැහැ. ඒ වෙලාවෙ ඒ ගේම් ගැහුවෙ චම්පික විතරක් නෙමෙයි. ඒ වගේම චම්පික නොහිටියා නම් වෙන කවුරුහරි ඒ ගේම් ගහනවා. චම්පික දක්ෂ නිසා ඒවාට ශක්තිමත් ලෙස මුලපිරුවා. මහින්ද රාජපක්ෂ වගේ අය එයින් වාසි ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ පසුපසින් ආවා.

කොහොම වුණත්, චම්පික තනි අලියෙක්. රනිල්ට ඔහු නගන ප්‍රධාන චෝදනාව සහකම්පනය නැහැ කියන එකයි. මං නම් හිතන්නෙ චම්පිකට වෙනත් අයට නායකත්වයට පත් වීමට තියෙන ආශාවන් ගැන කිසිම සහකම්පනයක් නැහැ. ඒ නිසා හැමදාම චම්පික කටයුතු කරල තියෙන්නෙ තමන්ගෙ උන්නතිය වෙනුවෙන්. ඊට වඩා දෙයක් කරන්නට චම්පිකට ඇත්තටම බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව චම්පික හැමදාම පාර්ලිමේන්තුවට පවා ආවෙ අවදානම් මාර්ගයකින්. තමන් ගොඩඑන්න දඟලන ගමන් කොහොමද තවත් අයත් ගොඩගන්නෙ? එහෙම වුණේ ඇයි?

හේතුව තමයි චම්පික කවදාවත් විධිමත් පක්ෂයක් පවත්වාගෙන නොයාම. හැමදාම තියෙන්නෙ එක එක ඇටවුම්. ජනතා මිතුරෝ, සිහල උරුමය, ජාතික හෙළ උරුමය, 43 සේනාංකය සහ දැන් එක්සත් ජනරජ පෙරමුණ. දේශපාලන පක්ෂ නොහැදීම ඔහුගේ උපායමාර්ගයක් වෙන්නට පුළුවන්. පක්ෂ කියන්නෙ එක අතකට හරි බරක්.

එක එක කාලෙට චම්පික හදපු එක එක ව්‍යාපාර එක්ක එක එක උපායමාර්ග තිබුණා. දේශපාලනයෙදි ඒවා එහෙම තමයි. අපි එක් වකවානුවක චම්පිකට අංශක 180ක් අනෙක් පැත්තේ දෙමළ ජාතිවාදය ප්‍රගතිශීලීය කියලා පිළිගන්නා ස්ථාවරයක හිටියා. එතන ඉඳන් අපි ගහ මරා ගත්ත වෙලාවලුත් තිබුණා. මට නම් ඒ හා සම්බන්ධව චම්පික ඉදිරිපත් කරන තර්ක එක්ක ලොකු ගැටලුවක් නැහැ. මහින්ද රාජපක්ෂ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළාට පස්සෙ දෙමළ ජාතිකවාදය තුළ ප්‍රගතිශීලී විභවයන් අවමයි. මැයි 29දා වී හෑව් අ ඩ්‍රීම් සිවිල් සමාජ සාමූහිකයේ අප සංවිධානය කළ වැඩසටහනේදී චම්පික ඉතා හරවත් ඉදිරිපත් කිරීමක් කළා.

දැන් චම්පික අලුත් දහං ගැටයක් ගහගෙන යනවා. ඒ තමයි 43 සේනාංකයේ 43 ඉලක්කමෙන් සලකුණු වන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආ දිළිඳු ගැමි පරපුර. කන්නන්ගර මහතා කළ වැදගත්ම දේ වන්නේ, පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වූ සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබාදෙන මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් බිහි කරපු එක. රජය විසින් නොමිළේ අධ්‍යාපනය ලබාදීම ඊට කලින් ඉඳලාම තිබුණා. හැබැයි, එවැනි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාව තිබුණෙ මුදල් ගෙවන්නට හැකියාව තිබුණු අයට විතරයි. මේ මධ්‍ය මහා විද්‍යාල විසින් ලංකාවේ අධ්‍යාපනයේ ලොකු නවෝදයක් ඇති කළා.

ඒ වුණාට 43 වගේ කාලෙක සිට නිදහස් අධ්‍යාපනයෙන් නැගී එමින් සිටි නව තරුණ මධ්‍යම පන්තිය කළේ මොකක්ද? 1946, 47 විතර වෙනකල් පහේ ශිෂ්‍යත්වය සමත් වුණ පරපුරට 1956දි ඡන්ද බලය තිබුණා. 1970 දශකය වෙනකොට ඒ අය රාජ්‍ය සේවයේ සැලකිය යුතු බලයක් අත්පත් කරගෙන හිටියා. 1956 සිට ඉදිරියට මේ කන්නන්ගර පරම්පරාව මොනවද කළේ? මුලින්ම කරපු දේ තමයි කන්නන්ගර අධ්‍යාපන සංකල්පය විනාශ කරපු එක. රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය ද්විතීයක අධ්‍යාපනය අහෝසි කර දැම්මා. ස්වාධීන අධ්‍යාපන ආයතන බවට සංවර්ධනය කළ හැකිව තිබුණු පෞද්ගලික පාසල් රජයට පවරා ගත්තා. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධ ප්‍රමිතිකරණය ගෙනැවිත් දෙමළ තරුණ පරපුර බෙදුම්වාදය වෙත තල්ලු කළා.

මේ කන්නන්ගර පරම්පරාව දැන් ඇත්තටම විශ්‍රාමිකයන්. චම්පික රණවකටත් 2025දී හැට පිරෙනවා. අරගලයත් එක්ක ආපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවණතාවලට යට වෙමින් කරපු වැරදි ගණනය කිරීම් නිසා චම්පිකට 2022දී රාජ්‍ය පාලනය සමග සම්බන්ධ වී ඉදිරියට යාමට තිබුණු අවස්ථාව චම්පික අහිමි කරගත්තා. 2022 ජුලි 9දා අගමැති කාර්යාලයට පහර දෙන්නට සෙනග යද්දි උෂාර් වෙලා චම්පික කතා කරලා අගමැති ලේකම් සමන් ඒකනායකට ඉල්ලා අස්වෙන්නට බලපෑම් කළ බවට තොරතුරු තියෙනවා. ඒ අගමැති ලේකම් දැන් ජනාධිපති ලේකම්. දේශපාලනයේදී මොබ් මානසිකත්වයන්ගෙන් චූන් වෙලා ගන්න මේ වගේ ක්‍රියාමාර්ග අනාගතයට බලපානවා. මොබ් මානසිකත්වයෙන් මිදීම නායකත්වයට කොච්චර වැදගත්ද කියන එක රාජපක්ෂවරුන්ගෙන්වත් ඉගෙනගත යුතුයි. ඔවුන් හැමදාම හිටියෙ මොබ් පැත්තෙ. හැබැයි, දැන් මොබ් ඉන්නෙ අනෙක් පැත්තෙ. දැනට නම් ජවිපෙ පැත්තෙ. මොබ් එක්ක වැඩ කරන ජවිපෙටත් මං කියන දේ අදාළයි.

ජේආර්, ප්‍රේමදාස, රනිල්, චම්පික, කරු ජයසූරිය, අනුර කුමාර වගේ අය ලංකාවේ නායකත්වය වෙනුවෙන් පුහුණු කරන ලද දෘෂ්ටිවාදී නායකයන්. ඒ අය ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වගේ අහම්බ නෙමෙයි. ආන්තික මතවාදයක ගොදුරක් වී සිටින අනුර කුමාර දිසානායක රාජ්‍ය නායකත්වයට පත්කිරීම අවදානම් සහගත තීරණයක්. හැබැයි, අනෙක් අය ඉන්නෙ අඩු වැඩි වශයෙන් වර්තමාන ලෝකයේ සාමාන්‍ය ආර්ථික, දේශපාලන මතවාද එක්ක. කරු ජයසූරිය හා චම්පික රණවකට රාජ්‍ය නායකත්වය මග නොහැරිය යුතුව තිබුණත්, චම්පික රණවකලා, රනිල්ලා නිසා 2015දී කරු ජයසූරියට ඒ අවස්ථාව මගහැරුණා. මේ කිසිවකුගේ සහාය නොමැතිව, රාජපක්ෂවරුන්ගේ සහයෝගය අරගෙන ඉතාම උපායශීලී විදියට රනිල් 2022දී රාජ්‍ය නායකත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, ඔහුට ලැබුණු කෙටි කාලය තුළ ඔහු ඉතා ශක්තිමත් විදියට බංකොලොත් වුණ ලංකාවේ ආර්ථික, දේශපාලන ස්ථායීභාවය නැවත ඇති කිරීම වෙනුවෙන් පදනම දැම්මා. චම්පිකට බස් එක මිස් වුණා.

රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වී නැවත සාර්ථක අන්දමින් නැගී සිටි මේ අවුරුදු දෙකහමාර කියන්නෙ දේශපාලන නායකයෙකුට පරිණත වෙන්නට කදිම අවස්ථාවක්. ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනුරාධ ජයරත්න, තාරක බාලසූරිය, අලි සබ්‍රි, ඩී.වී. චානක වගේ අලුත්, තරුණ නායකයන් පිරිසක් ඒ අවස්ථාව උපරිමයෙන් පාවිච්චි කළා. රනිල් ඔවුන්ට ගොඩනැගෙන්නට අවස්ථාව දුන්නා. මේ අතර, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වගේ නායකයිනුත් ආණ්ඩුවට පිටින් සාර්ථක අන්දමින් ගොඩනැගෙමින් ඉන්නවා. චම්පිකට ලේසි නැත්තෙ ඒ නිසායි.

චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්.