අජිත් පැරකුම් ජයසිංහ
නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කීපයක් එයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගය එයට සහභාගී නොවන බව ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. දිලිත් ජයවීර, විමල් වීරවංශ වැනි අය වැඩසටහනක් ගැන ප්‍රශ්න කරලා තියෙනවා. වැඩසටහනක් නැතුව එකතු වෙන්න බැරිලු.
මේ වෙලාවෙ ආණ්ඩුවට විරෝධය පළකරන්නට ‘වැඩසටහනක්’ අවශ්‍ය යයි කියලා මං හිතන්නෙ නැහැ. ආණ්ඩුවට විරෝධය පළකිරීමම තමයි වැඩසටහන විය යුත්තෙ.
මොකකටද විරෝධය පළ කරන්නෙ? ඇත්තටම විරෝධය පළ කළ යුත්තෙ ආණ්ඩුවේ බොරු කීමට. පළිගැනීමේ දේශපාලනයට. අකාර්යක්ෂමතාවට. රටේ සංවර්ධනයක් නැතිකමට. ප්රජාතන්ත්රවාදය ඉවසන්නට බැරිකමට. පළාත් සභා මැතිවරණය කල්දානවාට.
පළාත් සභා මැතිවරණය කල්දාන්නට මූලිකත්වය ගත්ත එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ උද්ඝෝෂණයේ හිටියාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදාක මැතිවරණ කල්දාලා නැහැ. 2015 යහපාලන කාලෙ පළාත් සභා කල්දාන උප්පරවැට්ටිය පරදින්නට නියමිතව සිටි සිරිසේනට කියල දුන්නෙ ඩිලාන් පෙරේරා හරහා ජවිපෙ. ඒ ගැන විස්තර පසුවට.
විරෝධය පළකරන්නෙ මොකටද? ඒ බල දේශපාලනය වෙනුවෙන්. බලය ලබාගැනීම වෙනුවෙන්. ඒ කාරණයෙදි ගත්තත්, ජවිපෙ කියන්නෙ ආණ්ඩු පෙරළීම හා බලය ගැනීම වෙනුවෙන් විවිධාකාරයේ වැඩ කිරීමේ හා එවැනි වැඩවලට දායක වීමේ දිගු ඉතිහාසයක් සහිත පක්ෂයක්. එවැනි සංස්කෘතියක් ප්‍රවර්ධනය කළ පක්ෂයක් ඉදිරියේ අනෙක් අය සිල් රකින්න ඕනැ නැහැ. බල දේශපාලනය එහෙම තමයි.
ජවිපෙ ඡන්ද දිනුවාට ඔවුන්ට මහපොළවේ දේශපාලනය කරන්නට සමත්කම් අඩු බව පසුගිය අවුරුද්ද තුළ ඔප්පු වී හමාරයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ අලුත් විදියකට භූමියේ දේශපාලනයට පිවිසිය යුතුයි. ඔවුන්ගේ අතීත වැරදි නිවැරදි කරගන්නට තිබෙන ක්‍රමය තමයි අලුත් විදියකට භූමියේ වැඩ කරන එක.
21වැනිදා කොළඹ හොල්ලන්නට තරම් සෙනගක් ගෙන්වන්නට අවශ්‍ය නැහැ. දැනෙන උද්ඝෝෂණ රැස්වීමක් කළාම ඇති.
පුළුවන් තරම් බලවේග එකතු කරගන්නට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් උත්සාහ කරන්නට ඕනැ. එතනදි සමගි ජන බලවේගය පක්ෂයක් විදියට එකතු කරගන්නට උපරිම උත්සාහ දරන්නට ඕනැ. සජිත් ප්‍රේමදාස තමයි නිල විපක්ෂ නායකවරයා. සමගි ජන බලවේගය තමයි ප්‍රධාන විපක්ෂය. එය අමතක කළ යුතු නැහැ. ඒ වුණාට ඔවුන් එන්නෙ නැති එකත් ලොකු ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.
ඒකට හේතුව තමයි, මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින දක්ෂිණාංශික නව ලිබරල් යහපාලන ප්‍රතිපත්ති සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සමග අනුගත වීම. ඒ අනුව, ඔවුන් එකම දේශපාලන ධාරාවක තරගකරුවන් බවට පත්වෙනවා.
කොහොමත් ලංකාවෙ ආර්ථිකය සම්බන්ධයෙන් කාටවත් ලොකු විකල්ප නැහැ. සමාජ දේශපාලනික කාරණාවලදි බටහිර මූලෝපායන්ගේ වහලුන් වෙනවාද, වඩා ජාතිකවාදී වෙනවාද කියන බෙදීම විතරයි තියෙන්නෙ. එතැනදී ජවිපෙත්, සජබත් එක කඳවුරකයි ඉන්නෙ. එජාප 2022-24 සමයේ පොහොට්ටුව සමග සන්ධානගත වීමත් සමග කිසියම් ජාතිකවාදී නැඹුරුවක් ගොඩනගාගත්තා.
විපක්ෂයේ විකල්ප බලවේගයකට අවස්ථාව තිබෙන්නේ ජාතිකවාදය තුළයි. උතුරේ දෙමළ ජාතිකවාදයත්, දකුණේ සිංහල බෞද්ධ ජාතිකවාදයත් නැවත නැගී ආ හැකියි. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ බලවේගයේ නැගීමක් සිදුවිය හැකියි. එහිදී, පැරණි සිංහල-බෞද්ධ අධිපතිවාදය වෙනුවට වඩා ප්රජාතන්ත්රවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදයකට අවස්ථාවක් තිබෙනවා.
විපක්ෂයේ සජබ හා පොහොට්ටු සන්ධානය අතර තරගකාරීත්වයක් ඇති වීම නොවැළැක්විය හැකියි. ඒ නිසා 21 වැඩේට සජබ එන්නට තියෙන ඉඩ අවමයි. 21 වැඩේ පොහොට්ටුවේ අලුත් ගමනක ආරම්භය වේවි කියලායි මම හිතන්නෙ.











