Einstein in Sri Lanka

අයින්ස්ටයින් දුටු ලංකාව හා එළඹෙන ජනාධිපතිවරණය

ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29, 2018) ප්‍රකාශයට පත් කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් සටහන්වල දැක්වේ.

පහත දැක්වෙන්නේ ඔහු ලාංකිකයන් පිළිබඳ තැබූ සටහනකි. “They live in great filth and considerable stench down on the ground, do little, and need little.”

එහි පරිවර්තනය මෙසේ යි: “ඔවුන් ජීවත් වන්නේ මහ ජරා විදියටයි. පරිසරය මා ගන්දස්කාරයි. ඔවුන් වැඩ කරන්නෙත් අඩුවෙන්. ඔවුන්ට වැඩිදෙයක් අවශ්‍යත් නැහැ.”

Translations by Creative Content Consultants

1920 දශකයේ සිට අපි බොහෝ වෙනස් වී ඇතිමුත් ඇතැම් මූලික ලක්ෂණ වෙනස් වී නැත. අන් කවරදාටත් වඩා මැතිවරණ කාලය යනු මිනිසුන්ගේ ඉහත කී අයින්ස්ටයින් ලක්ෂණ මතු වන කාලයයි. මැතිවරණය වෙනුවෙන් වැඩිපුර ම දඟලන එවුන් මේ දවස්වල පමණක් නොව, හැමදාමත් ඩූ ලිට්ල්ලා ය. ඇත්තෙන් ම කීවොත් ඔවුන්ට වැඩි දෙයක් ඕනෑත් නැත. වැඩිය කියන්නට ඕනෑ නැත. ඔවුන්ගේ දේශපාලනය පවා මතුපිට සීරීමක්වත් නොකරන දෙයකි. ජනප්‍රිය මාධ්‍ය විසින් දෙන ඕනෑම බොරුවක් අමු අමුවේ ගිල දමා මෝහනයට පත්වීමකි.

හෙටින් උදා වන සතිය මැතිවරණ මෝහනයෙන් ජනතාව මෝහයට පත් වන වකවානුවයි. බිරිඳට සැමියා නැති වන, සැමියාට බිරිඳ නැති වන, අම්මාට දරුවා ද, දරුවාට අම්මා ද නොපෙනෙන පරදි ඉදිරි සතියේදී මාධ්‍ය හා දේශපාලකයන් විසින් ඔබේ ඇස් ගිනිකණ වට්ටනු ඇත. මිනිහාට මිනිහා පෙනෙන්නේ නැති මේ මෝහාන්ධකාරය තුළ ඔබේ බුද්ධියේ පහන් සිළ නොනිමෙන පරිදි රැකගන්න. ඒ වෙන කාටවත් පාර කියන්නට නොව, ඔබ ම පය නොපැටළී සිටින්නට ය.