pandama

අජිත් පැරකුම් ජයසිංහ

මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්.

උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය කරන දේශපාලන, සමාජ, පුද්ගල සංදර්භයකුත් තියෙනවා. දයලෙක්තික විදියට මේ කාරණා විග්‍රහ කරන අය ඒ සියල්ල සිතා බලනවා. හැබැයි, ප්‍රචාරණයෙදි එහෙම කරන්නට අවශ්‍ය නැහැ. ප්‍රචාරණය කරන්නෙ බලය ගොඩනගාගැනීම වෙනුවෙන්. ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් මේ ප්‍රචාරණය විශ්වාස කරනවා.

තමන් හිතන විදියට හිතන පිරිස වැඩි වෙනකොට, ඒක රැල්ලක් වෙනකොට, මේ තත්වය උත්සන්න වෙනවා.

දේශපාලන ව්‍යාපාරවලට ශ්‍රමිකයන් අවශ්‍යයි. ඒ පිරිස තමයි ඔය විදියට නිර්මාණය කරගන්නෙ. හැබැයි, කළමනාකරුවන් ඊට වඩා වැදගත්. ඒ අය අතරෙ තියෙන්නෙ ශ්‍රමිකයන් අතරෙ තියෙන සාකච්ඡාව නෙමෙයි. ඒක වඩා දයලෙක්තිකයි. තමන්ගෙ ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රචාරණයෙන් මිදිලා දේශපාලනිකව විග්‍රහ කරගන්නට උත්සාහයක් එතුළ තිබෙනවා. ඒ අයට තමන්ගෙ ප්‍රතිවාදීන් එක්කත් සංවාද තියෙනවා. කළමනාකරුවන්ගෙ මේ සංවාද ශ්‍රමිකයන්ට පෙනෙන්නෙ ඩීල් විදියට. ඒවා තමන්ට වාසිද අවාසිද කියන එක මත ඔවුන් විනිශ්චයන්ට එනවා.

දේශපාලන ශ්‍රමිකයන්ගේ මට්ටමෙන් ඉදිරියට යන්නට නම්, අඛණ්ඩව ප්‍රශ්න කරන්නට ඕනැ. අදහනවා වෙනුවට විමසන්නට ඕනැ. හැම පැත්තකින්ම ප්‍රශ්න දිහා බලන්න ඕනැ. පූර්ණ චිත්‍රයක් නිර්මාණය කරගන්නට උත්සාහ කරන්නට ඕනැ. ප්‍රචාරණයත් විග්‍රහයත් අතර පරතරය හැකි තරම් අවම කරගන්නට උත්සාහ කරන්න ඕනැ. ඒක ටිකක් අමාරුයි. දේශපාලනයෙදි ලැබෙන හැම තොරතුරක්ම ප්‍රසිද්ධියේ කියන්න බැහැ.

දේශපාලන ශ්‍රමිකයකු වීම ගැටලුවක් නෙමෙයි. තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් වැඩකිරීම නරක නැහැ. එහිදී අනෙකුත් සාධක අමතක කර දමා අරමුණ වෙනුවෙන් වැඩකරන එක පහසුයි. හැබැයි ඒකෙ අවදානමක් තියෙනවා. ඒ තමයි, දේශපාලන කළමනාකරුවන්ට අයථා අන්දමින් ශ්‍රමිකයන් පාවිච්චි කරන්නට හැකි වීම.

ප්‍රතිවාදියාට හානි කරන්නට දේශපාලන කළමනාකරුවන්ට ශ්‍රමිකයන් පාවිච්චි කරන්නට පුළුවන්. ඒක වැරදියි කියන්නත් බැහැ. එතනදී ශ්‍රමිකයාටත් හානි වෙනවා. ශ්‍රමිකයා මේ තත්වය ගැන අවබෝධයකින් වැඩ කළ යුතුයි.

වර්තමානයේදී සමාජ මාධ්‍ය අවකාශ තුළ අපට හමුවෙන වැඩි දෙනෙකු මේ වගේ ශ්‍රමිකයන්. ඔවුන් සාමාන්‍ය ව්‍යවහාරය තුළ දේශපාලන බලවේගවල වහලුන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔවුන් භයානක වෙන්නෙ ඒ නිසායි. හැබැයි, ඒක සාමාන්‍ය තත්වයක්. සරලව කියනවා නම්, දේශපාලනය එහෙම තමයි.

තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි.

2 thoughts on “‍දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා

  1. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඛනිජ තෙල් ටොන් ලක්‍ෂ ගණනක් අවශ්‍ය ය. එයින් එක කඳුළක් හෝ මෙහි නිපදවනු නො ලැබේ. සියල්ලම ගෙන්වන්නේ පිටරටිනි. එසේම අපට ගෑස් ටොන් ලක්‍ෂ ගණනක් අවශ්‍ය ය. ඒවා ද පිටරටින් ගෙන්වනු ලැබේ. කුළුබඩුවලින් 75% අපි පිටරටින් ගෙන්වමු. විළිවසා ගැනීමට අවශ්‍ය රෙදිවලින් 99.99999% ක් ම ගෙන්වන්නේ පිටරටිනි. රටට අවශ්‍ය කඩදාසි සියල්ලම පාහේ පිටරටින් ගෙන්වනු ලැබේ. මේ රටේ නූල් නිෂ්පාදනය කළ ද එකී නිෂ්පාදනයට අවශ්‍ය කපු පුළුන් ද යන්ත්‍ර සූත්‍ර ද සියල්ලම ගෙනෙන්නේ පිටරටිනි. මේ කතාව මෙතෙකින් නොනවතී. දැන් දැන් උළුවහු ජනෙල් සඳහා අවශ්‍ය ලෑලි ද පිටරටින් එයි. බයිසිකලයක සියලුම කොටස් පිටරටින් ගෙන්වන අතර ටයර් සඳහා අවශ්‍ය රබර්වලින් සුළු කොටසක් පමණක් මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. මේ අනුව හදිසියේවත් ලෝක යුද්ධයක් හටගෙන රට තුළට නැව් එන එක නැවතුණහොත් අපට සිදුවන්නේ හෙළුවැල්ලෙන් බඩගින්නේ වෙරළ දිගේ සිටගෙන ඉන්නට ය.

    ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්කිරීමේ සිහිනය මුල්වරට දක්නා ලද්දේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ය. ඔහු ඒ බව දැක්කේ ගොවියකුගේ දෑසිනි. ඩී. එස්. ට ගොවි දෑසක් තිබිණ. එහෙත් එකල ශ්‍රී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක් වූ බැවින් අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරනවාට ඉංග්‍රීසිකාරයා එතරම් කැමැත්තක් පළ කළේ නැත. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීමේ ඊළඟ සිහිනය සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය විසින් දක්නා ලදි. එහෙත් ඈ එම සිහිනය දකින්නේ සමාජවාදී දෑස්වලිනි. සමාජවාදී සහ කොමියුනිස්ට්වාදයේ අවසාන අවස්ථාවේදී නිලධාරිවාදය හිස එසවීමට පටන් ගන්නා ලදි. මෙතැන් සිට රටට කෙළවීම ඇරඹේ. මෙවැනි තත්ත්වයක් තුළ දේශපාලනඥයන්ටත්, නිලධාරීන්ටත් එකගොඩේ හොරකම් කිරීමට පුළුවන. ලෝකයේ බලවත්ම කොමියුනිස්ට් රාජ්‍යය වූ සෝවියට් රුසියාව තුළ මෙය මෙසේම සිදුවිය. බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ අවසන් අවුරුදු දෙකේ දී දේශපාලනඥයෝ ද නිලධාරීහු ද එකගොඩේ හොරකම් කළ හ. මේ නිසා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීමේ අදහස විනාශයට පත්වූවා පමණක් නොව ඊළඟ ඡන්දයේදී මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැරදී පාර්ලිමේන්තු ආසන ගණන 8 දක්වා අඩු විය.

    ශ්‍රී ලංකාව මීට අවුරුදු හාරපන්සීයකට පෙරදී සම්පූර්ණ කෘෂිකාර්මික රාජ්‍යයකි. එසේම රටට අවශ්‍ය රෙදි රට තුළම නිපදවා ගත් රාජ්‍යයකි. එකල ජීවත් වූ මිනිසුන්ට තිබූ අවශ්‍යතා ප්‍රමාණය සීමිත වූ බැවින් මෙය කළ හැකි විය. එහෙත් නූතන ශ්‍රී ලංකාව 100% කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත්කළ නොහැක. ඒ අනුව මේ රට කවර දේකින් ස්වයංපෝෂිත කළ යුතුද යන්න විද්වතුන් ද දේශපාලනඥයන් ද විසින් හඳුනාගනු ලැබිය යුතුය. එසේ හඳුනාගත් බඩු ලේඛනයක් තවමත් අප සතුව නැත. මේ රට දියුණු කිරීමට නම් අප ස්වයංපෝෂිත විය යුත්තේ කවර ආකාරයෙන් ද යන න්‍යාය පත්‍රය සාදාගත යුතු ය.

    • ඊනියා ස්වයංපෝෂිත ආර්ථිකයක් ශ්‍රී ලංකාව මතු නොව ලොව කිසිදු රටක ඇත්තේ නැත තිබුනේද නැත ශ්‍රී ලංකාව අතීතයේ සිට වරායන් ආශ්‍රිතව විදේශයන් සමඟ ගණුදෙනු කළ රාජ්‍යයකි නොඑසේනම් පුරාණ රෝම කාසි, වයින් භාජන, පබළු ආදිය සීගිරියෙන් මෙන්ම තවත් බොහෝ තැන් වලින් හමු වන්නේ නැත. ඩීඑස්, සිරිමා ආදීන්ට වඩා ස්වයංපෝෂිත බයිලාව ගැසුවේ රාජපස්සලාය ඔවුන් අවසානයේ රට මුං සහ කහ වලින් ස්වයංපෝෂිතද කරන ලදී 🤣. එසේනම් දැන් කලයුතුවන්නේ ස්වයංපෝෂිත ස්වයංවින්දනයෙන් වහවැටී ඊනියා දේශීය ආර්ථිකයක් යන මිරිඟුව පසුපස ලුහුබැ‍ඳීම නවත්වා ලෝක ආර්ථිකයත් සමඟ මුසුවී නිෂ්පාදන, සේවා හා සංචාරක ආර්ථිකය දියුණු කිරීමයි විවිධාංගීකරණය (Diversify) කිරීමයි එයට බාධා පමුණුවන ඊනියා සමාජවාදී හා සදාචාරවාදී රතු පටි (Red Tapes) ගලවා දමා නිදහස් වෙළඳපොළට අවකාශය සලසා දීමයි ලෝක යුද්ධ බොරු බිල්ලන් මවා කොරහෙ කිඹුලන් දකිනා උන් මෙයට බාධා පැමණවීමට ඉඩ ඇතත් රටත් ලෝකයත් ඉදිරියට ගියේත් යන්නේත් එයිනි ලංකාවට ඉදිරියට යාහැකි ක්ෂෙත්‍ර ලෙස IT, ස‍ංචාරක හා ඇඟලුම් හඳනා ගතහැක.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: