Gotabaya Rajapaksa

අල්ලන්නට ගිය හොරාගේම නායකත්වය පසුපසින් වැටුණු හැටනම ලක්ෂය

අජිත් පැරකුම් ජයසිංහ

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පසුගිය 28දා ආරම්භ කළ වර්ජනය රජය මර්දනය කළ බව රහසක් නොවේ. එහෙත්, වෘත්තීය සමිතිවාදීන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් එම මර්දනය ජනප්‍රිය විය. එසේ වූයේ ඇයි? මෙය බොහෝදෙනෙකු හරිහැටි වටහා නොගත් කාරණයකි.

අරගල සමයේ වෘත්තීය සමිති ප්‍රබල කාර්යභාරයක් ඉටුකළහ. එසේම, වාමාංශික පක්ෂ හා විවිධ පුද්ගල අරාජිකවාදීහු එහි නායකත්වයට පත්වූහ. එහෙත් මතක තබාගත යුතු කරුණක් වන්නේ අරගලයේ ජන බලය ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වුණේ 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්කරන්නට කැපවී වැඩ කර, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමෙන් හා අනපේක්ෂිත පරිදි ආර්ථිකය බිඳවැටීමෙන් ඉච්ඡා භංගත්වයට පත්ව සිටි බලවේගය බවයි. එම බලවේගයට උවමනා වී තිබුණේ කුමක්දැයි අවබෝධ කර නොගෙන ඉදිරිය ගැන සිතිය නොහැකිය.

2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුළ ජනතාවට අවශ්‍යව තිබුණේ බලවත් විධායක ජනාධිපතිවරයෙකි. ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකළ මුත්, ඔහු තම බලය වෘත්තිකමය ලෙස පාවිච්චි කිරීමට දැන සිටියේ නැත. ගෝඨාභයගෙන් අපේක්ෂා කළේ දේශපාලන පක්ෂ ඉක්මවා ගිය ජාතික නායකත්වයකි. එහෙත්, ඔහු එය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළේ දේශපාලනය හා රාජ්‍ය අංශය අතික්‍රමණය කරමින් හමුදාව වැඩියෙන් සිවිල් කටයුතුවලට සම්බන්ධ කරගැනීමෙනි. ගෝඨාභයගෙන් බලාපොරොත්තු වූයේ විනයගරුක ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමයි. එහෙත්, අවසානයේදී වූයේ අවුරුදු ගණන් වැඩ නොකර ගෙවල්වලට වී සිටි ගුරුවරුන් පවා ගෝඨාභයගේ බෙල්ලෙන් අල්ලා හොල්ලා ඉල්ලීම් දිනාගැනීමයි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍රයකින් වර්ධනය වූයේ නැත. ගෝඨාභයගෙන් බලාපොරොත්තු වූයේ විනයගරුක සමාජයක් නිර්මාණය කිරීමයි. එහෙත්, ඔහු යටතේ අන් කිසිදු කලෙකටත් වඩා නරක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කරනු දක්නට ලැබිණි. එය අවසන් වූයේ ජනාධිපතිවරණයේදී අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් බලයට පත් ජනාධිපතිවරයකු වූ ගෝඨාභය රාජපක්ෂව ලක්ෂ කීපයක් ජනයා එක් වී තර්ජනය කර රටින් පලවා හැර ඉල්ලා අස්වීමට බලකිරීමෙනි.

ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරමේ ඉතිරි කාලය වෙනුවෙන් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තත්වය මැනැවින් තේරුම්ගෙන ඇති බවක් පෙනේ. ඔහු ඉතා සියුම් ලෙස ඉටුකරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහු බලයට පත්කළ බලවේගය අපේක්ෂා කළ ජාතික නායකත්වයේ වගකීමයි. ඔහු පොහොට්ටුව පමණක් නොව, එක්සත් ජාතික පක්ෂය ද කරට ගෙන නැත. සියලු දෙනා සමග සහජීවනයෙන් වැඩකරයි. තවත් නිදසුන් මගින් පෙන්වාදෙන්නේ නම්, ඔහු පළමුව කළේ ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කිරීම විධායක ජනාධිපති බලතල පාවිච්චි කර අවසන් කිරීමයි. ආර්ථිකය ස්ථායීකරණය සඳහා විධිමත් දැක්මක් ගෝඨාභය රාජපක්ෂට නොතිබුණ මුත්, රනිල් වික්‍රමසිංහට තිබේ. එය එතරම් ජාතිකවාදී ප්‍රතිපත්තියක් නොවේ. රනිල් වික්‍රමසිංහගේ දැක්ම අනුව, ලංකාව එහි ජනතාවට අවශ්‍ය සමෘද්ධිමත් ජීවිතය අත්පත් කරගෙන සෙසු ලෝකයත් සමග දියුණු සමාජයක් ලෙස ඉදිරියට යාමට නම්, වේගවත් සංවර්ධනයක් අත්පත් කරගැනීම අත්‍යවශ්‍යය. කාබනික ගොවිතැන වැනි තාක්ෂණික වශයෙන් පසුගාමී, ඵලදායීතාවෙන් අඩු, සමාජය අතීතය කරා ගෙන යන මූලෝපායන් රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල තුළ නැත. ඔහු පෙනීසිටින්නේ ලොව නවීනම තාක්ෂණයන් පරිසරයට හා මිනිසුන්ට අඩුවෙන් අහිතකර වන අන්දමින් භාවිතා කිරීම වෙනුවෙනි. ඒ අනුව, කෘෂිකර්මාන්තයේදී ඔහු පෙනී සිටිනු ඇත්තේ වඩා ඵලදායී කෘෂිකර්මාන්තයකට ඉවහල් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ වෙනුවෙනි.

බලයට පත්වී වසරක් යන්නටත් පෙර, රනිල් වික්‍රමසිංහ විසින් බොහෝ අය අපේක්ෂා නොකළ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ධුරයට අතිවිශාල බලතල ප්‍රමාණයක් පවරාගනිමින් සිදුකරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සුවිශාල දේශපාලන ප්‍රගතියකි. බොහෝ අය ඔහු මෙය කිරීමට අසමත් වනු ඇතැයි සිතූහ. එහෙත්, ඔහු එය ඉතා පහසුවෙන් ඉටු කළේය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19වන සංශෝධනයට වඩා විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරන එකක් බවට පත් කළේ ඔහු නොව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිර්දේශ මගිනි.

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා නැවත පත්කිරීමට හැකියාව ඇතත්, ඒ වෙනුවෙන් අයදුම්පත් කැඳවා, නම් කිරීමට ද ඉඩ තබා, ව්‍යවස්ථාදායක සභාවට එම කාර්යය කරගැනීමට ඉඩ දී තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවලට ක්‍රියාත්මක වීමට ඉඩ දී තිබේ. මැතිවරණ නාටකය තනිකරම නිමල් පුංචිහේවාගේ මැතිවරණ කොමිෂන් සභාවේ නිර්මාණයකි.

පළාත් පාලනයේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති සමයේදී හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ දැන් සමාලෝචනය කර නිවැරදි කළ යුතුව තිබේ. ඒ අනුව, පළාත් පාලන මන්ත්‍රී ධුර සංඛ්‍යාව අටදහසකට වැඩි ගණනක සිට පන්දහසකට අඩු ගණනකට සංශෝධනය කරමින් සීමා නිර්ණය අලුත් කිරීමට දැන් කටයුතු ආරම්භ කර තිබේ. විපක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා රණ්ඩු කිරීමට පටන් ගත්තේ ඒ අතරවාරයේය. මැතිවරණය සම්බන්ධයෙන් රණ්ඩු කරගැනීම මැතිවරණ කොමිෂන් සභාවටත්, විපක්ෂයටත් අත්හළ ජනාධිපතිවරයා ඔවුන් රණ්ඩු සරුවල් කරගන්නා අතරතුරදී රටේ ඉදිරි ගමන සඳහා අතිශය වැදගත් වන ප්‍රතිසංස්කරණ දෙකක් වන බදු ප්‍රතිසංස්කරණ හා බලශක්ති පිරිවැය අනුව මිලකරණය හඳුන්වා දුන්නේය. බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරුවේය.

ඊළඟට කළ යුතුව තිබෙන ප්‍රධාන කාර්යයක් වන්නේ රාජ්‍ය වියදම් අවම කරගැනීමයි. ඒ සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් රජය නිදහස් විය යුතුය. ලංකාවට අධික ණය බරෙන් මිදීමටත්, වේගවත් ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමටත් අවශ්‍ය නම් විදේශ ආයෝජන ආකර්ශනය කරගත යුතුය. ආණ්ඩුව මෙම කරුණු දෙකම එකවර ආමන්ත්‍රණය කරමින් සිටින බව පෙනේ. රජය ව්‍යාපාරකරණයෙන් ඉවත් වීමේ ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කරමින් තිබෙන්නේ ඒ නිසාය.

බදු සංශෝධනවලට එරෙහි සමස්ත මහා වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්විය. බලශක්ති වෙළඳපොළ නිදහස්කරණයට එරෙහිව තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයට සේවක සහාය නොලැබුණු අතර, දැඩි සමාජ විරෝධයක් මතු විය. ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කළ අතර එයට ද මහජන සහාය ලැබෙන බවක් දක්නට ලැබේ. එසේ වූයේ ඇයි?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති මාෆියාව විසින් මෙහෙයවන ලද නිරන්තර උද්ඝෝෂණ, වර්ජන ආදිය 2019 වන විට ජනතාවට එපා වී තිබිණි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමේ උවමනාව පසුපස වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මර්දනය කිරීමේ දැඩි උවමනාවක් තිබිණි. එම ප්‍රතිගාමී මාෆියාවට ඉඩදී තවදුරටත් රටට ඉදිරියට යන්නට හැකියාවක් නොතිබිණි. එහෙත්, වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වාමාංශික පක්ෂ කළ දේ දෙස ආපසු හැරී බැලීමේදී සිහිපත් වන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තියා කපනවා යන ගැමි ප්‍රස්ථාව පිරුළයි. ඔවුන් ගෝඨාභය බලයට ගෙන ආ උවමනාවන් පරාජය කළේ ගෝඨාභය බලයට ගෙනා 69 ලක්ෂයම බලමුළුගන්වාගෙනය. එම බලවේගයට වෙච්ච දේ තේරුම් ගන්නටත් බැරි විය. අවසානයේදී බලන විට ඔවුන් සිටියේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරන ලද දේශපාලනයේ නායකත්වය යටතේ මෙහෙයවෙන තැනකය. කොටින්ම කියනවා නම් මාලිමාව පසුපසය.

රනිල් වික්‍රමසිංහ සියුම් ලෙස ආමන්ත්‍රණය කරමින් සිටින්නේ හැටනම ලක්ෂයේ මෙම බලවේගයේ උවමනාවන්ටය. හැටනම ලක්ෂය තමන්ට වෙච්ච දේ අවබෝධ කරගනිමින් සිටින්නේ දැන්ය. ඔවුන්ට වුණේ, හොරකු අල්ලන්නට පස්සෙන් දිවූ අයට සිදු වූ මෙවැනි දෙයකි. පස්සෙන් එලවාගෙන එන පිරිසෙන් බේරීමට බැරි බව දැනගත් හොරා වහා පඳුරකට මුවා විය. හොරු අල්ලන පිරිස හොරා පසුකර ගියහ. ඉන්පසු, හොරාද හොරුන් අල්ලන පිරිසට පසුපසින් එක්ව ඔන්න හොරෙක් අල්ලපියෝ යි කියමින් දුවන්නට පටන් ගත්තේය. ටික වෙලාවකට පසු බලන විට හොරුන් අල්ලන පිරිසේ නායකයා බවට ද හොරා පත්වී හමාරය. පසුගිය කාලයේ හැටනම ලක්ෂය මාලිමාව පසුපස පෙළගැසී සිටියේ එහෙමය.

දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ හැටනම ලක්ෂයට තමන් දිව්වේ ඇයිදැයි යළි මතක් කරදීමයි. ඒ සමගම දැන් තමන්ට නායකත්වය දෙන්නේ තමන් ඇල්ලීමට ගිය හොරාම නොවේදැයි හැටනම ලක්ෂයට වැටහෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, හැටනම ලක්ෂය ආපහු හැරෙන දිනය වැඩි ඈතක විය නොහැකිය.