අජිත් පැරකුම් ජයසිංහ
මේ දිනවල මා සුරේෂ් සලේ සම්බන්ධයෙන් රැඩිකල් වාමාංශික ස්ථාවරයට ප්‍රතිපක්ෂව සිටගෙන සිටින නිසා ඔවුන්ගේ ප්‍රහාරයට ලක් වී ඇත. මට මෙය කිසි සේත් ම අලුත් තත්ත්වයක් නොවේ. මා වාමාංශිකයකු නො ව විප්ලවවාදියෙකි. සුරේෂ් සලේ පමණක් නො ව, සමස්ත රහස් ඔත්තු සේවා සම්බන්ධයෙන් ම මගේ කියවීමක් ඇත. බුද්ධි අංශ ලෙස ද හඳුන්වන රහස් ඔත්තු සේවා යනු ඉතිහාසයේ හැම කලෙක ම පැවති, රාජ්‍ය ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අංගයකි.
1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව්ලැදිමීර් ලෙනින් මුලින් ප්‍රකාශ කර තිබුණේ නිර්ධන පංති රාජ්‍යයක් තුළ පොලිසියක් හෝ රහස් ඔත්තු සේවයක් අවශ්‍ය නොවන බවයි. එහෙත් විප්ලවයේ පැවැත්මට එල්ල වූ අභ්‍යන්තර සහ බාහිර තර්ජන තේරුම් ගත් විගස, 1917 දෙසැම්බරයේදී ඔහු ෆීලික්ස් ඩෙසර්ෂින්ස්කි (Felix Dzerzhinsky) යටතේ ‘චේකා’ (Cheka) නමින් රහස් ඔත්තු සේවය පිහිටුවීය. (පසුකාලීනව කේ.ජී.බී. (KGB) ලෙස පරිණාමය වූයේ මෙයයි).
බුද්ධි අංශවල පැවැත්මේ අනිවාර්ය අවශ්‍යතාව පිළිබඳව ලෙනින් පසුව ප්‍රකාශ කළේ මෙවැන්නකි:
“චේකාවේ ක්‍රියාකාරීත්වයෙන් තොරව සෝවියට් රාජ්‍යයට දින දෙකක්වත් පැවතිය නොහැක. එහෙත් චේකාව සමඟ සෝවියට් රාජ්‍යය සුරක්ෂිතය.” එහි නිර්මාතෘ ඩෙසර්ෂින්ස්කි සිය බුද්ධි අංශය හැඳින්වූයේ “විප්ලවයේ කඩුව සහ පළිහ” (Shield and Sword of the Revolution) ලෙසිනි. ඔවුන්ට අනුව ඔත්තු බැලීම සහ සතුරන් දඩයම් කිරීම යනු ධනවාදී අපරාධයක් නොව, රාජ්‍යය රැකගැනීමේ පවිත්‍රම විප්ලවීය කාර්යයකි.
චීනය: “අදෘශ්‍යමාන යුද පෙරමුණ”
මාඕ සේතුං චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) බුද්ධි සහ ආරක්ෂක ජාලය ක්‍රමානුකූලව ගොඩනැගුවේ 1940 ගණන්වලදී ය. සන් ට්සු (Sun Tzu) වැනි පැරණි චීන දාර්ශනිකයන්ගේ ඔත්තු බැලීමේ කලාව නූතන කොමියුනිස්ට් රාජ්‍යයට ආදේශ කළ මාඕ, බුද්ධි අංශ හැඳින්වූයේ “අදෘශ්‍යමාන යුද පෙරමුණ” (The Invisible Battlefront) ලෙසිනි.
ඔහුගේ දැක්මට අනුව, විවෘත යුද්ධයට වඩා අභ්‍යන්තර ඔත්තු සේවය පක්ෂයේත් රාජ්‍යයේත් පැවැත්මට තීරණාත්මක විය. අදටත් චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය (MSS) ලෝකයේ ප්‍රබලතම බුද්ධි අංශයක් වන්නේ, අධිරාජ්‍යවාදී තර්ජනවලින් සහ අභ්‍යන්තර කඩාකප්පල් කිරීම්වලින් චීන ජනරජය රැකගැනීමේ පෙරමුණු බලඇණිය ඔත්තු සේවා බව පක්ෂය දැඩිව විශ්වාස කරන බැවිනි.

රාජ්‍ය පාලනය සහ ආණ්ඩුව අතර තිබෙන සම්බන්ධය හේතුවෙන් බුද්ධි අංශ ඒ ඒ වකවානුවලදී ආණ්ඩුවලට ද සේවය කරයි. ලොව කිසිදු ආණ්ඩුවක් සර්ව කාලීන නොමැති නිසා, ආණ්ඩු වෙනස් වුව ද, බුද්ධි අංශ සම්බන්ධයෙන් පරිස්සමින් කටයුතු කරනු ලැබේ. එය රාජ්‍ය පාලනයේ මූලික ලක්ෂණයකි.
ශ්‍රී ලංකාවේ මේ වන විට බලය ඇත්තේ බාගෙට තැම්බුණ ක්‍රම විරෝධී වාමාංශික කණ්ඩායමක් අතේය. ඔවුහු පවත්නා රාජ්‍ය ක්‍රමය පිළි ගන්නවා ද නැත් ද, ඒ කෙතරම් දුරකට ද, ඔවුහු පවත්නා රාජ්‍යය පරිවර්තනය කරනවා ද, ඒ කොතරම් දුරකට ද, ඔවුහු විප්ලවවාදීන් ද, නැතිනම් කවුරු ද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු ඔවුන්වත් දන්නේ නැත.
රාජ්‍යය පවත්නා තාක් කල් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔත්තු සේවා ක්‍රියාත්මක වන බව පුරවැසියන් ලෙස අප දැන සිටිය යුතුය. රාජ්‍ය ආරක්ෂාව යනු පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී කාරණයක් නොවේ. රාජ්‍යය රැක ගැනීම සඳහා අනිවාර්යයෙන් ම රාජ්‍ය ආධිපත්‍යය අවශ්‍යය. හමුදා, පොලිසි, අධිකරණ, පාසල් මෙන් ම බුද්ධි අංශ ද රාජ්‍යය රැක ගැනීම හා රාජ්‍යය රැක ගන්නා ආණ්ඩු රැක ගැනීම සඳහා කටයුතු කරයි. එහිදී හැම විට ම, හැම දෙයක් ම නීතියේ සීමාවන් තුළ සිදු වන්නේ නැත. නීතිය පවතින්නේ රාජ්‍යය පවතින්නේ නම් පමණි. ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාත්මක නො වූ උතුරු නැගෙනහිර කොටි පාලන ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත. රාජ්‍යයට එරෙහි වන්නන්ට එරෙහිව පවා රාජ්‍යය නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව උසස් රාජ්‍ය ප්‍රමිතියකි. එහෙත්, ප්‍රායෝගික දේශපාලනය හැම විට ම එසේ වන්නේ නැත. එය යථාර්ථයයි.
මම රාජ්‍ය විරෝධී කැරැලිවලට පූර්ණ ලෙස සහභාගි වූ අයෙක්මි. එම සහභාගිත්වය තුළ මම ශ්‍රී ලංකාවේ නීතිය අනුව කටයුතු කළේ නැත. අවශ්‍ය තැන්වලදී මගේ කාර්ය ආවරණය කර ගැනීම සඳහා පමණක් මම නීතිය පාවිච්චි කළෙමි. කැරැලිකරුවන්ගේ ස්වභාවය එයයි. මම දැන් තවදුරටත් කැරැලිකරුවකු නො වන, රාජ්‍ය හා සමාජ වෙනස්කම් වෙනුවෙන් සාමකාමී උද්දේශනය පමණක් කරන අයෙක්මි. මගේ දැක්ම නිර්මාණය වීමට මගේ අත්දැකීම් සහ සාක්ෂි ඉවහල් වී තිබේ.
බුද්ධි අංශ කටයුතු කරන ආකාරය පිළිබඳ මගේ අත්දැකීම් කීපයක් සටහන් කරමි. 1989 මැයි සිට 1990 ජුනි දක්වා මා සිටියේ හමුදා බුද්ධි අංශ භාරයේ එළියකන්ද වධකාගාරයේ අත්අඩංගුවේය. එහෙත්, නිල වශයෙන් මා පොලිස් අත්අඩංගුවේ සිටින බවට ව්‍යාජ රැඳවුම් නියෝගයක් තිබිණි. එම වකවානුවේ බුද්ධි අංශ විසින් ප්‍රධාන වශයෙන් ම කළේ ලබා ගත් තොරතුරු අනුව හඹා ගොස් කැරැලිකරුවන් දඩයම් කිරීමයි. වධහිංසනය, තර්ජනය සහ දිනා ගැනීම ආදී ක්‍රම ඔවුහු ඒ සඳහා භාවිත කළහ. ජවිපෙ කැරැලිකරුවෝ ඉතා පහසුවෙන් තොරතුරු ලබා දුන්නා පමණක් නො ව, සෙසු කැරැලිකරුවන් දඩයම් කිරීම සඳහා උදව් ද කළහ. මෙය ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිට බිම් මට්ටම දක්වා ම ඉතා සුලබ විය. වධහිංසනය හමුවේ ඔවුන්ට වෙනත් විකල්ප නො තිබිණි. සාමූහිකව සියලු දෙනා තොරතුරු ලබා දෙන සන්දර්භයක් තුළ තොරතුරු සැඟවීම සාමාන්‍යයෙන් කළ හැකි දෙයක් වූයේ නැත.
ඊටත් වඩා අපූරු තත්ත්වය වන්නේ විප්ලවවාදීන් හමුදා නායකයන්ගේ සුරතලුන් බවට පත් වීමයි. මාතර දිස්ත්‍රික්කයේ ගන්දර කොට්ඨාසයේ ජවිපෙ ලේකම් එවක කපිතාන්වරයකු වූ තුවාන් මීඩිංගේ බඩියා සේ ඔහුගේ ගිනි අවිය පවා අත දරා සිටිමින් සිරකරුවකු වූ මා සමග කතා කර ඇත. දේශපාලන මණ්ඩල මට්ටමේ ද එවැනි අය සිටියහ.
මීඩිං යනු කඩවසම්, සැඩ පරුෂ තරුණ හමුදා නායකයකු විය. ඔහු යටතේ පාලනය වූ කඳවුරු ඉතා බියකරු ස්ථාන විය. වධහිංසනය හා ඝාතන ඒවායේ සුලබ විය. මා අත්අඩංගුවට පත් වූයේ මාතර දිස්ත්‍රික් සන්නද්ධ අංශයේ දිස්ත්‍රික් ලේකම්වරයා වූ රත්නායක සමගය. ඔහු නාලන්ද විද්‍යාලයේ සිසුවකු ලෙස සිටි කාලයේ ද මම ඔහු හමු වී ඇත්තෙමි. 1989 වන විට ඔහු 20 හැවිරිදි තරුණයෙකි. මට 24කි. අපගෙන් වෙන් කර වෙන ම කාමරයක මාස අටක් පමණ රඳවා සිටි මෙම තරුණයා බැලීමට පවුලේ අයට පවා අවස්ථාව දී තිබිණි. එම පහසුකම් සැපයූයේ එම වකවානුවේ බුද්ධි අංශ භාරව සිටි මේජර් දයා රත්නායකයි. ඔහුට ද මට මෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් තිබිණි. අප අත්අඩංගුවට පත් වුණේ හදිසි නීතිය නො පැවති කාලයකය. පසු කලෙක, දේශපාලන මණ්ඩල සභික ගාමිනී විජේගුණසේකර අත්අඩංගුවට පත් වූ පසු ඔහු පිළිබඳ අලුත් හෙළිදරව් කිරීම් කර තිබිණි. එනම්, ඔහු දකුණු පළාතේ හමුදා තුළ සම්බන්ධකම් නඩත්තු කළ පක්ෂ ක්‍රියාධරයා බවයි. 1989 දෙසැම්බර් පමණ මෙම තරුණයා හිටිහැටියේ අතුරුදන් විය. ඉන් පසු කිසි කලෙක ඔහු පිළිබඳ තොරතුරක් දැන ගැනීමට නො ලැබිණි. නිදහස ලැබීමෙන් පසු මුහුණ දුන් දුෂ්කරතා හමුවේ මා ද ඔහු සෙව්වේ නැත. මා ජවිපෙ සමග නැවත සම්බන්ධ නො වීම නිසා ඒ සඳහා ක්‍රමයක් ද නො තිබිණි.
එහෙත්, මා විස්මයට පත් වුණේ, මීඩිං කොටි සංවිධානය විසින් ඝාතනය කළ මොහොතේ ඔහු සමග සිටි සිවිල් පුද්ගලයකුගේ නමක් ඇසීමෙනි. එම පුද්ගලයාගේ නමත්, මා ඉහත සඳහන් කළ, අතුරුදන් වූ ජවිපෙ සන්නද්ධ අංශ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සැබෑ නමත් එකක් විය. ඒ ඔහු ම ද, වෙනත් අයකු ද කියා මම නො දනිමි.
ඔත්තුකරුවන් යොදා පක්ෂ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සාර්ථක වූ දියුණු රහස් ඔත්තු සේවා ජවිපෙ කැරැල්ල සමයේ තිබුණේ නැත. එවැනි බුද්ධි ප්‍රහාර ජවිපෙට එල්ල වූයේ ඉතා කලාතුරකිනි.
එහෙත්, දෙවැනි හා තුන්වැනි ඊළාම් යුද්ධවල තත්ත්වය සපුරා වෙනස් විය. බුද්ධි අංශ මෙහෙයුම් අතිශය සියුම් හා සංකීර්ණ විය. ඒ ගැන මා හොඳින් දන්නා එක් අත්දැකීමක් පමණක් විස්තර කරමි.
සටන් විරාම සමයේදී හිරු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස හිරු හා වෙනත් පුවත්පත් ඔස්සේ මම දේශපාලන විසඳුමක් සෙවීම සඳහා වූ උත්සාහයේ කොටසක් ලෙස උතුරේ දෙමළ කැරැලිකරුවන්ට මතවාදී හා සන්නිවේදන සහාය ලබා දුන්නෙමි. මෙම වකවානුවේදී ඊට එහා ගිය විප්ලවවාදී වැඩ කිරීමේ උවමනාව තිබුණු පිරිස් ද දකුණේ වාමාංශිකයන් අතර සිටියහ. ඔවුහු අපගේ සීමාවෙන් තෘප්තිමත් නො වූහ. අපට මෙන් ම ඔවුන්ට ද උවමනා වූයේ උතුරත් සමග එක් වී සමාජවාදය වෙනුවෙන් ඒකාබද්ධ අරගලයකට යොමු වන්නටය. පීඩිතයාගේ ජාතික විමුක්ති අරගලය ප්‍රගතිශීලීය යන ස්ථාවරය අප අතර පොදු විය. එසේ ම, දෙමළ අරගලය බලවත් තත්ත්වයක තිබීම ද දකුණේ ජවිපෙ නො වන වාමාංශිකයන්ට ආකර්ෂණීය විය.
සිංහල කොටි ලෙස පසු කලෙක හැඳින්වුණ කණ්ඩායම බිහි වුණේ ඒ සමයේය. එය අති වාමාංශික රැඩිකල්වාදීන් බා ගන්නා කෙමනක් විය. මා එසේ කියන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, එහි නායකයා හමුදා බුද්ධි අංශ මගින් පාලනය වූ අයකු නිසාය. උතුරෙන් යුද පුහුණුව පමණක් නො ව පුපුරන ද්‍රව්‍ය පවා ලබා ගත්, ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වුණ සිංහල කණ්ඩායමක දේශපාලන නායකයා බුද්ධි අංශ සමග ගනුදෙනු කළ අයකු යැයි සිතා ගන්න. මෙම කණ්ඩායම එක්තරා දුරකට ගිය පසු හමුදාව අවශ්‍ය සියලු දෙනා පූස් පැටවුන් ටිකක් සේ කනෙන් අල්ලා කූඩුවට දැමුවේය. මාධ්‍ය සංදර්ශනවලට යොදා ගත් නිසා නායකයා ද පොලිසියට භාර දීමට සිදු විය. පොලිසිය ඔහුට ද නඩු පිට නඩු දැමුවේය. එහෙත්, බුද්ධි අංශ සමග ගනුදෙනු කළ අනෙක් ප්‍රධාන පුද්ගලයා නිරුපද්‍රිතව සිටියේය.
මෙම කණ්ඩායම යොදා ගෙන හමුදාව කොටි සංවිධානය ගැන ද, තමිල් චෙල්වන් වැනි දේශපාලන නායකයන් ගැන ද, දකුණේ දෙමළ අරගලයට උපකාර කළ වාමාංශිකයන් පිළිබඳව ද ඉතා විශ්වසනීය තොරතුරු ලබා ගත්තේය.
හිරු කණ්ඩායමේ අය බිය වී රටින් පලා ගියහ. ඒ වන විට කණ්ඩායමෙන් කැඩී ගොස් සිටි මා අත්අඩංගුවට පත් වී විනාශ වනු ඇතැයි රෝහිත භාෂණ, ජූඩ් ලාල් වැනි අය බලාපොරොත්තු වූහ. එහෙත්, මම ලියන කියන කටයුතු එසේ ම කරමින් දිගට ම ලංකාවේ රැඳී සිටියෙමි. සිංහල කොටින් හරහා බුද්ධි අංශවලට අප පිළිබඳ සැබෑ තත්ත්වය වාර්තා වී තිබුණු නිසා හිරු කණ්ඩායමේ හා වෙනත් එවැනි කණ්ඩායම්වල කිසිවකුට තර්ජනයක් එල්ල වූයේ නැත.
මේ වනාහි බුද්ධි අංශ වැඩ කළ ආකාරය පිළිබඳ උදාහරණයක්, දෙකක් පමණි. සිංහල ජාතිවාදී සංවිධාන, මුස්ලිම් අන්තවාදීන්, දෙමළ අතුරු හමුදා කණ්ඩායම්, පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන් ම ජවිපෙ හා පෙසප වැනි කණ්ඩායම් තුළ ද බුද්ධි අංශ ක්‍රියාත්මක විය. ඇතැම් ඔත්තුකරුවෝ කුමන අංශයකට ඔත්තු දුන් අය ද යන්න පවා සොයා ගැනීම දුෂ්කර විය. එවැනි අද්භූත පුද්ගලයෝ හිරු කණ්ඩායම සමග සම්බන්ධකම් පැවැත්වූහ. මා නම් සිටි ස්ථාවරය වූයේ මගේ දේශපාලනය ඕනෑ කෙනකුට පෙනෙන පරිදි මා විවෘතව සිටිය යුතු බවය. නීති විරෝධී ක්‍රියාවලට නො පැටලී සිටීම ඊළඟ ආරක්ෂාව විය. වීරයකු වන්නට නො ගොස්, අපේ මැදිහත් වීම කිරීම සඳහා හෙට වෙනුවෙනුත් ජීවත් විය යුතු බව මගේ අදහසයි.
වීරයන් මට වඩා වෙනස්ය. එහෙත් ඇතැමෙක් කප්පම් මාධ්‍යවේදියෝය. කොළඹ සිට ටැමිල්නෙට් සංස්කරණය කරන්නට පුළුවන් යැයි සිතූ වීරයෝ ද සිටියහ. තවත් අයකු රාජ්‍ය නායකයකු යන ගුවන් යානයකට පහර දෙන හැටි ගැන සාකච්ඡා කර තිබෙන්නේ ද කොටි සටන්කරුවකු ලෙස පෙනී සිටි හමුදා ඔත්තුකරුවකු සමග බව මා අසා ඇත. කිසිදා ඔබ අනුමාන නො කරන ශාන්තුවරයන් බඳු පුද්ගලයන් පවා ඔත්තුකරුවන් විය හැකි බවට අනුමාන කළ හැකි සාක්ෂි මට තිබේ. දැන් ඒවා වැඩක් නැත.
බලය තහවුරු කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ දඩයම් කිරීමට යන ජවිපෙ විප්ලවවාදීන්ට, පළි ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන පොලිස් හා මාධ්‍ය පුද්ගලයන්ට මට කීමට ඇත්තේ මෙයයි: රාජ්‍ය බුද්ධි අංශ යනු ගෝලීයව සම්බන්ධ ජාලයකි. එය නියාමනය වන මූලධර්ම සාමාන්‍ය නීති අභිභවා යයි. එය පවත්නා රාජ්‍ය ක්‍රමයේ මූලික අංගයකි. එය වෙනස් කළ යුතු ද නැත් ද යන්න මම නො දනිමි. බුද්ධි අංශ වෘත්තිකයන් දඩයම් කරන්නට යාම තේරුමක් නැති වැඩකි.













මෙහිදී වඩාත් සුදුසු සිංහල වචනය ඔත්තුකරුවන්, ඔත්තු සේවාවන් කියලයි මට හිතෙන්නේ ?