public service

අජිත් පැරකුම් ජයසිංහ

2022 වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් රුපියල් බිලියන 3844ක් දක්වා ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ පැවසුවා. බදු ඉහළ නැංවීමට අමතරව රජය ණය සීමාව ද ඉහළ නැංවීමෙන් අඟවන්නේ රාජ්‍ය වියදම් අඩුකිරීමට සූදානමක් නැති බවද? ශ්‍රීලන්කන් වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් විකුණා නොදමන්නේ ඇයි?

“2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේවා බිලියන 4,000ක් පමණ අලාභයක් ලබනවා. මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා,” යි ඔක්තෝබර් 6දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

එහෙත්, ඒ කියන ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවෙනවාද? නැතැයි කියන්නට බැහැ. බදු වැඩිකරන තරම් වේගෙන් ඒවා කරන්නත් බැරි බව ඇත්ත. ඒ වුණාට, අවශ්‍ය ජවයෙන් කෙරෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඉන්ධන ආනයනය කිරීම සඳහා තවත් සමාගම්වලට ඉඩදීම සහ ගුවන්යානා ඉන්ධන වෙනත් අයට ගෙනැවිත් ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම යනාදී කටයුතු සඳහා පහසුකම් සපයන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත ඔක්තෝබර් 18 දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ වන විට තෙල් සංස්ථාව ලාභ ලබන බව ඇමති කාංචන විජේසේකර පැවසුවා. එහෙත්, එහි සේවකයන් සංඛ්‍යාව 4,000ක් ඔවුන්ගේ තරගකාරී ලංකා අයිඕසී සමාගමේ සේවක සංඛ්‍යාව 150ක් බව ඇමතිවරයා කිව්වා. තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් 1,236කට තෙල් සපයන අතර ලංකා අයිඕසී තෙල් සපයන්නේ ඉන්ධන පිරවුම්හල් 150කට පමණයි. ඒ පිරවුම්හල් ජාලය පුළුල් කිරීම සඳහා මේ වන විට අවසර ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත පසුගිය ජුනි 9දා සම්මත කරගන්නා ලදි. යම් තැනැත්තකුට මෙගාවොට් 25 ඉක්මවා විදුලිබලය උත්පාදනය කිරීම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම මෙම පනත මගින් සිදුවෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් අනුමත කර ක්‍රියාත්මක කිරීමට මෙම සංශෝධන මගින් අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන ඉහත සඳහන් පියවර දෙකටම වෘත්තීය සමිති විරෝධය පළකළමුත්, දැඩි විරෝධයක් එල්ල වූයේ නැහැ. මේ වන විට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සේවකයන්ට වැඩුප් ගෙවාගත නොහැකිව සිටිනවා. සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාාම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කර තිබෙන අතර සේවකයන් දහසක් පමණ එයට කැමැත්ත පළකර තිබෙනවා. ඒ වෙනුවෙන් වන ගෙවීම් කිරීම සඳහා ආයතනයේ දේපලක් විකිණීමට කළමනාකරණය උත්සාහ කරනමුත්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අකැමැති සේවකයන් 1,400ක් පමණ එයට විරුද්ධය. මේ අතර රජය පවසන්නේ ඉංජිනේරු සංස්ථාවට ඉදිරි කාලයේදී එතරම් සේවක සංඛ්‍යාවක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර රජයට අයත් ප්‍රධානම සුදු අලියා වන ශ්‍රී ලන්කන් සම්බන්ධයෙන් රජය තවමත් නිහඬයි.

2021 වර්ෂයේ බදු ආදායමෙන් 86%ක්ම රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට වැය වුණා. 2022 වර්ෂයේ මෙම අනුපාතය 63%ක් වෙයි කියා තක්සේරු කරනවා. වැටුප් සහ විශ්‍රාම වැටුප් වියදම 8.6% කින් වැඩි වෙලා. 2022 බදු ආදායම 42%කින් වැඩි වනු ඇතැයි රජය තක්සේරු කරනවා. කෙසේ වෙතත්, රාජ්‍ය අංශය තවමත් අතිවිශාල බරක්.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග 2021 දෙසැම්බරයේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදුන්නා. ඒ අනුව,

  • අමාත්‍යාංශ (කැබිනට්) – 28
  • රාජ්‍ය අමාත්‍යාංශ – 40
  • දෙපාර්තමේන්තු – 98
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25
  • සංස්ථා – 240
  • රාජ්‍ය සමාගම් – 125
  • රාජ්‍ය බැංකු – 8
  • අරමුදල් – 65
  • විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124
  • තවත් ආයතන – 21
  • පළාත් සභා – 9
  • පළාත් පාලන ආයතන 340 (337?)
  • පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241
  • පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64
  • එකතුව – 2062 (?)
  • මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8
  • පළාත් සභා – ලක්ෂ 3
  • හමුදා – ලක්ෂ 3
  • රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+
  • විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2

මෙම සියල්ල එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙන්.

රජය තවදුරටත් මේ දැවැන්ත රාජ්‍ය සේවයේ බර බදුගෙවන, ඒ අතර සැබැවින්ම වැඩකරන ජනයා මත පටවනවාද? බදු සංශෝධන යෝජනා සමග ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාත් සමාන ජවයකින් යුතුව ඉදිරියට නොගන්නේ ඇයි? සමාජයේ බලවත්ම ස්ථරයක් වන රාජ්‍ය සේවකයන්ට තිබෙන බිය නිසාද? ඉදිරි මැතිවරණයකදී රජයේ සේවකයන් එකතුව ආණ්ඩුව පරදවන නිසාද? ඉතිහාසය පුරාම ලංකාවේ සිදුවුණේ මෙය නොවේද? අපට මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නට බැරිද?

2 thoughts on “බදු විතරද? රජයේ බර එතකොට?

  1. “The Seven Moons of Maali Almeida˜ නව කතාව අධි යථාර්ථවාදය සමග ගලපාගත හැකි සුවිශේෂ සාහිත්‍ය මොඩලයක් වූ ‘Whodunit’ වර්ගයේ ලියවිල්ලකි. එම පොතේ නිමිත්ත මෙසේය. එල්.ටී.ටී.ඊ යුද බිමට යන යුද ඡායාරූප ශිල්පියෙක් මරණයට පත්වෙයි. ඉන්පසු මළවුන්ගේ ලෝකයේ සිට ජීව ලෝකයට පැමිණ සතියක් ගතකිරීමේ වරමක් ඔහුට හිමිවෙයි. මේ වරම ප්‍රයෝජනයට ගන්නා මාලි අල්මේදා නමැති එම ඡායාරූප ශිල්පියා සිවිල් යුද බිමේදී ගන්නා ලද, ඇඳක් යට සඟවා තිබූ ඡායාරූප තොගයක් සිය මිතුරන් අතර බෙදාහරී. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය කෙතරම් අමානුෂික ද යන්න එම ඡායාරූපවලින් පැහැදිලි වෙයි. ෂෙහාන් කරුණාතිලක මේ පොත අවස්ථා කිහිපයකදී ස්වරූප කිහිපයකින් ලියා සම්මාන උළෙල කිහිපයකට ද ඉදිරිපත් කර ඇත. 2015 දී මේ පොතේ පළමු ස්වරූපය අප විසින් මෙහි මුලින් සඳහන් කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු ලේඛක මයිකල් ඔන්ඩච්චි ලංකාවේ පිහිටු වූ ‘Gratiaen’ ත්‍යාගයේ අවසන් වටයටද තේරිණ. ඉන්පසු එම පොත පෙන්ගුවින් ප්‍රකාශන සමාගමේ ඉන්දියානු කලාපීය අංශය මගින් ප්‍රකාශයට ද පත්කරන ලදි. ෂෙහාන් එම පොතේ අවසන් ස්වරූපය ඉදිරිපත් කරන්නේ “The Seven Moons of Maali Almeida˜ යන නමිනි. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මාන උළෙලකදී නම් මෙවැනි සංකීර්ණ තත්ත්වයක පවතින පොතකට සාහිත්‍ය සම්මාන දීම තබා එහි ලේඛකයා සාහිත්‍ය සම්මාන උළෙලකට වැද්ද ගැනීමවත් සිදුවන්නේ නැත. “ඕක පරණ පොතකින් ලියපු අලුත් පොතක්” යැයි කියමින් මෙහි සිටින විද්වතුන් හඬ නගනවා ඇත. එහෙත් යුරෝපීය සංස්කෘතියේ ඇති විවෘත ප්‍රවේශයන් නිසා ලේඛකයාට සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ඉඩ ලැබේ.

    සාහිත්‍යය යනු මනුෂ්‍යයා ශිෂ්ටාචාරගතවීමත් සමගම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි ප්‍රකාශන මාධ්‍යයකි. මිනිසාගේ පළමුවන ප්‍රකාශන මාධ්‍ය චිත්‍ර කලාව ලෙස සලකනු ලැබේ. දෙවැන්න සංගීතය විය යුතු බවට මතයක් තිබේ. තුන්වනුව ඉදිරියට එන සාහිත්‍යය වඩාත් සංකීර්ණ ය. ඒ සඳහා භාෂාවක් අවශ්‍ය ය. අකුරුද අවශ්‍ය ය. ලිවීමේ කලාවක්ද අවශ්‍ය ය. ව්‍යාකරණ ඇතිව හෝ නැතිව පෙළගැස්විය හැකි කතන්දර නිමිත්තක් ද අවශ්‍ය ය. මේ සියල්ල එකතුකොට ලියන ලද පොතක් සාහිත්‍ය කෘතියක් බවට පත්වී මහජනතාව අතට යයි. පුවත්පත ද එක්තරා සාහිත්‍ය ස්වරූපයකි. මධ්‍යකාලීන යුගයෙන් පසු මුද්‍රණ ශිල්පය ඇරඹී වාර සඟරා බිහිවීමත් සමගම ශ්‍රේෂ්ඨ ලේඛකයන් සමූහයක් බිහිවීමට පටන් ගත්හ. ඔවුන් සිය නිර්මාණ මුලින්ම පළ කරන්නේ පෙරකී වාර සඟරාවලය. එය යුරෝපා මහාද්වීපයටත්, උතුරු ඇමරිකන් මහාද්වීප කොටසටත් බි්‍රතාන්‍යයටත් විශේෂ වූ සම්ප්‍රදායකි. එඩ්ගා ඇලන් පෝ, ගී – ද මෝපසාං, ගුෂ්ටාව් ෆ්ලෝබෙයාර්, එච්. ජී. වේල්ස්, ඔස්කා වයිල්ඩ්, ජැක් ලන්ඩන් ඇතුළු විශිෂ්ට ලේඛකයන් සිය ගණනක් සිය නවකතා තම තමන්ගේ රටවල ප්‍රකාශයට පත්වූ වාර සඟරාවල කොටස් වශයෙන් පළ කළහ. ඉන්දියාව තුළද එම සම්ප්‍රදාය යම් ප්‍රමාණයකට තිබුණ ද ශ්‍රී ලංකාව තුළ එවැනි සම්ප්‍රදායක් තිබුණේ ම නැත. ශ්‍රී ලංකාවේ නවකතාකරුවෝ පියදාස සිරිසේනගේ අෂ්ට ලෝක ධර්මචක්‍රයේ සිට ඉදිරියට පළ වූ සියලුම නවකතා පොත් වශයෙන් ප්‍රකාශයට පත්කරවා ගැනීමට තරම් වාසනාවන්ත වූහ. එහෙත් දැනට පවතින ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය විශාල අර්බුදයකට ලක්ව පවතී. වෙනදා රුපියල් පන්සීයට දුන් නවකතා පොත අද වනවිට රුපියල් 1500ක මිලක් දරන අතර මුද්‍රණාල බොහොමයක් ද වැසී යමින් පවතී. කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය හාන්සි විය. එහෙත් කොවිඩ් වැලඳුණු ඉන්දියාවේ හෝ වෙනත් කිසිම රටක පත්තර කර්මාන්තයට හෝ සාහිත්‍ය ප්‍රකාශන කර්මාන්තයට එවැනි ඉරණමක් උදාවී නැත. ඒ ඇයි?

  2. මේ රටේ ගුරු පරපුර නැවත වතාවක් දෙමව්පියන්ගේ චරිතය නිරූපණය කිරීමට පටන්ගෙන ඇත. පසුගියදා කන්තලේ පළාතේ කුඩා දැරියක් සිය විදුහල්පති හමුවී දුක්ගැනවිල්ලක් කීවාය. එනම් ඇගේ හොඳම මිතුරිය වෙනත් මිතුරියක් සොයාගත් බැවින් දිගටම පාසල් පැමිණීමේ අවස්ථාව ඇයට නැතිවන බවය. මෙය ඉතා ගැටලුකාරී කතාවකි. හොඳම මිතුරිය අහිමි වීම දැරියකට පාසල් නොපැමිණීමට හේතුවක් වන්නේ කෙසේද? ඒ පිළිබඳ කතාව මෙසේය. මේ කියන දැරිය ඉතා දුප්පත් පවුලක දියණියකි. ඇයට බොහෝවිට උදේ ආහාර ලැබුණේ නැත. ඇය අනුභව කළේ සිය හොඳම මිතුරියගේ උදේ බත් පතින් කොටසකි. උදේ කෑම නැති දවසට ක්ලාන්ත වීමේ ප්‍රවනතාවක් මේ දැරිය තුළ විය. ඒ අතර ඇගේ හොඳම මිතුරිය වෙනත් මිතුරියක් සොයා ගැනීම නිසා වෙනදා ඇයට ලැබෙන ආහාර කොටස දැන් ලැබෙන්නේ ඒ අලුත් මිතුරියටය. ඇය නිතර පාසල් ඒමට බැරි බව විදුහල්පතිතුමාට කියන්නේ හොඳටම ඇඟ දුර්වල යැයි හැඟෙන දවසට උදේ ආහාරය නොලැබෙන්නේ යැයි ඇයට හැඟෙන්නේ නම් ක්ලාන්ත වීමට ඇති ඉඩ කඩ නිසාය. මෙහිදී ඒ කාරුණික විදුහල්පතිතුමා මෙසේ කීවේය.

    “පුතේ ඔයාට කෑම නැති වෙලාවට හොරෙන්ම ඇවිල්ලා මට කියන්න. උදේ කෑමයි දවල් කෑමයි දෙකම මම ගෙන්නවලා දෙන්නම්” දැන් මේ දැරිය ක්‍රමානුකූලව පාසලට එන්නීය. රජයේ සේවකයකු වූ විදුහල්පතිතුමා (සමහරවිට ඔහුටත් කන්න නැතුව ඇති) දැරියගේ කුසගින්න නිවීමෙන් අප්‍රමාණ සතුටක් ලබනවා ඇත. මෙවැනි ගුරුපරපුරක් මීට අවුරුදු තිහ හතළිහකට පෙර මේ රටේ සිටියේය. විවෘත ආර්ථිකයෙන් පසු තමන්ටත් වැලේ වැල් නැති වූ බැවින්දෝ අපේ ගුරු පරපුර අතුරුදන් විය. අපේ කතාවේ දෙවැනි කොටස පටන් ගන්නේ මෙතැනිනි.

    කැලණියේ දළුගම සාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ උගත් පසළොස් හැවිරිදි දරුවෙක් නිතරම පාසල් ගමන මගහළේය. පසුගිය දිනක පන්ති භාර ගුරුතුමිය ඒ පිළිබඳ සොයා බැලුවාය. එවිට දරුවාගේ කම්මුලේ තිබූ ඇඟිලි පහරවල්, තොලේ තිබූ පැලීම් ඇඟේ පතේ වූ තුවාල රැසක් ඇයට දැකගැනීමට ලැබිණ. මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ මේ දරුවා මව සහ පියා වෙන්වූ පවුලක දරුවකු බවත් මීට අවුරුදු හතරකට පෙර දරුකමට හදාගැනීම සඳහා පිටස්තර යුවළකට භාරදී ඇති බවත්ය. ඔහුට ලැබුන අලුත් අම්මා යක්ෂණියකි. එතැන් සිට එම ගෙදර ඉවුම් පිහුම් කටයුතු, පිරිසිදු කිරීමේ කටයුතු, පිඟන් සේදීම, වැසිකිළි සේදීම යන සියල්ලම කිරීමට පවරන ලද්දේ මේ කුඩා පිරිමි ළමයාටය. වෙනකක් තබා ගෙදර මහ ගැහැනියගේ සහ මහ මිනිහාගේ යට ඇඳුම් පවා සෝදන ලද්දේ මේ කුඩා දරුවා විසිනි. කිසියම් අවස්ථාවක මේ පොඩි එකා අතින් යමක් වැරදුනු කල්හි එස්ලෝන් බට සහ රබර් හෝස් යනාදියෙන් ළමයාට පහරදෙන ලදී. මෙය සිදුකරන ලද්දේ සැමියා සහ බිරිඳ එක්වය. එහෙත් පළමු පහර එල්ල කළේ පෙරකී යක්ෂණියයි. මේ පිළිබඳ පුවත ඊයේ දිවයිනේ පළවී තිබේ. මේ ගැන තවදුරටත් සොයා බැලීමෙන් පසු අපට දැනගැනීමට ලැබුණේ පෙරකී යක්ෂයා සහ යක්ෂණිය එක්ව මේ කුඩා දරුවාට පහරදීමෙන් කිසියම් පරපීඩා කාම සතුටක් ලබන බවය. මේ දරුවාගේ මේ කතන්දරය ඇසූ පන්ති භාර ගුරු මාතාව ඒ බව විදුහල්පතිතුමාට දන්වා ඇත. එතුමා වහාම මේ ඛේදවාචකය පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ළමා රක්ෂණ අධිකාරිය වහා ක්‍රියාත්මක වූ අතර ඔවුහු කිරිබත්ගොඩ පොලිසියේ සහ පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කැටුව පාසලට පැමිණ දරුවාගේ ප්‍රකාශ සටහන් කර ගත්තේය. දරුවාට පහරදෙන යක්ෂ යුවළ එම තුවාල කැළැල් පිළිබඳ පිටස්තර පාර්ශ්ව ප්‍රශ්න කළොත් ඒවා නාන කාමරය තුළ වැටී සිදුවූ තුවාල බව කියන ලෙසත් එසේ නොකළොත් දරුණු වධ දී ළමයා මරාදමන බවත් කියා ඇත. දරුවා දුක් සාගරයක ගැලී සිටින බව ඔහුගේ මව දැන සිටියාය. දරුවාගේ මව කැඳවූ විදුහල්පතිවරයා මේ සියලු විස්තර කියා දරුවා භාරගන්නා ලෙස ඇයට දන්වා ඇත්තේ වී නමුදු ඇය දරුවා භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව එම කාන්තාවද අලුත් විවාහ ජීවිතයක් ආරම්භ කර ඇති බැවින් එම දරුවා භාරගැනීමට ඇගේ අලුත් සැමියා අකැමැති වීමය. මුන් සියල්ලම යමපල්ලෝ වෙති. මෙතැන සිටින යමපල්ලන් ගණන හයකි. දරුවා දැනට සිටින නිවසේ යුවළ අමු ම අමු යමපල්ලෝය. එම දරුවාගේ පියා සහ මව ද අමු ම අමු යමපල්ලෝය. එසේම එම පියාගේ අලුත් බිරිඳ ද මවගේ අලුත් සැමියාද යමපල්ලෝය. මෙම සිද්ධියේ සුර දූතයන් හමුවන්නේ කැලණියේ දළුගම සාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය, ප්‍රදේශයේ පොලිසි සහ ළමා හා කාන්තා කාර්යාංශයෙනි. පාරේ යන එන, කුඹුරු කොටන අසරණ මිනිසුන්ට හෙණ ගෙඩි පාත්වෙද්දී මෙවැනි යම පල්ලන්ට හෙණ නොවදින්නේ ඇයි? මේ යම පල්ලන්නට හෙණම ගහපන් යනුවෙන් පෘථග්ජනයන් වශයෙන් අප ප්‍රාර්ථනය කිරීම වරදක්ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: