බදු වැඩි කිරීම වැරදිද?

අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10%ටයි.
නව ආදායම් බදු සීමාවන් අනුව, මා නම් බදු ගෙවන සීමාවට අයත් වන්නේ නැත. මට ඒ ගැන ලැජ්ජා වෙන්නට හේතුවක් ද නැත. ආදායම් බදු ගැන අඬා වැටෙන මෙහි සිටින බොහෝ දෙනෙකුගේ තත්වය ද එසේය.
මා කුඩා සේවා සම්පාදන ව්‍යවසායක් පවත්වාගෙන යන නිසා, 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදු කරන මසකට රු. 100,000ක් ඉක්මවන සේවා ගෙවීම් මත 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීම මගේ සමාගමට යම් සුළු බලපෑමක් කරනු ඇත. සමස්තයක් ලෙස ආර්ථිකයේ සිදුවන සංකෝචනය අපට ඊට වඩා දැඩි ලෙස බලපා තිබේ.
මේ අතර ‘කිසිවකු අත් නොහරිමු’ තේමාව යටතේ රජයේ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දෙන්නට යන සහනාධාර ක්‍රමය සඳහා මේ වන විට ලක්ෂ 23කට වඩා ලියාපදිංචි වී තිබේ. රජයේ තක්සේරුව අනුව, පවුල් ලක්ෂ 39ක් දක්වා පිරිසකට මෙම සහනාධාර අවශ්‍ය වනු ඇත.
ආදායම් බදු ගෙවීමට සිදුවන පිරිස එම බදු ගෙවීම අසාධාරණ නැත. හේතුව, ඔවුන් මුදල් ඉපැයීම සඳහා රජය හා පොදු සමාජය විසින් ගොඩනගන ලද ආර්ථික හා සමාජ යටිතලය මත රඳාපවතින බැවිනි.
උදාහරණයක් ලෙස ටියුෂන් පන්ති කරන ගුරුවරයකු ගනිමු. එම ගුරුවරයා කරන ව්‍යාපාරයට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ රජයේ පාසල්, විෂයමාලා, විභාග ආදිය විසිනි. එයට අමතරව, එම ව්‍යාපාරයට අවශ්‍ය වන අවකාශ, වීදි, පොදු අවකාශ, ජල බැස යන මාර්ග, වීදි පහන්, ජලය, විදුලිය ආදිය පවත්වාගෙන යන්නේ ද රජය විසිනි. රජය විසින් සපයනු ලබන ආරක්ෂාව ඉතා වැදගත්ය. පොලිසිය, අධිකරණය, බන්ධනාගාර ආදිය නඩත්තු නොකරන්නේ නම්, ටියුෂන් මාස්ටර්ගේ ටික්කාට කොල්ලන් අල්ලන් නෙළනු ඇත.
එසේම, ටියුෂන් මාස්ටර් ළඟ පංති එන්න මොළේ තියෙන කොල්ලන් කෙල්ලන් රොත්තක් හැදුනේ, ළදරු මරණ අනුපාතිකය, මන්දපෝෂණය, වසංගත අඩු වී, නීරෝගී ජාතියක් හදන්නට නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් රජය කළ වියදම් නිසාය. කොවිඩ්-19න් බේරී හෝල්වල බය නැතුව ළමයි ගාල් කරන්නේ රජය නොමිලේ සැමට සිදුකළ එන්නත්කරණය නිසාය.
මෙයට එකතු කළ හැකි තව බොහෝ දේ ඇත. උදාහරණයක් ලෙස, ඔබ මෙම සටහන දකින්නේ රජය විසින් මෙහෙයවනු ලබන අන්තර්ජාල යටිතලය නිසාය. බදු නොගෙවීම සඳහා ඔබ දිරිගන්වන සිරස බලන්නේ රජය විසින් පවත්වාගෙන යන තරංග සංඛ්‍යාත පරාසය භාවිතා කරමිනි.
අප හැම බදු ගෙවිය යුතුය. ඉහළ ආදායම් ලබන අය වැඩියෙන් බදු ගෙවිය යුතුය. දැනටත් අපි විශාල වශයෙන් වක්‍ර බදු ගෙවන්නෙමු. ඍජු බදු ඊට වඩා විනිවිද පෙනේ.
2019 වසරේ 12.7%ක්ව පැවති දළ දේශීය නිෂ්පාදිතය අනුව බදු අනුපාතය, 2020 වසරේ දී 9.1% දක්වා අඩු වූ අතර, 2021 වසරේ දී එය 8.7% දක්වා තවදුරටත් අඩු විය.
2019දී 86.9%ක්ව පැවති දළ දේශීය නිශ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය, 2020 වසර වන විට 100.6% ද, 2021 වසරේ දී 104.6% ද දක්වා ඉහළ ගියේය. මෙය ලංකාව බංකොළොත්භාවයට පත්කළ රාජ්‍ය අයවැය හිඟය හා ණය අර්බුදය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුව විය.
රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ වේ. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, රජයේ වියදම් පියවාගැනීම සඳහා බදු ආදායම් තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් ද අවම කිරීමට සිදුවනු ඇත.
ඔබේ බදු මුදල් නාස්ති වෙනවාද? ඒවා සොරකම් කරනවාද? ඔබට ඵලදායී රාජ්‍ය සේවයක් ලැබෙන්නේ නැද්ද? රජයට ඔබේ බදු මුදල් සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ඔබට වගවන තත්වයට පත්කරන්න.
අදාළ බදු ගැසට් නිවේදනය මෙතැනින්

ශ්‍රී ලංකාවට හැමදාමත් කෙළවුණේ කරන්න බැරි දේවල් කරන්නට යෑමෙනි. අපට හයිවේ වලින් වැඩක් නැත. එහෙත් දේශපාලනඥයන්ට ගසාකෑමට හැකි බැවින් අපට හයිවේ හැදීමට සිදුවිය. අද මේ හයිවේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ඔහේ පවතින අතර අපේක්ෂිත ආදායමක් ඒවායින් ලැබෙන්නේ නැත. සත්භාවයෙන් කළ සංවර්ධන ක්‍රියාවලියක් වුවද මත්තල ගුවන්තොටුපළ සත පහකට වැඩක් ඇති වැඩක් නොවේ. මේ ගුවන්තොටුපළ අද ඉතා කලාතුරකින් කපුටෙක් හෝ කොබෙයියෙක් එන වර්ගයේ පාළු පිට්ටනියක්ව පවතී. මේ ආකාරයෙන් අත්හැර දමන ලද සත පහක ප්‍රයෝජනයක් නැති බ්‍රෑන්ඩ් නිව් ගුවන්තොටුපළවල් ලෝකයේ රටවල් ගණනාවකම තිබේ. ශ්‍රී ලංකාවට අදටත් සුදුසුම තත්ත්වය අර්ධ ගැමි, අර්ධ නාගරික රාජ්‍ය තත්ත්වයයි. එබැවින් මැදි ආදායම් මට්ටමේ සිට අඩු ආදායම් මට්ටමට බැසීම කිසිදු ආකාරයකින් ලජ්ජාවක් ගෙන දෙන කාරණයක් නොවේ. බඩට කන්න නැත්නම් ඒ බව අනෙකාට කී විට අඩුම ගණනේ පාන් පෙත්තක්වත් ලබාගත හැකිය. එහෙත් එසේ නොකියා සිටින විට හද්ද බඩගින්නේ විඳවීමට ඉඩ තිබේ. කිසියම් රටක් තම හිඟන තත්ත්වය ප්‍රකාශයට පත්කර අඩු ආදායම් ලබන රටක් වීමට කැමති වූ විට ජාත්‍යන්තරය වෙතින් වාසි ගණනාවක් ලබාගත හැකිය. ඒ ගැන විස්තර කිරීමට කලින් අඩු ආදායම් සහ මැදි ආදායම් යන වචන වල තේරුම විමසා බැලීම වැදගත්ය.
සංවර්ධනය වන රටක් යනුවෙන් හඳුන්වන ආර්ථික නිර්නායකයක් ලෝකයේ තිබේ. මෙවැනි රටක් ස්ථිර වශයෙන්ම ස්වෛරී රාජ්‍යයක් විය යුතුය. මේ රටේ කාර්මික පදනම එතරම් දියුණු නැත. එසේම ඒ රටේ මානුෂීය සංවර්ධනයද අනෙක් රටවලට සාපේක්ෂව අඩුය. මෙය මූලික අදහසක් වන අතර සමහර අර්ථ ශාස්ත්‍රඥයෝ මෙය පිළිගැනීමට අකමැතිය. ඇතැම් විද්වත්හු මෙය පිළිගනිති. කිසියම් රටක දළ ජාතික ඒක පුද්ගල ආදායමේ ප්‍රමාණයට අනුව ඉහළ ආර්ථිකයක් ඇති රටවල්, ඉහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටවල්, පහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටවල් සහ පහළ ආර්ථිකයක් ඇති රටවල් යනු වර්ග සතරක් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි. කොරෝනා සහ වංචා දූෂණ නැතිව එක දිගට එක ආණ්ඩුවක් යටතේ අවුරුදු දහයකට මේ රට ඉස්සරහට ගෙන යෑමට හැකිව තිබුණේ නම් අවසාන ප්‍රතිඵලය වීමට තිබුණේ මේ රට ඇමරිකාව, කැනඩාව, ජපානය හෝ ඔස්ටේ්‍රලියාව වැනි සංවර්ධිත රටක් බවට පත්වීමය. එහෙත් අපේ කර්ම ශක්තියේ අඩු පාඩුවක් නිසා හෝ වෙනත් රහසිගත කාරණයක් නිසා හෝ අපේ රටට එම ගමන යෑමට බැරි විය. කොවිඩ් 19 පැතිරී යෑමත් දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය තුළ දූෂණ වංචා සිදුවීමත් කොවිඩ් 19 න් පසු රටේ සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් ව්‍යාපාරය කඩා වැටීමත් විදේශවල සිටින ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා නැතිවීම සහ රැකියා තිබෙන අය පවා රටට ඩොලර් නොඑවීමත් නිසා අපි ක්‍රමයෙන් පල්ලම් බැසීමට පටන් ගනිමු. පල්ලම බැහැගෙන බැහැගෙන ගොස් අපේ පස්ස බිම ඇනීමත් සමගම පිට රටින් ගත් ණය වාරික සහ පොලී ගෙවා ගැනීමට අපට බැරිවිය. ඒ නිසා කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළත් නැතත් අපි මැදි ආදායම් ලබන තත්ත්වයේ සිට අඩු ආදායම් ලබන රටක මට්ටමට පත්වුණෙමු. මෙවැනි තත්ත්වයක් තුළදී අපේ රට මැදි ආදායම් තත්ත්වයක සිටින බාගෙට දුප්පත් රාජ්‍යක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලවා නිල ප්‍රකාශයක් කරවා ගතහොත් අපට අඩු පොලියට ණය ලබාගත හැකිය. සංවර්ධනය සඳහා පිට රටවලින් සහනාධාර ලබාගත හැකිය. අධ්‍යාපනය සහ
කුසගින්න වෙනුවෙන් පිට රටින් උදව් ලබාගත හැකිය. මෙසේ ටික කලක් ගතවන විට දූෂණ වංචා වලින් බැහැරව අවංක චේතනාවෙන් කටයුතු කළොත් නැවතත් මැදියම් ආදායම් ලබන රටක් ලෙස රෙජිස්ටර් වීමට අපට අවකාශ ලැබේ. කෙනෙක් සිඟන්නකු වීම විටෙක ලජ්ජාවට කාරණයකි. විටෙක ලාභයකි. සිඟන්නාට ගෙවල් කුලියක් නැත. ඔහුට කෑම ලැබෙන්නේ පිනටය. ඔහු දවසකට රුපියල් හත් අට දහසක් උපදවන නමුදු නීත්‍යනුකූල වැටුප් ලබන ජනයා මෙන් සබජදපැ ඒං ගෙවන්නේ නැත. මේ නිසා යාචකයා සිටින්නේ කිසියම් සහනදායී තැනකය. එහෙත් රටකට දිගටම යාචක තත්ත්වයේ සිටීමට නොහැකිය. එබැවින් ස්වල්ප කලක් අඩු ආදායම් ලබන රටක් ලෙස සිට පුළුවන් ධෛර්යය යොදා නැවත වතාවක් මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පැමිණීමට අපට හැකි නම් අපේ හිඟන පාත්තරයට කවදාවත් හෙනහුරා කඩාවැටෙන්නේ නැත