instagram photo

අජිත් පැරකුම් ජයසිංහ

පිංතූර බොරු කියන්නේ නැත. එසේම, සම්පූර්ණ කතාවම කියන්නේ ද නැත. පිංතූර වනාහි පසුවන කාලයේ වාර්තාකරණයක් හා බාහිර සාක්ෂියක් පමණි.

– පෝල් ඕස්ටර්, ඇමරිකානු ලේඛක හා සිනමා අධ්‍යක්ෂ

චලනය වන සිදුවීම් අතරමැද එක් නිශ්චල ඡායාරූපයක් මත පදනම්ව යථාර්ථය විග්‍රහ කිරීමට උත්සාහ කරන අය ඉහත දක්වන ලද ප්‍රකාශය කෙරෙහි සැලකිලිමත් වන්න.

පසුගිය දිනවල බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හා දුම්රිය මගියකු සිටින ඡායාරූපයක් ගැන බොහෝ විග්‍රහ ලියැවිණි. එහිදී එම තරුණ දුම්රිය මගියා ඇමතිවරයාට ගරු නොකිරීම සම්බන්ධයෙන් ඇතැමෙකු ඔහුට ප්‍රශංසා කළහ.

එහෙත්, එම තරුණයා ඊට මොහොතකට පෙර ඇමතිවරයාට ප්‍රතිචාර දැක්වූ ආකාරය හෝ ඉන්පසු ප්‍රතිචාර දැක්වූ ආකාරය අප දන්නේ නැත.

ඡායාරූපයක ඇති අනෙක් ලක්ෂණය වන්නේ ක්‍රොප් කිරීමේ හැකියාවයි. එනම් පසුබිමෙන් කපා වෙන් කර ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එය ව්‍යාජ සංදර්භයක් නිර්මාණය කිරීමකි.

ඉන්ස්ටග්‍රෑම් හා වෙනත් ඇප් මගින් ඡායාරූපවල වර්ණය විචිත්‍ර කළ හැකිය. එය යථාර්ථය නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංගවලින් ඡායාරූපයක් මුළුමනින්ම පාහේ ප්‍රතිනිර්මාණය කළ හැකිය.

ෆේස්බුක් අවකාශයේ පැහැපත්, නිකැළැල් සුන්දර රූසපුවෙන් යුක්තව දක්නට ලැබෙන අය සැබෑ ජීවිතයේදී හමුවූ විට ඇතැම්විට ඔබට හඳුනාගැනීමට ද දුෂ්කරය.

අප සියලුදෙනා අප කැමැති ආකාරයෙන් යථාර්ථය දකින්නට උත්සාහ කරන්නෙමු. අතීතයේදී මෙන් නොව, සමාජ මාධ්‍ය යුගයේදී අප සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාගත හැකිය. අප කැමති ආකාරයෙන් අපව වැඩි පිරිසක් වෙත ඉදිරිපත් කිරීමට අපට හැකිය. එය අපූරු තත්වයකි.

මෙහි තිබෙන බරපතලම ගැටලුව වන්නේ අප කරන බොරුවලට අන් අය රැවටීම නොව අපම රැවටීමයි.

සමාජ මාධ්‍ය ඉදිරිපත් කිරීම් අතරින් යථාර්ථය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ඥානය ගොඩනගාගන්නට උත්සාහ කරන්න. එය නූතන යුගයේ ජීවන කුසලතාවකි.

ඡායාරූපය තරම් ලස්සන යථාර්ථයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න. එය දේශපාලනයයි.

2 thoughts on “පිංතූර හා යථාර්ථය

  1. Wasantha Obesekara kiwwa mehema deyak .
    ” The real ragety is conflict between the reality and the living reality ! “

  2. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවැටෙමින් තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, ආහාර සුරක්ෂිතතාව, සමාජ සුබසාධනය, මහජන ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, කෘෂිකර්මය යනාදී වූ හැම

    ක්ෂේත්‍රයකම අවුල් වියවුල්ය. දෛනික ජීවිතය නිදහසේ සැනසිල්ලෙන් ගත කිරීම බරපතළ අර්බුදයක් වී තිබේ. ආණ්ඩුව ශක්තිමත් විය යුතු වන්නේ සමස්ත ජනතාවගේ සකලවිධ අවශ්‍යතා සපුරාලීම උදෙසා නිසි කළමනාකරණයක් අවශ්‍ය වන බැවිනි. මේ අරමුණ නිසි ලෙස ඉටුවනුයේ රාජ්‍ය ආයතන පද්ධතියෙහි මුල් පුටුවලට ඒ ඒ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව නිපුණතා ඇති සුදුස්සන් පත් කිරීමෙනි.

    විදුලිය ගාස්තුව වැඩිකිරීම් සාමාන්‍යය සියයට හැත්තෑ පහක් පමණ වන බව කියයි. තෙල් මිල, බස් ගාස්තු, අඩුකොට තිබෙන බව කීවත් එය කිසිසේත්ම ජනතාවට දැනෙන ආකාරයට නොවේ. දේශපාලකයන්ගේ හා නිසි බලධරයන්ගේ අසමත්කමට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ක්‍රමය වෙනස් විය යුතුය කියා අරගලය පැනනැඟුණේ රට පීඩනයෙන් පීඩනයට පත් කරන්නට නොවේ. ජනතා හිතෛෂී පාලන ක්‍රමයක් බිහිවනු දකින්නටය. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඒ වෙනුවෙන් ක්‍රියාවට නැඟේ නම් ඒ සම්බන්ධව යහපත් ජනතා ප්‍රතිචාරයක් ලැබීම ඒකාන්තය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: