සය්ටම්

සී ජේ අමරතුංග

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම ය.

දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්‍රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත.

මෙලෙස පදනම් විරහිත එක් විවේචනයක් නම් මේ සියල්ල 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල බව යි. වාමාංශික ලෙස පෙනී සිටින කණ්ඩායම් එය කියන්නේ 77 ට පෙර සමාජවාදී ලෙස හඳුන්වමින්  ක්‍රියාත්මක රාජ්‍ය ධනවාදය කෙරෙහි ප්‍රේමයක් ඔවුන් තළල ඇති හෙයින් බව පැහැදිලි ය. 77 දී ආර්ථිකය විවෘත කිරීමට පහර ගහන්නේ යළි සංවෘත සහ සමාජවාදී ලෙස පෙන්වන ක්‍රමයක් ප්‍රවර්ධනය උදෙසා ය. කෙසේ වෙතත්, ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු අසත්‍ය ය. ඒ විවේචන මහ  පොළොවේ ඇත්ත සිදුවීම් මගින් ප්‍රතික්ෂේප වෙයි.

එම ප්‍රවාද ගැන සම්පුර්ණ විග්‍රහයක් මෙබඳු කෙටි ලිපියකින් කළ නොහැකි ය. මෙහි අරමුණ වන්නේ එම විවේචන යථාර්ථයෙන් කෙතරම් දුරස්ථ ද යන්න පිලිබඳ කෙටි සරල කරුණු දැක්වීමකි.

මොවුන් කියන්නේ 1977 න් පසු මේ රටේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ බව යි. එහි ප්‍රධාන ලක්ෂණ ලෙස ඔවුන් කියන්නේ රජය අවම කිරීම, එනම් රජය ආර්ථික සංවර්ධනයට ආයෝජන නොකිරීම, සහනාධාර කපාහැරීම, දිළිඳු ජනයා ගැන නොතැකීම ආදිය යි. එමෙන් ම දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය සංවර්ධනය නොකරන බව ද කියති.

මෙම තර්කවල දිගුවක් ලෙස මොවුන් හැමදාම කීවේ නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නට මෙම පාලකයන් ක්‍රියා කරන බව යි.

මේ කතන්දර ගැන දිගු අධ්‍යනයක් කළ හැකි වුවත්, මේවා අසත්‍ය බව තේරුම් ගැනීමට කවුරුත් දන්නා කරුණු ප්‍රමාණවත් ය.

මහවැලි ව්‍යාපාරය යනු මේ රටේ කෘෂිකර්මයේ  මෙන්ම කර්මාන්ත ඇතුළු සමස්ත සංවර්ධනය සඳහා ම කළ දැවැන්ත ආයෝජනයකි. අදත් අපගේ කර්මාහ්තවල තරගකාරීත්වය පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ මහවැලියෙන් ලැබෙන ලාභ  ජල විදුලියෙනි. එය රාජ්‍ය ආයෝජනයකි.

මෙරට කර්මාන්ත වේගයෙන් සංවර්ධනය වුයේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමෙනි. දැන් එය ආර්ථිකයේ පිට කොන්ද බවට පත්ව ඇත. කටුනායක පටන්ගත් මෙම කරමාන්ත කලාප බියගම, කොග්ගල , සීතාවක වශයෙන් පසුව ව්‍යාප්ත කෙරිණි මේ සියල්ලට යටිතල පහසුකම් සැපයීම රාජ්‍ය ආයෝජනයකි. එමෙන් ම එම ආර්ථිකයට අවශ්‍ය ලෙස ගුවන් තොටුපළ වරාය ආදී අනෙක් පහසුකම් ද සංවර්ධනය කළේ රාජ්‍ය ආයෝජන මගිනි.

1977 වන විට මේ රටේ ජලය සහ විදුලිය පහසුකම් තිබුණේ නගරවල පමණකි. විදුලිය බෙදාහැරීම කළේ නගර සභා මගිනි. දැන් ඈත ගම්වල ජනයා තම අයිතියක් ලෙස ජලය සහ විදුලිය ඉල්ලති.

මාර්ග සංවර්ධනය ද එම කාලයේ වේගවත් වීය. මාර්ග කාපට් කරන්නට පටන්ගත්තේ එකල ය.අලුත් මාර්ග ඉදිකරනු ලැබී ය. වම එදා කීවේ මේවා වැඩකට නැති වියදම් බව යි.

මෙලෙස ආර්ථික සංවර්ධනයට අවශ්‍ය බොහෝ පහසුකම් රාජ්‍ය ආයෝජන ලෙස සංවර්ධනය කෙරිණි.

මෙහි දී අවම රජයක් පිලිබඳ අදාහසක් වත් නොතිබූ අතර වාමාංශික කියාගන්නා උදවිය කියන නව ලිබරල්වාදයක් නම් දක්නට ලැබුණේ නැත.

නිදහස් අධ්‍යාපනය විනාශ කරන කතාව ගැන බැලුවහොත් පෙනෙන්නේ මෙම කාලය තුළ අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ක්‍රියා කර ඇති ආකාරය යි. 77 දී මෙරටේ තිබුණේ මණ්ඩප පහකින් යුතු එක් සරසවියකි, පේරාදෙණිය, කොළඹ, විද්‍යෝදය, විද්‍යාලංකාර, කටුබැද්ද පැවතියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙනි. යාපනය සහ මාතර සරසවිවලින් පටන්ගෙන දැන් සරසවි 17 ක් තිබෙන්නේ ඊනියා වාමාංශිකයින් කියන පරිදි නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ ප්‍රතිඵල ලෙස ද යන්න ප්‍රශ්න කළ යුතු ය. වෛද්‍ය , ඉංජිනේරු ,තාක්ෂණ ආදී නව පීඨ රාශියක් අලුතින් පටන්ගෙන ඇත.

විද්‍යා පීඨ පටන්ගත්තේ නවසිය අසු ගණන්වල දී ය. තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය ගැන ද ඇත්තේ එබඳු ම වාර්තාවකි.

දැන් ආර්ථිකය හොම්බෙන් යද්දී ජනාධිපති රනිල් ඉදිරිපත් කොට ඇති අයවැයට ආර්ථික විද්‍යාඥයින්ගේ එක් විවේචනයක් නම් අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට මුදල් වෙන් කිරීම ය.

නිදහස් සෞඛ්‍යය අහෝසි කරනවා කියූ කාලයක කරාපිටිය, ජයවර්ධනපුර රෝහල් ආරම්භ කළා පමණක් නොව පැවති රෝහල් සංවර්ධනය කිරීමට ද කටයුතු කොට ඇත. මෙම කාලය තුල සෞඛ්‍යය පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ අති විශාලය .

සහනාධාර කපනවා කියන රජයක් ජනතාවට නිවාස සැපයීමට ගම් උදාව වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බවත්, ජනසවිය ආරම්භ කළ බවත් අමතක කළ හැකි ද ?

පාසල් දරුවන්ට නොමිලේ පොත් දෙන්න පටන්ගත්තේ ජේ ආර් ය. මතකයේ හැටියට නොමිලේ නිල ඇඳුම් දුන්නේ ප්‍රේමදාස ය. සහනාධාර කපනවා ය කියා වාමාංශික යැයි කියාගන්නා උදවිය කියද්දී ඇත්තට ම ක්‍රියාත්මක වුයේ එබඳු වැඩ සටහන් ය.

මෙබඳු තවත් බොහෝ දේ කිව හැකිය. නමුත් මිථ්‍යාදෘෂ්ටික සමාජවාදීන්ගේ ආර්ථික මිථ්‍යා මත තේරුම් ගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් ය.

එබැවින් අපට අහන්නට වන්නේ මේක මොන නව ලිබරල්වාදයක් ද යනුවෙනි. අද රට අමාරුවේ වැටී තිබෙන්නේ ඊනියා නව ලිබරල්වාදයක් නිසා නොව රටට දරාගත නොහැකි තරමට රාජ්‍ය වියදම් සහ සහනාධාර වැඩි කර ගැනීම නිසා ය. බොරු ‘සමාජවාදී’ වීම නිසා ය.

මෙයට බොරු විවේචන ඉදිරිපත් කිරීමෙන් වන්නේ ආර්ථික විනාශයේ ඇත්ත තේරුම් ගැනීමට නොහැකි වන සේ අවුලක් නිර්මාණය කිරීම යි. එමෙන් ම ආර්ථික ඝාතනයේ ඇත්ත වගකිව යුත්තන් අනියමින් රැකීමක් ද එමගින් සිදුවෙයි.

එබැවින් මෙම ඊනියා වාමාංශික විවේචකයන්ට අවවාද කළ යුතු වන්නේ ‘පච වපුරා සමාජවාදය නෙළාගත නොහැකි’ බව පෙන්වා දෙමිනි.    

1 thought on “පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

  1. . නමක් සැප දෙන්නේ කනට ය. ලස්සන නමක් ඇහෙනවිට කන නමැති ඉන්ද්‍රිය මාර ෆන් එකක් ගනී. කෙසේ වුවද මේ රටේ ලස්සන නම් තිබෙන තරුණ සිසුන් වැඩිදෙනා අමුම කුඩ්ඩෝ ය. මෙයට අවුරුදු තිහකට පෙර මදනමෝදකය කා කිරි එකක් බී හෝ ගංජා සුරුට්ටුවක් ගසා මස්කට් කෑල්ලක් අනුභව කර ෆන් ගත් ශිෂ්‍ය පරම්පරාවේ නූතන සෙට් එක කෙළින්ම ගහන්නේ අයිස් ය. අයිස් යනු රසායන විද්‍යාව විසින් පහළ කරන ලද වඩාත් ම දරුණු මත්ද්‍රව්‍ය වේ. මෙය ඕනෑම රටක ජනගහන ප්‍රශ්නයට විසඳුමක් කරගත හැකිය. ගංජා, හෙරොයින්, කොකේන් වැනි දේවල් දිගින් දිගට ම ගහන එකා අවුරුදු දෙකෙන් මැරේ නම් අයිස් ගහන එකා මාස නවයෙන් පරලොව යයි. මෙයට ශත වර්ෂ එකහමාරකට පමණ පෙර ව්‍යාප්තවාදී බටහිර අධිරාජ්‍යවාදීන් විසින් යටත් විජිතවල කලබගෑනි ඇතිකොට ඒ රටවල ජනයා දුර්වල මිනිසුන් කරනු පිණිස නොමිලේ ම මත් ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙළක් තිබිණ. අද වනවිට ඒ වැඩපිළිවෙළ අධිරාජ්‍යවාදී ආණ්ඩු වෙතින් ගිලිහී කෙළින්ම බිස්නස්කාරයන් අතට ගොස් ඇත. ඒ නිසා විදේශික සහ විජාතික ආක්‍රමණිකයාට වඩා ව්‍යක්ත ලෙසත් අනර්ඝ ලෙසත් මත්ද්‍රව්‍ය බෙදා හැරීම ලෝකය පුරා සිදුවෙයි. ක්‍රි.ව.1500 සිට ක්‍රි.ව.1900 පමණ දක්වා ශ්‍රී ලංකාව ඇතුළු යටත් විජිත ගණනාවක්ම පාලනය කරන ලද්දේ යුරෝපීය වෙළෙඳ සමාගම් කිහිපයක් විසිනි. එසේ ලංකාවට පැමිණි පළමුවන වෙළෙඳ සමාගම පෘතුගීසි සමාගමකි. මුහුදුබඩ අල්ලාගත් ඔවුහු ඒ ප්‍රදේශවල සිටි ජනයාට හරක් මස් ගිල්ලවා බ්‍රැන්ඩි පොවා හැළි අරක්කු පෙරාගත හැකි තරමට උදව් කළේය.

    ඊළඟට මෙහි පැමිණි ඕලන්ද වී.ඕ.සී වෙළෙඳ සමාගම එම තත්ත්වය වැඩි දියුණු කළේය. ඉංග්‍රීසි ආණ්ඩුව ද මේ රට අල්ලාගත් පසු පාලන කටයුතු කළේ විශාල සිල්ලර කඩයක් විසින් රටක් පාලනය කරන ආකාරයට මිස උසස් ආක්‍රමණික ආණ්ඩුවක් විසින් තවත් ආණ්ඩුවක් පාලනය කරන ලෙස නොවේ. මේ සියලු කරුණු නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ජාතික මත්ද්‍රව්‍ය වූකලී අරක්කු හෝ කසිප්පු නොව අයිස්ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: