Marxists

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022-01-16

ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය හුදෙක්ම ආර්ථිකයට සීමාකරන්නට බැහැ. එය සමාජ දේශපාලන අර්බුදයක්. සංස්කෘතික අර්බුදයකුත් එහි තිබෙනවා. විසඳුම් සාකච්ඡා කරනකොට, යෝජනා කරනකොට මේ කාරණාත් වැදගත් වෙනවා.

අර්බුදය ගැන විවිධ සමාජ කණ්ඩායම් අතර විවිධ සාකච්ඡා තිබෙනවා. ඒ සාකච්ඡාකරුවන් අතර ප්‍රධාන ධාරා දෙකක් පවතින බව අපි මීට පෙර ලිපියක පෙන්වාදුන්නා. එනම්, ආර්ථික ජාතිකවාදීන් හා ආර්ථික ජාත්‍යන්තරවාදීන් වශයෙන්. එය තරමක් වියුක්ත බෙදීමක් නිසා මෙම ආර්ථික ජාත්‍යන්තරවාදීන් සම්බන්ධයෙන් වඩාත් සංයුක්ත කියවීමක් කරන්නට මෙම ලිපියෙන් අදහස් කරනවා.

ජාත්‍යන්තරවාදය වාමාංශික වාංමාලාවෙන් පැවත එන වචනයක් හා සංකල්පයක්. ධනවාදී දෘෂ්ටිවාදීන් ඒ හා ආසන්න අදහස් විදියට භාවිතා කරන්නේ ගෝලීයකරණය වැනි සංකල්පයි. නිෂ්පාදනය සම්බන්ධයෙන් සලකා බැලූ කල ගෝලීය නිෂ්පාදන ජාල වැදගත් වෙනවා. ගෝලීය නිෂ්පාදන දාමයකට උදාහරණයක් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ පවසනවා:

බොහෝ ඇපල් නිෂ්පාදන සැලසුම් කර තිබෙන්නෙ එක්සත් ජනපදයේ හෝ ඊශ්‍රායලයේය. ඒවා එකලස් කරනු ලබන්නේ තායිවානයට අයත් ෆොක්ස්කොන් කම්හල්වලය. එය පිහිටා තිබෙන්නේ චීනයේ හා වෙනත් තැන්වලය. iPhone 6 උපාංග නිෂ්පාදනය කරනු ලැබුවේ නැගී එන ආර්ථිකයන් 31ක නිෂ්පාදන පහසුකම් 815කය. ඒවා නම්, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, කොස්ටාරිකා, පුවර්ටෝ රිකෝ, මොරොක්කෝ, මෝල්ටා සහ බ්‍රසීලය යන ආසියා, යුරෝපා හා උතුරු ඇමරිකා මහාද්වීපවලට අයත් රාජ්‍යයන්ය. iPhone 6 අවසන් නිෂ්පාදන පිරිවැය විශ්ලේෂණයෙන් දක්නට ලැබෙන්නේ සෑම රටක් විසින්ම ග්‍රහණය කරගෙන තිබෙන්නේ ඉතා කුඩා වටිනාකමක් බවයි. උදාහරණයක් ලෙස, iPhone 6 එකලස් කරන චීනයේදී සිදුකරනු ලබන වටිනාකම් එකතු කිරීම එක් දුරකථනයක් වෙනුවෙන් ඩොලර් 10ක් පමණි. එහෙත්, මහා පරිමාණ මෙහෙයුම හේතුවෙන් එය කැපීපෙනෙන ආදායමකට දායක වෙයි.   

මහාචාර්ය රොහාන් සමරජීව මෙන්ම අතීත වාමාංශික උරුමයක් ඇති හා දැනටත් තමන් වාමාංශිකයන් ලෙස හඳුන්වාගන්නා පිරිසක් ද ලංකාවේ හා ලෝකයේ තත්වය පිළිබඳ බැලූ බැල්මට වාමාංශික ලෙස නොපෙනෙන පර්යායන් ඉදිරිපත් කරනවා. බිහිදොර වෙබ් අඩවිය පවත්වාගෙන යන අලුත් කතාබහ නම් සංවාද මණ්ඩපය එවැනි කණ්ඩායමක්. එය පසුගිය අවුරුදු දෙකක් පමණ කාලයක් තිස්සේ මෙම සංවාදය පවත්වාගෙන යනවා. එම කණ්ඩායමේ සිටි බොහෝදෙනෙකු 2015-19 සමයේ යහපාලන රජයට පිටතින් සිටිමින් උපකාර කළ අයයි.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් ද ඉදිරිපත් කරන ලද සමාජ වෙළඳපොළ සංකල්පය අගය කරමින් අලුත් කතාබහ වෙනුවෙන් හර්ෂ ගුණසේන මෙසේ පවසනවා:

සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත්වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිළියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව විසින් අයකරන බදු අඩුකිරීම මගින් ජනතාව අතට මුදල් ලැබීම මගින් භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩිවී ඒ මගින් ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා වන වැඩපිළිවෙලයි.

සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ප්‍රථම වතාවට භාවිතාවේ යෙදුවේ 1949දී බටහිර ජර්මනිය විසින් එහි චාන්සලර් කොන්රඩ් ඇඩිනෝර් යටතේය. මෙම ආර්ථික ක්‍රමය නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයටත් සමාජවාදී එනම් මධ්‍යගතව පාලනය වන ආර්ථික ක්‍රමයටත් අතරමැද විකල්ප ක්‍රමයක් ලෙස හඳුන්වාදෙන ලදී. සමාජයේ ජීවත්වන පුරවැසියන්ගේ සමාජ සහ ආර්ථික සුබසාධනය තහවුරු කිරීම මෙම ආර්ථික ක්‍රමයේ මූලික අරමුණයි (ආර්ථිකය පිලිබඳ ආකෘති, හර්ෂ ගුණසේන)

මෙම ධාරාව නව ලිබරල්වාදී ලෙස අර්ථ දැක්වීම පිළිබඳ අලුත් කතාබහ වෙනුවෙන් සී.ජේ. අමරතුංග මෙසේ පවසනවා.

නව ලිබරල් ලෙස ඔවුන් හඳුන්වන ආර්ථික ක්‍රමයේ දුෂ්ට ලක්ෂණ ලෙස ඔවුන් හඳුනාගන්නා කරුණු ද වැදගත් ය. පළමුවැන්න රජය ආර්ථික කටයුතුවලින් ඉවත් වීමයි. රජයේ ආයෝජන සීමා කරමින් (නොකරමින් ) රජය කුඩා කිරීම යි. දෙවැන්න සුබසාධන කපා හැරීමයි. සහනාධාර අවශ්‍යම අයට සීමා කිරීම යි (සේෆ්ටි නෙට්). තෙවැන්න, වෙළෙඳපොළ නිදහස් කිරීමයි. එනම් රජයේ පාලනයෙන් වෙළෙඳපොළ නිදහස් කිරීම යි. මෙබඳු තවත් ලක්ෂණ මෙම ආර්ථික ප්‍රතිපත්තිය ට ඇත.

මෙහි දී සැලකිල්ලට ගත යුතු කාරණයක් නම් ‘නව ලිබරල්වාදය’ යැයි දර්ශනයක් කිසිදු දාර්ශනිකයකු විසින් ඉදිරිපත් කොට නැති බවයි.  මෙම යෙදුම බහුලව යොදා ගැනෙන්නේ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් 1979  සිට සහ ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් 1981 සිට ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හැඳින්වීමට යි. එම යෙදුම වැඩි වශයෙන් භාවිත කරන්නේ එම රටවල වාම ව්‍යාපාර විසිනි.

රේගන්ගේ සහ තැචර්ගේ ප්‍රතිපත්ති සඳහා ආර්ථික විද්‍යා න්‍යායික පදනම සපයන ලද්දේ ෆෙඩ්රික් වොන් හායෙක් සහ පසුව මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස් වලිනි. හායෙක්ගේ සහ ෆ්‍රීඩ්මන් ගේ අදහස් කොතරම් දුරකට සහ කොතරම් කාලයක් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාත්මක වුයේ ද යන්න ප්‍රශ්නයක් වුව ද , තැචර් සහ රේගන් සහ තවත් අය එම අදහස් වෙනුවෙන් පෙනී සිටිය හ. ක්‍රියාත්මක කළහ.

“නව ලිබරල්වාදය“ ලෙස හඳුන්වනු ලබන මෙම දර්ශනයට එරෙහිවන සහ එය දෝෂ දර්ශනයට ලක් කරන බොහෝ දෙනා එමගින් තමන් පක්ෂ වන්නේ කුමකට දැයි නොකියති.  ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ නම් විවාදය පවතින්නේ හායෙක්වාදය සහ කේන්ස්වාදය අතර ය. කේන්ස්වාදය යනු ජෝන් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ දර්ශනය යි. සමාජවාදය යනු සියල්ල රජයට පවරාගැනීම යැයි විශ්වාස කරන වාමාංශිකයන්ට යම් සහනයක් වන අදහස් කේන්ස්වාදය තුළ තිබිණි.

කේන්ස් ආර්ථික විද්‍යාවට කළ ප්‍රධාන දායකත්වය නම් රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික අර්බුද සමනය කිරීමේ හැකියාව පෙන්වා දීම යි. රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික වර්ධනය ඇතිකළ හැකි බවත් , රජය තමන් අතේ නැති මුදල් ණයට ගෙන වියදම් කළ යුතු බවත්, මෙම දර්ශනයෙන් නිර්දේශ කෙරිණි. එමෙන් ම රජයේ අයවැය ලේඛනවල අයවැය හිඟයක් පැවතීම යහපත් ය යන්න ද එම ආර්ථික විද්‍යාඥයාගේ අදහසකි.

හායෙක් කීවේ කේන්ස්ගේ අදහස් කිසිවෙකු වැරදි ලෙස භාවිත කළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවයි. එම අදහස විශේෂයෙන් වැදගත් වන්නේ අපගේ අර්බුදයට එය ඉතාමත් අදාළ වන නිසා ය (මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි, සී.ජේ. අමරතුංග).

නව ලිබරල් ලෙස හැඳින්විය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් මෙරට කිසි දා ක්‍රියාත්මක නොවූ බව පවසන අලුත් කතාබහ සංවාද මණ්ඩපය පවසන්නේ ලංකාව මේ මොහොතේ මුහුණදෙමින් සිටින අර්බුදයට හේතුව කේන්ස්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම බවයි. එයට සාක්ෂි ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ආයතන 527 ක් 2006 න් පසු ලබා ඇති පාඩුව රුපියල් බිලියන 1,200ක් බව පෙන්වා දෙන අලුත් කතාබහ ලංකාවේ ගැටලුව ලිබරල් වීම නොව අවශ්‍ය පමණට (අන්තවාදී නොවන ලෙස) නව ලිබරල් නොවීම හා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පවා නොකිරීම බව පෙන්වා දෙයි.

මහජනයාගේ ආරක්ෂාව, නිදහස් පැවැත්ම, සමාජ සුබසාධනය, පරිසර සංරක්ෂණය සහ සැමට සමාන අවස්ථා සැපයීමේ වගකීම රජය විසින් ඉටු කරනු ලබන්නා වූ , නිදහස්, තරඟකාරී, නීති ගරුක, සදාචාරාත්මක, කාර්යක්ෂම  වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාවට නැගීම මගින් සමස්ත ජනතාවට ඉහළ සුරක්ෂිත ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා වන මැද මාවතේ ආර්ථික දැක්මක් වෙනුවෙන් පෙනී සිටින මෙම වාමාංශික සම්භවයක් සහිත කණ්ඩායම ඍජුවම සමාජ වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිනවා.

ආර්ථිකයේ විශාල ඉඩකඩක් අත්කරගෙන ඇති රජය යටතේ ඇති අකාර්යක්ෂම ආයතන රජය යටතේම තබා ගෙන රජයේ ඇඟිලිගැසීම් වලින් තොරව පවත්වාගෙන ගොස් ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතුය. වඩාත් ප්‍රශස්ථ වන්නේ  ඒවා විනිවිදභාවයකින් යුතුව ඉතාම වැඩි ලංසුවට පෞද්ගලීකරණය කිරීමයි. කළ යුත්තේ රටේ භෞතික සම්පත් රජය යටතේ තබාගැනීම නොව වඩාත් ප්‍රශස්ථ ආර්ථික වෘද්ධියක් සඳහා යෙදවීමයි.  රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කර, අතිරික්ත සේවකයන් ඉවත් කර, සිටින සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතුය. රටේ නීති පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉක්මන් විය යුතුවාක් මෙන් සාධාරණ විය යුතුය. දූෂණය අවම කල යුතුය. රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතරේ බෙදී යා යුතුය.මෙය බදු ක්‍රමය හරහා සිදු කළ හැක.

එමෙන්ම රජය අව වරප්‍රසාදිත කොටස් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. නියාමනයකට යටත්වූ පෞද්ගලික ව්‍යවසාය වේගවත් කාර්යක්ෂම ආර්ථික සංවර්ධනයකට මග පාදයි. ඔවුන්ට ඇති සමාජ පිළිගැනීම වර්ධනය කළ යුතුය. එමෙන්ම රාජ්‍ය යන්ත්‍රය කුඩා කිරීම මගින් ජනතාවගේ බදු බර ද අඩුවේ. රටපුරා තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම මගින් සංවර්ධනය රටපුරා ව්‍යාප්ත වේ. භාණ්ඩ සහ සේවාවල ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ තිබිය යුතුය. සුරැකුම්පත් මත පමණක් ණයදෙන වාණිජ බැංකු සංකල්පයෙන් බැහැරව ව්‍යපෘති වාර්තාවන්හි ඇති ශඛ්‍යතා අනුව ණය ලබා දෙන සංවර්ධන බැංකු ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. (අපේ ආර්ථික දැක්ම, අලුත් කතාබහ)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: