Lalith Athulathmudali-1

ලලිත් ඇතුලත්මුදලි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ශ්‍රී ලංකාව: ඉදිරි මාවත” යන තේමාව යටතේ ලලිත් ඇතුලත්මුදලි සමරු නිදහස් දේශනය අද පස්වරු 5.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකිරීමට නියමිතයි.

ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය පිළිබඳ ආයතනය සහ ශ්‍රී ලංකාව සඳහා වන ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම සංවත්සරය නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබෙනවා. මීට වසර 30කට පමණ පෙර 1993දී කිරුළපන පැවති දේශපාලන රැලියකදී නාඳුනන තුවක්කුකරුවකු විසින් ඇතුළත්මුදලි මහතා වෙඩිතබා ඝාතනය කරනවා.

ලලිත් ඇතුලත්මුදලිගේ පියා වන දොන් ඩැනියල් ඇතුලත්මුදලි 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයායි. 1947 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ආසනය සඳහා තරග වැදුණු ඩී.ඩී. ඇතුලත්මුදලි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් තරග කළ විල්මට් පෙරේරාට පරාජය වුණා. ඩැනියල් ඇතුලත්මුදලිගේ පුත්‍රයා වුණු ලලිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයෙකු වුණ නිසා 1955 වසරේදී ඔහුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට පියා තීරණය කළා. ඔක්ස්ෆර්ඩ්හිදී ලලිත් ඇතුලත්මුදලි ඉතාමත් හොඳින් අධ්‍යයන කටයුතුවල නිරත වුණා. 1957 වසරේදී ඔහු ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වුණේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින්.

එහෙත්, 1958 වසරේ නොවැම්බර් 10 ලලිත් ඇතුලත්මුදලිගේ පියා මිය යාමත් සමගම ඔහුගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අපහසු වාතාවරණයක් උදා වුණා. ඒ නිසා ඔහු එවකට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හමුවී තම ගැටලුව කිව්වා. ඔහුට අවශ්‍ය වුණේ රෝඩ්ස් නම් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන්නටයි.

එහෙත්, 1959 වසරේ පෙබරවාරි 24 වැනිදා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක මහතා විසින් ඇතුලත්මුදලි සිසුවාගේ දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5,000ක මුදලක් වෙන් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා. ඉන් පසුව එම යෝජනාව සම්බන්ධ විවාදයේදී සමසමාජ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනාවට විරුද්ධ වුණ බව වාර්තා වෙනවා. කොමියුනිස්ට් පක්ෂය නිහඬව සිටියා. එහෙත්, එවකට ආණ්ඩු පක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සහ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂ වූ නිසා යෝජනාව වැඩි ඡන්ද 20කින් සම්මත වුණා.

1977දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද ආණ්ඩුවේ රත්මලාන මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළඳ, වරාය හා නාවික, ආරක්ෂක, කෘෂිකර්ම වැනි ප්‍රබල ඇමති තනතුරු රැසක් දැරුවා. ඔහු රටට වැදගත් නීති සංශෝධන රැසක් හඳුන්වාදීමට මුල් වුණා. ඒ අතර, ඒ වන විට වසර 40ක් පැරණි සමාගම් නීතිය සංශෝධනය කිරීම, බුද්ධිමය දේපළ නීතිය, අපනයන සංවර්ධන නීතිය, පාරිභෝගික ආරක්ෂක පනත හා වරාය අධිකාරිය පිහිටුවීමේ පනත තිබෙනවා. ඉතා පසුපසින් පැවති වරායක් වන කොළඹ වරාය ලොව ප්‍රධාන වරායන් 25 අතරට ගෙන ඒමට ඔහු කටයුතු කරනවා. එදා ඔහුට අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට මෙරට මහජනතාවගෙන් ලැබුණු අනුග්‍රහයට ගෞරව පිණිස ඔහු වැනි දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළා.

වෙළඳ ඇමතිවරයා කටයුතු කළ ඔහු ලෙස මහපොළ නමින් ආරම්භ කරන ලද වෙළඳ ප්‍රදර්ශනයේ ආදායමෙන් තමයි මහපොළ ශිෂ්‍යත්වයට පදනම වැටුණේ. 1981 වසරේ ඔක්තෝබර් 6 වැනිදා අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. 1981/82 අධ්‍යයන වර්ෂයේ සිටම මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ක්‍රියාත්මක වුණා පසුව. මහපොළ අරමුදල වෙනුවෙන් ලොතරැයියක් ද හඳුන්වා දෙනු ලැබුවා. රුපියල් දෙකකට අලෙවි කරන ලද එම ලොතරැයිය නිකුත් කරනු ලැබුවේ මහපොළ ප්‍රදර්ශන භූමියට ඇතුල්වීම සඳහායි. ප්‍රදර්ශනය අවසානයේදී ලොතරැයි දිනුම් ඇඳීමක් සිදු කර ත්‍යාග ප්‍රදානයක් ද සිදු වුණා. 1981දී ශිෂ්‍යත්ව 422කින් ආරම්භ වූ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය යටතේ දැන් සිසුන් 15.000කට වැඩි පිරිසක් හැම වසරකම ප්‍රතිලාභ ලබාගන්නවා.

1987දී ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී මාරාන්තික තුවාල ලබන ඇතුලත්මුදලි මහතා අසීරුවෙන් ජීවිතය ගලවාගන්නවා.

1991දී එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එරෙහි දෝෂාභියෝගයලලිත් ඇතුලත්මුදලි මහතා මුල්වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ නොකරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටිද්දීයි. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ලලිත් හා ගාමිනී දිසානායක යන එජාප ජ්‍යේෂ්ඨයන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් අගමැති තනතුර ලබා නොදීම නිසා මේ දෙදෙනාම සිටියේ කලකිරීමෙන්. දෝෂාභියෝගය අසාර්ථක වීමෙන් පසු ලලිත් හා ගාමිනී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රාජාලියා ලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවාගෙන එවකට ප්‍රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙක හමුවේ තුන්වන බලවේගයක් නිර්මානය කරනවා.

1993 අප්‍රේල් 23දා කිරුළපන පැවති දේශපාලන රැස්වීමකදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කරනවා. එම තුවක්කුකරුවා ද ඝාතනයට ලක්වන අතර මෙම අපරාධය තවමත් නොවිසඳුණු අභිරහසක්.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දේශපාලන දැක්ම වන ශ්‍රී ලාංකික ජාතිකවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ අඩු වරප්‍රසාද ලත් ජනතාව සඳහා ආරක්ෂිත දැලක් සහිත වෙළඳපොල ආර්ථිකය අදටත් ඉතා වැදගත්.