රොහාන් සමරජීව විසිනි
යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, 2025 මැයි මාසයේදී, ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය. එමෙන්ම ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්ත විරෝධී නීති මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ද එම ක්‍රියාකාරී කණ්ඩායම දැනුවත් කළේය. ජී.එස්.පී. ප්ලස් (GSP+) වෙළඳ මනාප හරහා ශ්‍රී ලංකාවට යුරෝපා වෙළඳපොළ වෙත අඛණ්ඩව ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයේදී මෙම කණ්ඩායමේ නිර්දේශයන්ට සුවිශේෂී වැදගත්කමක් හිමි වෙයි. ට්‍රම්ප් තීරුබදු සහ ඩිට්වා (Ditwah) සුළි කුණාටුවේ විපාක හමුවේ යුරෝපා වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්තමානය වන විට වඩාත් වැදගත් වී තිබේ.
රජයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත (PTSB) පිළිබඳව ඇති වී තිබෙන කලකිරීමට හේතු රැසක් පවතී. ඉන් එකක් වන්නේ රජය ලබා දී ඇති පරම පොරොන්දු උල්ලංඝනය නොවන අයුරින් කෙටුම්පතක් සකස් කිරීමට කෙටුම්පත් කමිටුව අසමත් වීමයි. මැතිවරණ මෙහෙයුමකදී සහ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ලබා දෙන පොරොන්දු කඩ කිරීම එක් කරුණකි. එහෙත්, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා පැවැත්වීමේදී අසත්‍ය ප්‍රකාශ කිරීමේ ප්‍රතිවිපාක පවතින බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත්දැකීමෙන් දැනගත්තේය. සාකච්ඡා සම්මුතීන්වලදී රජය සිදුකරන වැරදි සහගත ක්‍රියාවන් සඳහා වන්දි ගෙවීමට සිදුවන්නේ මෙරට පුරවැසියන්ටය. මීට පෙර ද යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් (GSP+) මනාපය ඉවත් කර තිබේ.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය සහ එහි දක්වා ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳව කමිටුව නොසලකා හැරීම තවත් කලකිරීමට කරුණකි. ත්‍රස්තවාදය හා සම්බන්ධ නීතිවලින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටීමේ සෘජු අත්දැකීම් ඇති ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක්, දැනට පවතින දෝෂ සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) වඩා සුළු වශයෙන් පමණක් යහපත් වූත්, එහෙත් අලුතින් අහිතකර විධිවිධාන රැසක් ඇතුළත් කළා වූත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම විශාල අපේක්ෂා භංගත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයට සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව වර්තමාන ත්‍රස්තවාදයේ යථාර්ථය හඳුනාගත් විකල්ප විසඳුම් කෙරෙහි ද කමිටුවේ අවධානය යොමු නොවීම කණගාටුදායකය. කමිටු කටයුතු ආරම්භයේදීම මෙවැනි විසඳුම් එහි සභාපතිවරයා වෙත යෝජනා කර තිබිණි.
ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වීම
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යනු මෙම ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන් දක්වන මූලික ලේඛනයයි. ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දින මෙයට අත්සන් තැබුවේය. එහි ඇතැම් කොටස් මෙරට නීතියට ද ඇතුළත් කර තිබේ. එම නිසා, එය නීතියේ ස්වභාවය මැනිය හැකි හොඳ මිම්මක් (yardstick) වෙයි.
| ICCPR 9 වගන්තිය | 2025 PTSB පනත් කෙටුම්පත |
| 1. සෑම පුද්ගලයෙකුටම නිදහස සහ පෞද්ගලික ආරක්ෂාව සඳහා අයිතියක් ඇත. කිසිවෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමකට හෝ රඳවා තබා ගැනීමකට ලක් නොකළ යුතුය. නීතියෙන් නියම කර ඇති පටිපාටියකට අනුකූලව මිස කිසිවෙකුගේ නිදහස අහිමි නොකළ යුතුය. | මෙම නීතිය පැනවුවහොත්, 9 වැනි වගන්තියේ අන්තර්ගතය සහ හරය උල්ලංඝනය වන නීතියක් යටතේ වුවද, සිදුකරන සෑම දෙයක්ම නියමිත පටිපාටියට අනුකූලව සිදුවන බව රජයට ප්‍රකාශ කළ හැකිය. |
| 2. අත්අඩංගුවට ගනු ලබන ඕනෑම අයෙකුට, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු ඒ අවස්ථාවේදීම දැනුම් දිය යුතු අතර ඔහුට එරෙහි චෝදනා පිළිබඳව වහාම දැනුම් දිය යුතුය. | PTSB කෙටුම්පතේ 21 වැනි වගන්තිය මීට අනුකූල වේ. 25 වැනි වගන්තිය මඟින් ළඟම ඥාතීන් දැනුවත් කිරීම අවශ්‍ය වේ. |
| 3. අපරාධ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් හෝ රඳවා තබා ගත් ඕනෑම අයෙකු වහාම විනිසුරුවරයෙකු (Judge) හෝ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බලය ලත් වෙනත් නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම සාධාරණ කාලයක් තුළ නඩු විභාගයකට හෝ නිදහස් කිරීමට ඔහුට අයිතියක් තිබිය යුතුය. | 29 වැනි වගන්තිය මඟින්, දේශපාලන වගවීමෙන් බැහැර වූ, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ආරක්ෂක ලේකම්වරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ලබා දෙයි. 26 වැනි වගන්තිය මඟින් මහේස්ත්‍රාත්වරයා නාමික පුද්ගලයෙකු බවට පත් කරයි: 29 වැනි වගන්තිය යටතේ නිකුත් කළ රැඳවුම් නියෝගයක් පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ විට, මහේස්ත්‍රාත්වරයා එය බලාත්මක කළ යුතුය. 27 වැනි වගන්තියේ වධහිංසාවට එරෙහි ආරක්ෂක විධිවිධාන තිබුණද, රැඳවුම් නියෝගයක් බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නැත. |
| 4. අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම මඟින් නිදහස අහිමි වූ ඕනෑම අයෙකුට, එම රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රමදයකින් තොරව තීරණය කරවා ගැනීමටත්, එය නීති විරෝධී නම් නිදහස් කිරීමට නියෝග ලබා ගැනීමටත් අධිකරණය හමුවේ නඩු පැවරීමට අයිතිය ඇත. | 29 වැනි වගන්තිය යටතේ රඳවා තබා ගන්නේ නම් මෙය අදාළ නොවේ. බොහෝ විට භාවිත වනු ඇත්තේ මෙම ක්‍රමයයි. |
| 5. නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමකට හෝ රඳවා තබා ගැනීමකට ලක් වූ ඕනෑම අයෙකුට වන්දි ලබා ගැනීමට බලාත්මක කළ හැකි අයිතියක් තිබිය යුතුය. | PTSB යටතේ එවැනි අයිතියක් නැත. රම්සි රාසික් ICCPR පනත යටතේ සිදු කරන ලද වැරදි අත්අඩංගුවට ගැනීමක් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් හරහා වන්දි ලබා ගත්තේය. |
වෙනත් අඩුපාඩු පැවතියද, මහේස්ත්‍රාත්වරයාට තමා ඉදිරියට පමුණුවන රැඳවුම් නියෝගයක් අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට අභිමතය ලබා දෙන්නේ නම්, මෙය ICCPR සම්මුතියට අනුකූල බව ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබේ.
ත්‍රස්තවාදය නිර්වචනය කිරීම
ත්‍රස්තවාදය නිර්වචනය කිරීමට උත්සාහ කිරීමේ නිෂ්ඵලභාවය සහ අතිශය පුළුල් නිර්වචනවල පවතින අනතුරුදායක බව අපි කමිටුව වෙත කළ කරුණු ඉදිරිපත් කිරීමේදී පෙන්වා දුන්නෙමු. ඒ වෙනුවට, නීතිඥ අර්මීසා ටීගල් විසින් ඉදිරිපත් කරන ලද විසඳුම අපි යෝජනා කළෙමු. එනම්, වෙනත් නීතිවල සඳහන් ත්‍රස්තවාදී විෂය පථයට අයත් දැනට පවතින වැරදි සඳහා අදාළ වන පටිපාටිමය ව්‍යතිරේකයන් සැපයීමට පමණක් මෙම නව පනත සීමා කිරීමයි.
ආයුධ සම්බන්ධ 1966 නීතිය, ගුවන් යානා, ගුවන්තොටුපොළ සහ සමුද්‍රීය ප්‍රවාහනයට අදාළ වැරදි ඇතුළත් අවම වශයෙන් පනත් 15 ක් වත් පවතී. අවශ්‍ය නම්, ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතීන් ද මෙම පනතේ උපලේඛනයකට ඇතුළත් කර, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනාගත නීති සම්පාදනයට ඉඩ තැබිය හැකිය. මෙම ව්‍යවස්ථාදායක සැලසුම තුළ, ත්‍රස්තවාදී නීති සම්පාදනයට කිසිදු සාරභූත වරදක් ඇතුළත් නොවේ. එය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් ආදියට අදාළ පටිපාටිමය ව්‍යතිරේකයන් කෙරෙහි පමණි. විශේෂයෙන් සඳහන් කරන ලද පනත් සමඟ කියවන විට, මෙම නව නීතිය ත්‍රස්තවාදී විමර්ශන සහ නඩු පැවරීම් සඳහා පදනම ලෙස ක්‍රියා කරනු ඇත.
ව්‍යතිරේකයන් සාමාන්‍යකරණය කිරීම
ත්‍රස්ත ප්‍රහාර ඇතුළු ස්වභාවික හෝ මිනිසා විසින් සිදුකරන ලද ආපදාවන් වැනි අසාමාන්‍ය තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ව්‍යතිරේක අවස්ථාවන්හි අවශ්‍යතාවය ප්‍රායෝගිකවාදියෝ (Pragmatists) හඳුනා ගනිති. ත්‍රස්තවාදී වැරදි විමර්ශනය කිරීමේදී සහ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා සාක්ෂි එක්රැස් කිරීමේදී පවතින දුෂ්කරතා බුද්ධිමත් පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය. 2019 අප්‍රේල් 21 වැනි දින බෝම්බ පිපිරුණු මොහොතේ සිට භාවිත කළේ කුමන ආකාරයේ නීතිදැයි සොයා බැලීම වැදගත්ය. පැය කිහිපයක් ඇතුළත දුරකථන ඇමතුම් ඔස්සේ තොරතුරු සොයාගත් අතර දෙමටගොඩ නිවස වටලනු ලැබීය. මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ මහජන ආරක්ෂක ආඥාපනතේ (140 පරිච්ඡේදය) විධිවිධාන යටතේය. මහජන ආරක්ෂක ආඥාපනත වැනි නීතිවල අරමුණ එයයි. එවැනි අසාමාන්‍ය තත්ත්වයකදී, සාමාන්‍යයෙන් අවසර නොදෙන ක්‍රියාවන්ට ඉඩ ප්‍රස්ථාව සැලසේ.
හදිසි නීතිය ප්‍රකාශ කර මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත්, එය වරකට වලංගු වන්නේ මාසයකට පමණක් බවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එම විධිවිධාන මඟින් මෙවැනි ව්‍යතිරේක අවස්ථාවල ඇති බරපතලකම පිළිගෙන තිබේ. PTSB පනත් කෙටුම්පත උත්සාහ කරන්නේ මෙම ව්‍යතිරේක තත්ත්වයන් සාමාන්‍යකරණය කිරීමටයි. දැනට හදිසි නීති රෙගුලාසි හරහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග සාමාන්‍ය කාලවලදී පවා නීත්‍යානුකූල කිරීමට මෙහිදී යෝජනා වේ. විධායකයට සංවිධාන තහනම් කිරීමට, ගමන් බිමන් සීමා කිරීමට, ඇතැම් ස්ථාන “තහනම් ස්ථාන” ලෙස ප්‍රකාශ කිරීමට සහ ඇඳිරි නීතිය පැනවීමට මෙහිදී හැකියාව ලැබේ. මෙය හදිසි අවස්ථාවකදී පමණක් නොව ඕනෑම අවස්ථාවක, කිසිදු පාලනයකින් තොරව ජනාධිපතිවරයාගේ හෝ ඔහු පත්කරන අයගේ අභිමතය පරිදි සිදු කළ හැකිය. මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවේ. මෙම විධිවිධාන මඟින් හදිසි අවස්ථාවකට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආරක්ෂණ ක්‍රමවේදයන් අර්ථ විරහිත කරනු ලබයි.
නැවත මුල සිට ආරම්භ කිරීම
වර්තමාන පාලකයන් විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ දේට වඩා වෙනස්ව, නූතන ත්‍රස්තවාදය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂිත නීතිවල අවශ්‍යතාවය අපට පිළිගත හැකිය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආරක්ෂණ විධිවිධාන උල්ලංඝනය නොකර සහ අපගේ වැදගත්ම අපනයන වෙළඳපොළවල් අනතුරේ නොදමා එය සිදු කළ හැකිය. නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳ සාධාරණ සැකයක් ඇති කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට මහේස්ත්‍රාත්වරයෙකු ඒත්තු ගැන්වීමේ දුෂ්කර කාර්යය මඟහරිමින්, ඕනෑම සැකකරුවෙකු රඳවා තබා ගැනීමට පොලිසියට අවස්ථාව ලබාදෙන PTA පනතින් ලැබෙන පහසුවට හුරු වූවන්ගෙන් රජයට විරෝධයක් එල්ල විය හැකිය. මෙම නව PTA අනුකෘතිය මඟින් සැකකරුවන් දැඩි පීඩනයක් සහිත පරිසරයක දීර්ඝ කාලයක් රඳවා තබා ගනිමින්, ගොතන ලද පාපොච්චාරණ ලබා ගැනීම තවදුරටත් ක්‍රියාත්මක කරයි. එය නිසි අපරාධ විමර්ශන අධෛර්යවත් කරනු ඇත. අමාත්‍යවරයා විසින් කමිටුවට දන්වා සිටිය යුත්තේ මෙය නැවත මුල සිට සලකා බලා යෝජනා වී ඇති නිර්මාණාත්මක විසඳුම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. එසේ නොවන්නේ නම්, අතීතයේ තමන්ගේම සගයන්ට එරෙහිව භාවිත කළ මර්දනකාරී විධිවිධාන ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම රජය කැමති බව නිගමනය කිරීමට අපට සිදුවනු ඇත.











