අජිත් පැරකුම් ජයසිංහ
දූෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ සිදුවීම කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල බෙහෙත් නඩුව වගේම සංවේදී සිදුවීමක්. අප බොහෝ දෙනෙකු මෙවැනි අසාධාරණ සූරාකෑම්වලට ලක්වී තිබෙනවා. ටීවී එකක්, ජංගම දුරකථනයක් රෙපෙයාර් කරන්නට දුන්නාම වගේම තමයි, මේ කෑල්ල, අර කෑල්ල හොඳ නැහැ, ඒක අලුතෙන් දාමු වගේ කියන වෛද්‍යවරුන් අපට හමු වී තිබෙනවා.

ඇය වරදකාරියක් බව ඔප්පු වෙලා නැහැ. සෞඛ්‍ය සේවයේ පවතින තත්වය නිසා වර්තමාන පාලන බලවේගය පිටුපස ඉන්න අය ඇතුළුව බොහෝ ජනයා එහි වෘත්තිකයන් එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ. ඒ වෛරය මුළුමනින්ම සාධාරණ නැතිවුණත්, ඒකට විරුද්ධව කතාකරන්නත් බැරි තත්වයක් තමයි සමාජයේ තියෙන්නෙ. මේ වනාහි දැඩි වෛරී දේශපාලනයක යුගයක්. සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධ වැරදි කරපු අයට මෙම වෛරී මානසිකත්වය ඇතුළෙ සාධාරණ නඩු විභාගයක්වත් ලබාගන්නට පුළුවන් වෙයිද කියන එක සැකයි. නීතිපති දෙපාර්තමේන්තුව වගේ දූෂිත ආයතනවල ඇතැම් නිලධාරීනුත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවත්, නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තවත් බොහෝ ආයතන හා නිලධාරීනුත් මාධ්‍ය සංදර්ශනවලට ප්‍රමුඛතාව දී තිබෙනවා. ඔවුන් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට ගරු කරන බවක් පෙනෙන්නේ නැහැ. නඩු තීන්දුව හිතේ තියාගෙන තමයි විමර්ශනය ආරම්භ කරන්නේ. එයම දූෂණයක්. හැබැයි ජනප්‍රියයි. ජනප්‍රියත්වය වෙනුවෙන් කරන බොහෝ ක්‍රියා අනාගතයේ යම් දවසක දූෂණය යටතේ අර්ථ නිරූපණය වෙන්නට පුළුවන්.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් තිබෙනවා. ඔවුන්ට මුදල් ඉපැයීමට බොහෝ අවස්ථා හා නිදහස ලබා දී තිබියදී, අසීමිත ධන තණ්හාවට ගොදුරු නොවී ඉඳීම ඉතා වැදගත්. ඒකට ලොකු පෞරුෂයක් අවශ්‍යයි. බොහෝ වෛද්‍යවරුන් මේ අසීමිත ධන තණ්හාව නිසා තමන්ගෙ ජීවිත වටිනාකම් විනාශ කරගෙන ඉවරයි. වෛද්‍ය අධ්‍යාපනයෙදි මේ ගැන අවධානය යොමු කරලා පෞරුෂ සංවර්ධනය පැත්ත ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ටත් මෙය වැදගත්.
මේක වෛද්‍යවරුන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ ධනය ඉපැයීමේ වැඩි හැකියාවක් තිබෙන සියලු වෘත්තීන්ගේ නියුතු පුද්ගලයන් මෙම උගුලේ හිරවෙලා ඉවරයි. දේශපාලකයන් ගැන විතරයි මෙතෙක් අවධානය යොමු වුණේ.
මුදල් උපයන්නට ඕනැ. වියදම් කරන්නටත් ඕනැ. ඒක ආර්ථිකය සක්‍රිය කරනවා. රටටත්, සමාජයේ සැමටත් එය හොඳ දෙයක්. හැබැයි, ඔබේ වටිනාකම් නැති කරගන්න එපා. එහෙම වුණොත්, ඔබට ඔබම අහිමි වෙනවා.