M. Vijendra

මාලිමාවේ අපේක්ෂක විජේන්ද්‍රගේ ප්‍රශ්නවලට අපේ පිළිතුරු

අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයෙන් කොළඹ නගර සභාවේ මෝදර ලුණුපොකුණ කොට්ඨාසයට තරග කරන අප හිතමිත්‍ර එම්. විජේන්ද්‍ර සහෝදරයා මගෙන් ප්‍රශ්න කීපයක් ඇසීය. මේ වගේ ප්‍රශ්න අහන එක හොඳයි. ඔය මාලිමාව ඇතුළෙම කැරකි කැරකි ඉන්නෙ නැතුව බාහිර දැනුම ලබාගන්නට සංවාදය ඉවහල් වේ. අපට වඩා දැනුම ඇති අයගෙන් දැනුම ලබාගැනීම වඩාත් වැදගත් වනු ඇත. පහත දැක්වෙන්නේ විජේන්ද්‍රගේ ප්‍රශ්න හා ඒවාට මා දුන් පිළිතුරුය:

1/.බංකොලොත් වෙච්ච රටක් නෙමෙයි , බංකොලොත් කරපු රටක්.
පිළිතුර: බංකොලොත් කිරීමේ කතාවේ සෑහෙන වගකීමක් රාජ්‍ය සේවය ලක්ෂ හතේ සිට පුළුල් කිරීමට මුලපුරමින් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා මවාදීම ආරම්භ කළ ජවිපෙ භාරගත යුතුය. දැනුත් ජවිපෙ පෙනී සිටින්නේ මේ දැවැන්ත රාජ්‍ය සේවයටම වරප්‍රසාද දීම වෙනුවෙනි. 2020දී රජයේ සේවක වැටුප් රාජ්‍ය ආදායමෙන් 87%ක් විය. ණය ගත්තේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ගෙවීමටයි. රට බංකොලොත් වුණේ ණය ආපසු ගෙවීමට නොහැකි වූ නිසාය. රට බංකොලොත් කිරීමට වගකිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ.

2/.ණය ගන්නේ ගෙවන්න තියෙන ණය නවත්තලා
පිළිතුර: ණය ගෙවාගත නොහැකි වූ රටකට නැවත ණය ගත හැක්කේ ණය තිරසරභාවය ඔප්පු කර පෙන්වීමෙන් පසු පමණි. ලෝක බැංකුව මෙවැනි සහන ණය ලබාදෙන්නේ රජය ගැන තිබෙන විශ්වාසය හේතුවෙනි. ණය නොමැතිව බිස්නස් නොමැත. ණය ගැනීම හා ණය ගෙවීම කළ හැකි තත්වයකට පත්වීම රජයට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කළ හැකි පළමු කාර්යයි.

3/.ගන්න ණය වලින් කරන්න යන්නේ මොනවද කියලාත් පැහැදිලි නැහැ.
පිළිතුර: ගන්න ණයවලින් කරන්න යන දේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒ ණයවලින් ප්‍රධාන වශයෙන් කරන්නෙ විදේශ සංචිත ශක්තිමත් කරන එක. එතකොට ලංකාවෙ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යනවා. ආයෝජක විශ්වාසය වර්ධනය වෙනවා. සෙසු ණය යොදාගන්නෙ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරකරණය පහසු කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා.

4/. ප්‍රතිව්‍යූගත කිරීම හෝ පෞද්ගලීකරණය, කියල කරන්නේ අමු අමුවේම රටේ දේපල මංකොල්ල කෑමක්.
පිළිතුර: රටේ සංවර්ධනයේ එන්ජිම වෙන්නෙ පෞද්ගලික අංශය. ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රධාන කාර්යයක් වෙන්නෙ පෞද්ගලික අංශයට පැවරීම. පෞද්ගලික අංශය හොරුන් හෝ මංකොල්ලකාරයන් ලෙස දකිනවා නම් ජවිපෙ ඇයි ඔවුන්ගෙ සමුළු තිය තියා සහාය ඉල්ලන්නෙ?

5/. කරන්න ගෙදර වෑඩ ගොඩක් නම් නැහැ, කරන්න තියෙන්නේ එයාලා දෙන plan එක ක්‍රියාත්මක කරන එක විතරයි.
පිළිතුර: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ක්‍රියාවලිය ඉතා විධිමත්. පළමු පියවර ලෙස කළේ ණය තිරසරභාවය පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කරන එක. ඒක හැදුවෙ ලංකාවෙ රජය. ඒක සලකා බලලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව එක්ක කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කළේ. මේක කවුරුවත් දීපු ප්ලෑන් එකක් නෙමෙයි. අපි හදපු ප්ලෑන් එකක්.

6/Finally, ඔයාගෙන් අහන්නේ එකම එක දෙයයි, ඔය ණය දෙන එකම එක ආයතනයක් වත් අපේ අපනයන කර්මාන්ත දියුණු කර ගන්න මොනම හෝ යෝජනාවක් , වැඩ පිළිවෙලක්, සැලැස්මක් අපට දීල තියෙනවද? අඩුම තරමේ එවැනි සාකච්ජාවක් වත් ආරම්භ කරල තියෙනවද, ඔබ දන්නා තරමින්?
පිළිතුර: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපනයන කර්මාන්ත දියුණු කිරීම ගැන බලන්නෙ නැහැ. ඒක කරන්නට ඕනැ ලංකාවෙ රජය. ඒවාට උදව් කරන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන තියෙනවා. ඒ අයට නිශ්චිත ව්‍යාපෘති ඉදිරිපත් කරලා ආධාර ගන්නට පුළුවන්. අපනයන සංවර්ධනය කියන එක දැනටත් කෙරෙන දෙයක්. ඒවා කරන්නෙ රජය නෙමෙයි. අපනයනකරුවෝ. වෙළඳපොළ සොයාගන්නෙ ඔවුන්. නිෂ්පාදන කරන්නෙ ඔවුන්. රජයට කරන්නට පුළුවන් පහසුකම් සපයන එක විතරයි. උදාහරණයක් විදියට මාළු අපනයනය සිදුවෙන හැටි අධ්‍යයනයන කරලා බලන්න. මගේ අත්දැකීමක් තමයි තැඹිලි. අපේ ගෙදර වත්තේ තියෙන තැඹිලි ගහට නැගලා කඩාගෙන අපනයනය සඳහා ගෙනියන සමාගම් අපට දැන් හොඳ මිලක් දෙනවා. ඒවා කරන්නෙ තනිකරම පෞද්ගලික අංශය. ලෝක බැංකුවේ IFC ආයතනය පසුගියදා ඩොලර් මිලියන 400ක ණයක් අනුමත කළේ ලංකාවෙ පෞද්ගලික බැංකු තුනක් වෙනුවෙන්. ඒ තමයි කොමර්ෂල්, සම්පත් හා නේෂන්ස් ට්‍රස්ට්. එහෙම අනුමත කරන්නට ප්‍රධාන හේතුවක් තමයි, මේ බැංකු තුන තමයි ශ්‍රී ලංකාවෙ අපනයන හා විදේශ ප්‍රේෂණවලින් 30%ක් සම්බන්ධ බැංකු කටයුතු කරන්නෙ.

(විජේන්ද්‍ර පැනසර ධීවර නායකයෙකි. ඔහු අප සමග කාලයක් හිරු කණ්ඩායමේ ඉදිරියෙන්ම කටයුතු කළ ක්‍රියාකාරිකයෙකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අභීතව කටයුතු කළ කෙනෙකි. හිරු කණ්ඩායමෙන් ඉවත් වී අප නිර්මාණය කළ ලංකා ලෙෆ්ට් කණ්ඩායමේ ද ඔහු ක්‍රියාකාරීව දේශපාලනය කළේය. ඔහු මොන පක්ෂයෙන් හෝ කොළඹ නගර සභාවට පත්වීම හොඳ දෙයකි. මා කොළඹ සිටියා නම් මගේ ඡන්දය ඔහුටය.)