Vimal-Rohitha-Mahindananda

අජිත් පැරකුම් ජයසිංහ

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති ධූරය දැරූ 2015 ජනාධිපතිවරණ සමයේ, වෙළඳ අමාත්‍යාංශයට අයත් සතොස ආයතනයේ සභාපති වූ නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ පවරන ලද එම නඩුව ස්වාධීන අධිකරණයකින් විභාග වී ස්වාධීන තීන්දුවක් ලබාදුන්නේ යයි අපි සිතමු. එහෙත්, ආණ්ඩුවේ හිතවතුන් හැසිරෙන්නේ තීන්දුව ඔවුන් මැදිහත් වී ලබාදුන් එකක් පරිද්දෙනි. එහෙත්, අධිකරණය දේශපාලන පක්ෂවල උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවක් අප නම් විශ්වාස කරන්නේ නැත.

මෙය දූෂණයක් බව ඇත්තකි. සොරකමක් සිදු වී නැතුවා විය හැකිය. කැරම් බෝඩ් හා දාම් බෝඩ් රට පුරා ක්‍රීඩා සමාජවලට ලැබෙන්නට ඇත. ඒවා අරගෙන ගිය අය මේ රටේ ජනතාවයි. මැතිවරණයක් අතරමැද එවැනි අල්ලස් දීම මෙන්ම ගැනීම ද වැරදිය. අල්ලස් දීමට සැලසුම් කිරීම පවා වැරදිය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ සමයේ දිළිඳු සහනාධාර ලෙස රු. 5000ක් වටිනා බඩු මල්ලක් බෙදා දීමට සැලසුම් කළ අතර එය නතර කළේ මැතිවරණ කොමසාරිස්වරයායි. ඡන්දයෙන් පසු එය ලබා නොදීමෙන් පැහැදිලිව පෙනෙන්නේ එය අල්ලසක් ලෙස දෙන්නට සූදානම් වූ දෙයක් බවයි. එම තීරණයට සම්බන්ධ දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ට ද අද නැතත් කිසියම් දවසක හෝ දූෂණ චෝදනාවලට වගවෙන්නට සිදුවිය යුතුය.

වර්තමානයේදී සිදුවන කන්ටේනර් පැන්නීම්, හාල් මෝල්කාරයන්ට, ලුණු මුදලාලිලාට අයථා වාසි වන ගනුදෙනු, ජනාධිපති උපදේශකලාගේ ළබැඳියාවන් පිළිබඳ ගැටුම් ආදිය අති ප්‍රබල දූෂණ විරෝධී පනත යටතේ අද නැතත් කිසියම් දිනෙක විමර්ශනයට ලක්වනු ඇත.

එම අර්ථයෙන් මෙය ඉතා හොඳ ආරම්භයකි. ජවිපෙ බලයට පැමිණීමට පෙර, විශේෂයෙන්ම 2015 වන විට උච්ච වී තිබුණු රජයේ දේපළ පෞද්ගලික හා දේශපාලන අරමුණු වෙනුවෙන් අයථා ලෙස භාවිතා කිරීමේ මජර සංස්කෘතිය අවසන් කිරීම සඳහා අපි එයට පූර්ණ සහාය දෙන්නෙමු. මජර සංස්කෘතිය වෙනුවෙන් කාට හෝ වන්දි ගෙවන්නට සිදු වේ. එහි ගිලී සිටි අය ඒ මිළ ගෙවිය යුතුය.

එපමණක් නොව, වර්තමානයේ ක්‍රියාත්මක වන රාජ්‍ය සම්පත් පක්ෂයක් විසින් කොල්ල කෑමේ තවම නමක් දමා නොමැති අලුත් දේශපාලන සංස්කෘතිය ද දිනෙක අවසන් කළ යුතුය. දැනට ඔහේ ගියාට කමක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *