ඉකුත් කාලයේ ධූරයෙන් විශ්‍රාම ගිය අගවිනිසුරුවරයාගේ නම ප්‍රියසාත් ඩෙප් බව මම දැනගත්තේ ඔහු විශ්‍රාම ගෙන සතියකට පසු ව ය . ඉස්සර නම්, ඉස්කෝලේ යද්දී දැනුම මිනුම තරඟ වලට ඉන්නා නිසා රටේ තොටේ බොහෝ දේවල් කටපාඩමින් දැනගෙන සිටියෙමි. දැන් ඒවාට වෙලාවක් නැත. බද්දේගම උසාවියේදී චුදිතයෙකුගේ බිරිඳට ලිංගික අතවර කළ විනිසුරුවරයා ගේ නම ලෙනින් රත්නායක බව මට මතකය. හම්බන්තොට සුනාමි ආධාර නඩුව සහ වෙනත් කාරණා රාශියක් නිසා සරත් නන්ද සිල්වා ගේ නම මට මතකය. සෙලින්කෝ ශ්‍රී රාම් නඩුව සහ සෙලින්කෝ නිවාස ව්‍යාපෘතියෙන් සිය සහෝදරිය මිලදී ගත් නිවස නිසා මට ශිරාණි බණ්ඩාරනායක ගේ නම මතකය. හැබැයි, ප්‍රියසාත් ඩෙප් කියන නම මට ඇසී තිබුණේ නැත.
හිටපු අගවිනිසුරු වරයා ධූරයෙන් විශ්‍රාම ගිය බවට ලංකාදීප පත්තරේ මැද පිටුවක පොඩි නිව්ස් කෑල්ලක් පළ විනි. ඒකෙ එච්චර දෙයක් නැති කම නිසා අවධානයෙන් ගිලිහි යන්නට ගියද එහි අවසන් පේළි තුන හයිලයිට් කර පෝස්ට් කර තිබුණු බැවින් එතැනට පමණක් අවධානය යොමුවිය.
හිටපු අගවිනිසුරු වරයා තම සේවා කාලය ඇතුළත අවුරුදු කිහිපයකට වරක් රජයේ සේවකයන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන තිබුණේ නැත.
හිටපු අගවිනිසුරු වරයා විනිසුරුවරුන්ට කොළඹීන් දුන් ඉඩන් කෑල්ල ලබාගෙන තිබුණේ නැත.
හිටපු අගවිනිසුරු වරයා ට සේවා අවශ්‍යතා සඳහා පිටරට සංචාර වෙනුවෙන් ලබාදුන් පර්ඩියම් ගාස්තු ආයෙත් රජයට ගෙවා තිබිණි.
වහා කලබල වූ මම ඒ පොඩි නිව්ස් කෑල්ලේ උඩට ගොස් ඔහුගේ නම කියවා ගතිමි. නිව්ස් එක නැවත උඩ සිට පල්ලෙහාට ත් නැවත යටින් උඩටත් කියවීමි. ඔහුගේ නම ප්‍රියසාත් ඩෙප් ය. මීට කලින් සිටි අගවිනිසුරු වරු අතරින් “ලස්සනම නම” ඒකය.
මා මීට පෙර සේවය කළ රජයේ කාර්යාලයක අංශ ප්‍රධානියා නිතර තම හැකියාවන් ගැන පාරම් බාපු අයෙකි. දවල් කෑම වෙලාවට එහෙම කතාවක් වරදින්නේම නැත. ඒ රසවත් කතා අතරින් මට මතකම කතාව මේකය.
2000 අවුරුද්දේ විතර ඔහුට ඇමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රේනින් එකක් ලැබිණි. ඒකට යද්දී ආයතනයෙන් වින්ටර් ක්ලෝත්ස් වලට වෙනම ගෙවීමක් කරන බව කියා තිබිණි. ඔහු නිව්යෝර්ක් සාප්පු සංකීර්ණයකට ගොස් වින්ටර් ජැකට් එකක්ද, පර්ෆියුම් එකක්ද මිලදී ගත්තේලු.
“මම ඊළඟ දවසේ ජැකට් එක රිටර්න් කළා, සයිස් එක මදි කියල. උන් නැවත බිල ඉල්ලුවම මම කිව්වා ..මේකේ පර්ෆියුම් එකේ මිළත් සටහන් වෙලා තියන නිසා මේක දෙන්න බෑ. ඔරිජිනල් බිල අවශ්‍ය නම් මට මේකෙම කොපියක් දෙන්න කියල.”
නැවත ලංකාවට පැමිණුනු ඔහු අර නොගත්ත වින්ටර් ජැකට් එක සඳහා ඇමරිකන් බිල පෙන්වා ආයතනයෙන් මුදල් ගත්තේය. එපමණක් නොව ඒ වික්‍රමය අප ඉදිරියේ පවසා, ආයෙත් ඇමෙරිකාවට-චීනෙට-එංගලන්තෙට නැත්තම් පෙෂාවර් වලට ට්‍රේනින් යන බාලයන්ට නොගත්ත වින්ටර් ජැකට් වලට සල්ලි ක්ලේම් කරන ක්‍රමයක් ද කියා දුන්නේය.
අපි මේ රටේ රාජ්‍ය සේවයේ රැඳී සිටීමේ වාසිය එක්කෝ අර “පර්මිට්” එකය, නැත්තන් දරුවාගේ පාසලය. එක්කෝ ඒ දෙකමය. ඔබටත් මටත් ඇත්තේ පර්මිට් එක විකුණා පොඩි වාහනයක් ගන්න, ඉඩමකට අත්තිකාරම් බඳින්න, ක්‍රෙඩිට් කාර්ඩ් සෙට්ල් කරන්න වගේ පොඩි පොඩි බලාපොරොත්තු ය. අපි පිටරටක වැඩ කළා නම්, අපිට වීල්බැරෝවකින් ගෙනියන තරමට උපයා ගත හැකිව තිබියදී අපි රට වෙනුවෙන් රාජ්‍ය සේවයේ එල්ලී ඉන්නෙමු. ඒ කැපකිරීමට සොච්චම් පඩියක ්, ඩොලර් තිස්දාහේ තීරුබදු සහනයක් කිසිසේත් හිලව් වන්නේ නැත.
රුපියල රැක ගැනීමේ ව්‍යායාමය වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම අවුරුද්දකට නතර කළ ඒ උදාර, ඒ උදාර අමාත්‍යවරයා ගිය අවුරුද්දේ තමන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍රය/ ඉන් ගෙනා වාහනය වෙහිකල් සේල්ස් කාරයෙකුට විකුණා තිබිණි.ඕනනං රුපියල් ලක්ෂ පනහක් උපයා ගන්නට ඇතිය. ඒකෙන් ඊට වඩා හොයන්නට බැරිය.
මා මීට පෙර සේවය කළ රජයේ කාර්යාලයක දෙපාර්තමේන්තු ප්‍රධානියට කොළඹින් ගෙවල් පහක් ඇති බවට කුප්‍රකට කතාවක් විය. නොම්මරේ එහෙ මෙහෙ වය හැකි වුවත් ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක් නොවන වග මම ඉඳුරා දනිමි. හැබැයි, අපට කොයි තරම් නිශ්චල චංචල දේපළ තිබුණත් කොළඹින් ඉඩම් කෑල්ලක් ලැබෙන්නේ නං ඔබවත්, මම වත්, සුසන්තිකා වත්, ජනරාල් වත් ඒ ප්‍රතික්ෂේප කරන්නේ නැත. අපි ඕක ප්‍රතික්ෂේප කළා කියා රජයට ඉතිරිවන බක්කක් නැත.
මිත්‍රවරුණි,
අර පර්මිට් එකේ ලක්ෂ විස්සට හඬන මට කිසිදා ප්‍රියසාත් ඩෙප් කෙනෙකු විය නොහැකිය. මමත් ඔබ වැනිම පුහුදුන්-පෘතජ්ජන මිනිසෙකි. මා ආදර්ශය ලබා තිබෙන්නේ වින්ටර් ජැකට් ස්කෑම් කළ ලොක්කන් ගෙනි. හැබැයි මගේ දරුවා වත් ප්‍රියසාත් ඩෙප් කෙනෙකු ගෙන් ආදර්ශය ගනීය කියා ඉතා අහිංසක බලාපොරොත්තුවක් මා තුළ ඇත. මේ සටහන ලියවෙන්නේ එබැවිණි.
සටහන -නදීශා චන්ද්‍රසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *