අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

උතුරේ නැවතත් දෙමළ ජාතිකවාදය අවදි වන බව නොබෝදා පැවැත්වුණු මහා විරු සැමරුම්වලින් ඉතා පැහැදිලිය. එයට සාපේක්ෂව දකුණේ ද සිංහල ජාතිකවාදය අවදි වනු ඇත. එය නරක තත්ත්වයක් නොවේ.

​දේශපාලනිකව ගත් කල, පසුගිය සමයේ වේගයෙන් බලවත් වූ වාමාංශික හා ඉස්ලාම් අන්තවාදයත් පරාජය කිරීම සඳහා සිංහල සහ දෙමළ ජාතිකවාද ශක්තිමත් වීම ඉතාම වැදගත්ය.

​මේ මොහොතේ අපගේ අවධානය යොමු විය යුතුව ඇත්තේ සිංහල ජාතිකවාදය පීඩිත ජාතිකවාදී ප්‍රගතිශීලී හරයකින් යුතුව ප්‍රතිසංවිධානය කර ගත හැකි ආකාරය පිළිබඳවයි. ගැඹුරු දැක්මකින් තොරව රැල්ලට ගසාගෙන එන වැඩකට නැති පරඬැල් වාමාංශික ආණ්ඩුව විසින්ම ඉවත් කර දීම ඉතාම හොඳය.

​සිංහල ජාතිකවාදයේ නව නැඟීම පිළිබඳ සංවේදී වීමට විපක්ෂ දේශපාලන පක්ෂවලට සිදු වනු ඇත.

​උතුරේ තත්ත්වය මීට වඩා වෙනස්ය. මේ වන විට බලයේ සිටින්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළි නො ගත්තත්, ඒ පිළිබඳව සංවේදීතාවක් සහිත දේශපාලන බලවේගයකි. එහෙයින් දෙමළ ජාතිකවාදයට ජවිපෙ ආණ්ඩුව අතහැර දැමීම පහසු නැත.

​ජවිපෙ ආණ්ඩුවට ද අඩුම තරමේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ක්‍රියාත්මක නො කර දෙමළ ජනයා අතර බලය රැක ගැනීම පහසු නැත.

​ජවිපෙ බලයට පැමිණීම ධනේශ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ මන්දගාමී කිරීමට හේතු වුව ද, සමස්තයක් ලෙස සමාජ සංවර්ධනය විෂයෙහි ගත් විට නරක තත්ත්වයක් නොවේ. වාමාංශික න්‍යාය සහ රාජ්‍ය පාලනය අතර ඇති වන ගැටුම පවා ඉතා වැදගත්ය. එමඟින් ලාංකීය සමාජය තුළ මුල් බැස ගෙන තිබෙන ගතානුගතික වාම මතවාදවල නිස්සාරත්වය හෙළිදරව් වීම අතිශය වැදගත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *