අජිත් පැරකුම් ජයසිංහ
ඔක්කොටම කලින් ටොයියන්ව හඳුනගන්නට ඕනැ. මූලිකවම ටොයියො කියන්නෙ බයියො නොවන අය. දැන් බයියො ජෙප්පො වෙලානෙ. ඒ නිසා ටොයියො කියන්නෙ බයියො හෝ ජෙප්පො හෝ ජෙපි බයියො නොවන අය.
දැන් ඔරිජිනල් බයියොත් විපක්ෂෙ නිසා ඔරිජිනල් බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනසත් ලකුණු කරගන්නට ඕනැ. ඔරිජිනල් බයියො කියන්නෙ රාජ්‍ය මූලික, ජාතිකවාදී, සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි මූලික ධනේශ්වර බලවේගයක්. බයියන්ගෙ සංකේතාත්මක නායකයා තමයි මහින්ද රාජපක්ෂ.
ජෙප්පො කියන්නෙ කොමියුනිස්ට්, සමාජවාදී, වාමාංශික ස්වරූපයෙන් පෙනී සිටින, විපක්ෂයේදී අරාජිකවාදී, ආණ්ඩුවේදී ඒකාධිපතිවාදී, රාජ්‍ය මූලික ධනේශ්වර බලවේගයක්. ඒක ඇතුළෙ ළාවට වගේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ලක්ෂණත්, දෙමළ-මුස්ලිම්-කතෝලික-පිරිමි නොවන ලිංගික ලක්ෂණත් එකට ගැටෙමින් තිබෙනවා.
එතකොට ටොයියන්ව හඳුනාගන්න ලේසියි. ටොයියන් කියන්නෙ ලිබරල්, ධනේශ්වර, ආර්ථික වශයෙන් ජාතිකවාදී නොවන, සිංහල-බෞද්ධ මූලිකත්වය පිළිගත්තත්, දෙමළ-මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන් එක්ක ප්‍රජාතාන්ත්‍රික අන්දමින් බලය බෙදාගෙන කටයුතු කරන්නට සූදානම් ප්‍රජාවක්.

මේ අර්ථයෙන් ගත්තාම හැම බලවේගයක් තුළම ටොයි බයි ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ටොයියො ටොයි ලක්ෂණ වෙනුවෙන් පෙනී ඉන්නවා. වෙන කවුරුවත් එහෙම පෙනී ඉන්න බයයි. උදාහරණයක් විදියට සජිත් ප්‍රේමදාස ගොඩක් ටොයියෙක්, චුට්ටක් විතර බයියෙක්. හැබැයි, ඩිරෙක්ට් ටොයියෙක් වෙන්න බයයි. නාමල් රාජපක්ෂත් සෑහෙන්න ටොයියෙක්. හැබැයි බයි ඉතිහාසයක බරක් ඔහුට තියෙනවා. බැසිල් රාජපක්ෂත් එහෙමයි. දිලිත් ජයවීර කට්ට කෛරාටික විදියට බයි වෙන්න හදන අම්බානක ටොයියෙක්.
බයියන්ගෙ වර්තමාන නායක අනුර කුමාර දිසානායකත් සෑහෙන ටොයියෙක්.
ටොයියන්ගෙ නියම ටොයියනායක තමයි රනිල්. රනිල් තමයි සංකේතාත්මක ටොයියනායක. වෙන අයට පුළුවන් ටොයියන්ගෙ නායකයා වෙන්න. හැබැයි ආධ්‍යාත්මික නායකයා වෙන්න අමාරුයි. ඒ තමයි රනිල්.
ටොයියන්ව ගොඩදාන්න නම්, ආපහු මුලටම යන්නට ඕනැ. ටොයියන්ට ටොයියා කවුරුද කියලා තේරුම් කරලා දෙන්නට ඕනැ. තමන්ගෙ බලවේගයේ ශක්තිය ගැන විශ්වාසයක් හදන්නට ඕනැ. ටොයියන්ව එකතු කරන්නට පුළුවන් නායකයෙක් හදාගන්නට ඕනැ. රනිල් අධ්‍යාත්මික නායකයා වුණාට ඔහුට ටොයියන්ව එකතු කරන්න බැහැ.
රනිල්ගෙ මේ නොහැකියාව ටොයියන් අතර ලෙඩක් වගේ පැතිරිලා. ඒ නිසා තමයි ටොයියන් කොච්චර හිටියත් සමගි කරන්නට බැරි. ටොයියො ඉන්නෙ පුදුම ආනාරක්ෂිත හැඟීමක. ඒ නිසා ටොයියො ටොයියන්ටම බයයි. වෙන ටොයියෙක් තමන් ඉස්සර කරයි කියලා තියෙන බය නිසා ටොයියන්ටම කපනවා. ඒකත් දැන් රෙජිස්ටර් වෙච්ච ටොයි ලක්ෂණයක් වෙලා.
මජරකමට මැඩගෙන ටොයියන්ව එකතු කරන්නට පුළුවන් අලුත් ටොයියනායකයෙකු අවශ්‍ය ඒ නිසා. පහත දැක්වෙන වීඩියොවත් බලන්න.