මතුගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය සහ විපක්ෂය ලැබූ ජයග්‍රහණය ජාතික මට්ටමෙන්ම සුවිශේෂීයි. ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාව ලෙස 13ක් ලබාගත්තත්, විපක්ෂය ඉතා පහසුවෙන් 13 ඉක්මවා යනවා.
සමගි ජන බලවේගය ආසන 10ක් දිනාගනිද්දි කොස් ගෙඩිය ලකුණෙන් තරග කළ කලින් පොදුජන පෙරමුණ සමග සම්බන්ධව සිටි, හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වාගේ අනුග්‍රහය ඇති බව කියන ස්වාධීන කණ්ඩායම ආසන 4ක් දිනාගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ආසන 1ත් පහසුවෙන් සජබට ලබාගත හැකියි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණෙන් පත්වී සිටින මන්ත්‍රීවරයාගේ සහයෝගයත් මේ වෙලාවේ සජබට ලැබෙන්නට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව දිනාගෙන ඇති මන්ත්‍රී ආසන තුනේ සහයෝගයත් ජාතික ජන බලවේගයට ලැබෙන්නේ නැහැ.
ජාතික ජන බලවේගය අඩුම තරමේ ජන අරගල සන්ධානයේ මන්ත්‍රී ආසනයේ සහයෝගය දිනාගැනීමටවත් උත්සාහ කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.
ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂක ලලිත් සිරිවර්ධන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන නීතීඥවරෙයෙක්. මතුගම, අගලවත්ත ප්‍රාදේශීය සභා දෙකම නියෝජනය කර පළපුරුදු ඔහු සභාපතිකමට පමණක් නොවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට වුණත් සුදුසුයි. එහෙත්, ප්‍රදේශයේ ජවිපෙ බලවතා වන නලින්ද ජයතිස්ස පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු වෙනුවට දාගත්තේ, 2015-2020 සමයේ නලින්දගේ කාර්ය මණ්ඩලයේ වැඩ කළ, වෘත්තියෙන් ගුරුවරයකු වූ සංජීව රණසිංහයි. මේ වන විට මේ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකාරීත්වයක් පෙනෙන්නට නැති තරම්. ලලිත් සිරිවර්ධන මතුගම සභාපති ධූරයට පත්වෙනවා නම් ඔහු රැකියාව අත්හැර ජවිපෙ පූර්ණකාලිකයෙකුගේ මට්ටමට පත්විය යුතුයි. ඔහු ඇතැම් විට එයට අකැමැති වෙන්නත් පුළුවන්.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ගැටලුව තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ භාරදූර වගකීම දැරිය හැකි මට්ටමේ පළපුරුදු නියෝජිතයකු නැතිකම. ඔහුගේ බොහෝ නියෝජිතයන් ඡන්ද ජයගත්තේ ජගත් විතානට තිබෙන ජනප්‍රියත්වය හා ඇතැම් තැනක සුළු ජාතික ඡන්ද දිනාගැනීමෙනුයි. ඒ අය අතර මතුගම උතුර ජයගත් දුලන්ත වික්‍රමනායක ඉන්නවා. ඔහු පවා කලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සජබ සමග එක් වූ අයෙක්.
දැනට ආරංචි විදියට කොස්ගෙඩිය ලකුණෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ සජබ සමග එක් වී තිබෙන අතර ඔහුට මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ලබාදීමට සහයෝගය දීමට ජගත් විතාන මන්ත්‍රීවරයා තීරණය කර තිබෙනවා. කසුන් මුණසිංහ මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්.
මේ අතර කසුන් මුණසිංහට සභාපති පදවිය දුන්නොත් සජබ පිරිසක් කැඩී යන බවට තර්ජනයකුත් තිබෙන බව වාර්තා වෙනවා.
මතුගම දේශපාලන බලයේ තිරය පසුපස භූමිකාවක් කරන පුද්ගලයෙකු ද ඉන්න බව වාර්තා වෙනවා. ඒ තමයි, දැනට ඩුබායිහි සිටින බව කියන ලංකා සමසමාජ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයකු වූ ශාන් ජයසිංහ හෙවත් මතුගම ශාන්. ඔහුගේ පියාත් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළා. තේරී පත්වුණේ නැහැ.