රොහාන් සමරජීව

අපේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් ස්ටීව් බැනන්ගේ අනුගාමිකයන් බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. බැනන් යනු ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම උපදේශකවරයා හෙවත් ඔහුගේ ‘රස්පුටින්’ බඳු වූ චරිතයයි. “සැබෑ විපක්ෂය වන්නේ ජනමාධ්‍යයයි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතු හොඳම ක්‍රමය නම් මුළු කලාපයම අසූචිවලින් පුරවා දැමීමයි” යනුවෙන් බැනන් වරක් ප්‍රකට ප්‍රකාශයක් කළේය. මෙහි මූලික අදහස වන්නේ ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ජනමාධ්‍යයට පමණක් සීමා නොවන තම විවේචකයන්ට එකවර ක්‍රියාමාර්ග රැසකට මුහුණ දීමට සිදුවන පරිදි කටයුතු කිරීමෙන්, ඒවායින් ඇතැම් ඒවාට විරෝධය පළ කිරීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් ඇති කිරීමයි. එලෙස එකවර බොහෝ දේ ඉදිරිපත් කර විවේචකයන් වෙහෙසට පත් කළ විට, ඒ සියල්ලටම එරෙහි වීමට ඔවුන්ට නොහැකි වෙයි. එම නිසා ඉදිරිපත් කරන ඇතැම් ක්‍රියාමාර්ගවලට විරුද්ධ නොවී ඒවා සම්මත වීමට ඉඩ හැරීමට ඔවුන්ට සිදු වෙයි.

මුලින්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ආවේය. ඉන්පසුව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ඉදිරිපත් කෙරිණි. රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ) පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA), විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙන්ම වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සඳහා වන සංශෝධන යනාදී වශයෙන් මෙම නීති කෙටුම්පත් නොනැවතී ගලා එයි. මේ සියල්ල විශ්ලේෂණය කිරීමට කාලය හා සම්පත් ඇත්තේ කාට ද? පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කිරීමට ලබා දී ඇත්තේ සති දෙකක කාලයකි. එම කෙටි කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින්, මේ ගලා එන නීති ප්‍රවාහය නිසා නිදහසට එල්ල වන අවදානම අවම කිරීමට පියවර ගත හැක්කේ කාට ද?

එකක් මඬින විට තවෙකක් මතු වීමේ ක්‍රීඩාව (‘Whack-a-mole’)

ආණ්ඩුවේ මෙම උපක්‍රම දකින විට ‘Whack-a-mole’ නමැති ක්‍රීඩාව ද සිහියට නැඟෙයි. එම ආකේඩ් (arcade) ක්‍රීඩාවේදී ක්‍රීඩකයා විසින් එක් වළකින් මතු වන එක් මීයකුට (mole) පහර දී යටපත් කරන විටම, පුවරුවේ තවත් තැනකින් වෙනත් මීයෙක් මතු වෙයි. යම් ගැටලුවක් විසඳීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම තවත් අලුත් ගැටලුවක් මතු වන තත්ත්වයක් විස්තර කිරීමට මෙම යෙදුම භාවිත කෙරේ. එසේ නැතිනම්, මුල් ගැටලුවම නැවත වෙනත් මුහුණුවරකින් මතු වන අවස්ථාවක් හැඳින්වීමට ද මෙය යොදා ගැනේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) යටතේ, අධිකරණ බලයකින් තොරව විධායකය විසින් සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග හෙවත් රැඳවුම් නියෝග (DOs) නිකුත් කිරීම ගැන දැඩි කනස්සල්ලක් පවතියි. විවේචකයන්ගේ අවධානය එම පනත් කෙටුම්පත වෙත යොමු වී තිබේ. ඒ අතරතුර, දේශපාලනිකව පත් කළ අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් රැඳවුම් නියෝගවලට අත්සන් තැබීමේ එම ක්‍රමවේදයම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට (POCA) ද ඇතුළත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෙළා දැකීම, GSP+ බදු සහන කොන්දේසි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම පදනම් කරගෙන ගෙන යන ඒකාබද්ධ අරගලයක් හරහා PSTA යටතේ රැඳවුම් නියෝගයක් සඳහා වන ඉල්ලීමක් අනුමත කිරීමේ, වෙනස් කිරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය දේශපාලන පත්වීම්ලාභියෙකු වෙනුවට විනිසුරුවරයෙකුට පැවරීමට හැකි වනු ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විය හැකි වගන්තියම POCA පනත හරහා සම්මත වී යාමට ඉඩ තිබේ. මෙය ‘එකක් මඬින විට තවෙකක් මතු වීම’ සහ ‘ක්‍රියාමාර්ග වැස්සක් වැස්සවීම’ යන උපක්‍රම දෙකෙහිම එකතුවකි.

එසේ නැතිනම්, දුරකථන හෝ චන්ද්‍රිකා සේවා සම්පාදකයන්ගෙන් සහ මෙටා (Meta) වැනි ඩිජිටල් වේදිකා (platform) සමාගම්වලින් තොරතුරු ලබා ගැනීමට PSTA කෙටුම්පතෙහි (2025 දෙසැම්බර් කෙටුම්පතේ 53 වැනි වගන්තිය) ඇතුළත් වූ විධිවිධාන දෙස බලන්න. මෙහිදී, විත්ති පාර්ශ්වය නොමැතිව ඒකපාර්ශ්විකව (ex-parte) සහ අප්‍රසිද්ධියේ (in-camera) පවත්වන නඩු විභාග හරහා මහේස්ත්‍රාත් නියෝග ලබා ගැනීමට පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ට පවා අවස්ථාව හිමි විය. මෙම විධිවිධාන ප්‍රතිඵලදායක නොවන බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හානිකර බවත් කිසිවෙකු හෝ පෙන්වා දෙන්නට ඇත. PSTA කෙටුම්පත ගැසට් කරන විට එහි 53 සහ 54 යන වගන්ති ඉවත් කර තිබීම අගය කළ යුතු කරුණකි. එහෙත් සුළු වෙනස්කම් කිහිපයක් සහිතව එම වගන්තිම POCA පනත් කෙටුම්පත තුළින් යළි මතු වී තිබේ. මෙය ද එකක් මඬින විට තවෙකක් මතු වීමේ උපක්‍රමයට කදිම නිදසුනකි.

POCA පනත් කෙටුම්පත මගින් දැනට පවතින නීති කොටසක් වශයෙන් හෝ අහෝසි කරන්නේ නැත. පහත දක්වන ලද පරිදි විස්තර කෙරෙන “බරපතළ අපරාධ” උපකාණ්ඩයකට අදාළව, දණ්ඩ නීති සංග්‍රහය වැනි මූලික නීතිවලට අමතරව POCA පනතේ විධිවිධාන ද ක්‍රියාත්මක වෙයි. විමර්ශකයන්ට කරන ප්‍රකාශ (පාපොච්චාරණ) පිළිගත හැකි සාක්ෂි ලෙස සැලකීම සම්බන්ධ PSTAන් ඉවත් කල POCA හි යලි මතුවුනු විධිවිධාන මෙයට උදාහරණ වේ.

ඕනෑවට වඩා පුළුල් නිර්වචන

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සහ PSTA කෙටුම්පතේ මුල් පිටපත්වල ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචන ඕනෑවට වඩා පුළුල් විය. ගැසට් කළ පිටපතෙහි එම නිර්වචන සැලකිය යුතු ලෙස සීමා කර වැඩිදියුණු කර ඇත. එහෙත් බොහෝ දෙනෙක් තවමත් ඒ ගැන සෑහීමකට පත් නොවෙති.

POCA පනත් කෙටුම්පතට අයත් වන්නේ මොනවා ද? එහි 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි:

“මෙම පනතේ හෝ ඊට අදාළ පළමු උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති වැරදි, නැතහොත් වසර හතරක් හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් නියම කළ හැකි ඕනෑම වරදක්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු විසින් සිදු කරනු ලබන අවස්ථාවකදී, එම වැරදි වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ දඬුවම් පැමිණවීම සඳහා මෙම පනතේ විධිවිධාන අදාළ විය යුතුය.”

පුරාවස්තු ආඥාපනත ද ඇතුළුව විවිධාකාරයේ අණපනත් රැසක් මෙහි පළමුවැනි උපලේඛනය මගින් ඊට ඇතුළත් කර තිබේ. එහෙත් සැබවින්ම භයානක කොටස වන්නේ, “දෙආකාරයෙන් එක් ආකාරයක වසර හතරක හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් ලැබිය හැකි ඕනෑම වරදක්” ඊට ඇතුළත් කර තිබීමයි.

මේවා සැකකරුවන් මත රැඳවුම් නියෝග පැනවීමටත්, ඔවුන්ගේ නිදහස අහිමි කිරීමටත් විධායකයට හැකියාව ලබා දෙයි. මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වැනි වගන්තිය වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනිය.

අහඹු ලෙස පිහිටුවා නොගත් පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසකගෙන් යුත් ඕනෑම කණ්ඩායමක ක්‍රියා බරපතළ අපරාධ ලෙස පොලිසිය විශ්වාස කළහොත් කුමක් සිදු වේ ද? එවිට එම ක්‍රියාකාරකම් මෙම නීතියට යටත් වන බවට පොලිසිය තීරණය කළහොත් ඉන් ඉතා භයානක ප්‍රතිඵල උදා වෙයි. උදාහරණයක් ලෙස, සාක්ෂි ආඥාපනතේ ඇති ප්‍රධාන ආරක්ෂණ විධිවිධාන අදාළ නොවීම හෝ ලිහිල් වීම (POCA, IV කොටස) පෙන්වා දිය හැකිය. පෙලඹවීමක්, තර්ජනයක් හෝ පොරොන්දුවක් මත ලබා ගන්නා පාපොච්චාරණ අධිකරණයකදී සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවට දැක්වෙන සාක්ෂි ආඥාපනතේ 24 වැනි වගන්තිය එලෙස අදාළ නොවන හෝ ලිහිල් වන එක් ආරක්ෂණ විධිවිධානයකි.

නියෝජ්‍ය පොලිස්පති වරයකුට නොඅඩු නිලයක් දරන නිලධරයකුට මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නැතිව පුළුල්ව නිර්වචනය කර ලද සන්නිවේදන සේවා භාවිතකරන අයගේ අනන්‍යතාවය, කොතැන සිට සම්බන්ධ වන්නේද වැනි තොරතුරු ලබා ගැනීමට 44(4) වගන්තියෙන් අවසර ලැබේ.

සංවිධානාත්මක අපරාධ සිදු කරන බොහෝ දෙනෙකු නීතියට හසු නොවන නිසා හෝ ඔවුන්ට දඬුවම් නොලැබෙන නිසා, මෙය කනස්සල්ලට කරුණක් නොවන බව බොහෝ දෙනා සිතන්නට පුළුවන. එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ මෙම පනත් කෙටුම්පතෙහි භාවිත කර ඇති ඕනෑවට වඩා පුළුල් හා අපැහැදිලි නිර්වචන ය. ඒවා නිසා සංවිධානාත්මක අපරාධවලට කිසිසේත්ම සම්බන්ධ නැති විවිධාකාර පුද්ගලයන් ද මේ නීති දැලට හසු වීමට ඉඩ තිබේ. එමෙන්ම සාක්ෂි ආඥාපනත සහ ඊට අදාළ අනෙකුත් නීති මගින් ලබා දී ඇති ආරක්ෂණ ද ඔවුන්ට අහිමි විය හැකිය. පසුව අධිකරණය මගින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ ද, ඒ වන විටත් පරිපාලනමය රැඳවුම් නියෝග යටතේ සිරගතව සිටීමෙන් ඔවුහු දඬුවම් විඳ අවසන්ය.

විජිත හේරත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, 2025 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කළේ ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව නොවේ. එය භාවිත කළේ සංවිධානාත්මක අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිවය. මෙය හඳුන්වනු ලැබුවේ තාවකාලික පියවරක් හෙවත් තාවකාලික විකල්ප විසඳුමක් ලෙසිනි. එහෙත් මෙය මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට ද ක්‍රියාත්මක විය හැකිය.

බලයේ සිටින ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ විසින් “ත්‍රස්තවාදී” ක්‍රියා ලෙස සැලකිය හැකි බොහෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට සාමාන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකුට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වෙති. PSTA පනත ට ආදේශකයක් ලෙස POCA පනත භාවිත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මෙම නීතියේ බලපෑම අනිවාර්යයෙන්ම අපරාධකරුවන්ට පමණක් සීමා වන්නේ නැත.

මෙවැනි නීතියක් අවශ්‍ය ද?

මෙම නීතිය මගින් කිරීමට අපේක්ෂා කරන බොහෝ දේ දණ්ඩ නීති සංග්‍රහයේ දැනටමත් පවතින, කාලයක් තිස්සේ අත්හදා බලා සාර්ථක බව තහවුරු වූ විධිවිධාන යටතේ සිදු කළ හැකිය. උදාහරණයක් ලෙස, මෙම පනත් කෙටුම්පත පදනම් වී ඇත්තේ “සංවිධානාත්මක අපරාධ කණ්ඩායම” යන සංකල්පය මතය. එහි 66 වැනි වගන්තියට අනුව ඉන් අදහස් වන්නේ, “සෘජුව හෝ වක්‍රව මුදල් හෝ වෙනත් ද්‍රව්‍යමය වාසියක් ලබා ගැනීම සඳහා, බරපතළ අපරාධ එකක් හෝ කිහිපයක් සිදු කිරීමේ අරමුණින් යම් කාලසීමාවක් පුරා පවතිමින් එකමුතුව කටයුතු කරන, පුද්ගලයන් තිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි පිරිසකගෙන් යුත් ව්‍යූහගත කණ්ඩායමකි.”

එම නිර්වචනය රඳා පවතින්නේ “ව්‍යූහගත කණ්ඩායමක්” යන්නෙහි නිර්වචනය මතය. 66 වැනි වගන්තියට අනුව ඉන් අදහස් වන්නේ, “බරපතළ අපරාධයක් ක්ෂණිකව සිදු කිරීම සඳහා අහඹු ලෙස නිර්මාණය නොවූ කණ්ඩායමකි. එහි සාමාජිකයන් සඳහා නිල වශයෙන් (හෝ විධිමත් ලෙස) නිර්වචනය කරන ලද කාර්යභාර, සාමාජිකත්වයේ අඛණ්ඩ පැවැත්මක් හෝ දියුණු සංවිධාන ව්‍යූහයක් තිබීම අවශ්‍ය නොවේ.”

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වරදකට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන සංකල්ප හරහා එම කාර්යය පහසුවෙන්ම ඉටු කර ගත හැකිය. එසේ තිබියදී, එක් නිර්වචනයක් තුළ තවත් නිර්වචන අන්තර්ගත වන මෙවැනි පැටලිලිසහගත නිර්වචන හඳුන්වා දෙන්නේ කුමකට ද? දණ්ඩ නීති සංග්‍රහයට සහ ඊට අදාළ අනෙකුත් නීතිවලට එම කාර්යය ඉටු කළ නොහැක්කේ මන්දැයි අමාත්‍යවරයා අපට පැහැදිලි කළ යුතුය. එසේම, ඒ සඳහාම සම්පූර්ණයෙන්ම අලුත් නීතියක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්නත් ඔහු පැහැදිලි කළ යුතුව තිබේ.

මහජනතාවගෙන් හෝ පාර්ශ්වකරුවන්ගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව, ‘ක්‍රියාමාර්ග වැස්සක් වැස්සවීමේ’ උපායමාර්ගයෙහි කොටසක් ලෙස මෙම නීතිය ගෙන එන්නේ අලුත් වැරදි හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ඇති නිසා නොවේ. එය සිදු කරන්නේ දැනට පවතින නීතිය මගින් පුරවැසියන්ට ලබා දී ඇති ආරක්ෂණ විධිවිධාන මඟහැර යාම සඳහා ආරක්ෂක අංශවලට සහ ආණ්ඩුවට වෙනත් වක්‍ර මාර්ගයක් අවශ්‍ය වී ඇති බැවිනි. මෙම නීති ප්‍රවාහය එකිනෙකට සම්බන්ධයක් නැති, වෙන් වෙන් වූ නීති කෙටුම්පත් සමූහයකින් සමන්විත වූවක් නොවේ. මෙම අවස්ථාවේදී එය ස්වාභාවිකව එකිනෙකට සම්බන්ධ වූ නීති සමූහයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *