NMDA

‘MMDA ප්‍රතිසංස්කරණ: යුක්තිය ජයගත යුතුයි – අපේම ප්‍රජාව තුළ පවා’ මැයෙන් හිටපු ඇමති හා නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි. පරිවර්තනය නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසිනි

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) සඳහා ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පිළිබඳ මාගේ මෑත කාලීන ප්‍රකාශයන් මතභේදයක් ඇති කර තිබේ.

මාගේ ස්ථාවරය පැහැදිලි කරමි: මම උලමාවරුන්ට ගෞරව කරමි. එහෙත්, ගෞරවය අයුක්තියට ආවරණයක් විය නොහැක.

වර්තමානයේ පවතින නීතිය සියලු දෙනාට, විශේෂයෙන් අපගේ කාන්තාවන්ට සේවය නොකරයි. එය වෙනස් විය යුතුයි.

දශක ගණනාවක් තිස්සේ, 1971 සිට, ජමීල්, ෂහබ්දීන්, විනිසුරු මාර්සූෆ්, හලීම්දීන් යනාදී කමිටුවලින් පසු කමිටුවක් ගෙන ආවත්, අපගේ ප්‍රජාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ තවමත් ළඟා විය නොහැකිව තිබේ.

තව කොපමණ කල් බලා සිටිය යුතුද? ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ, අපගේ ජනතාව පද්ධතිය කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසය අහිමි කරනු ඇත.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ, ප්‍රතිසංස්කරණවලට ඇති දැඩිම විරෝධය බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජීවත් වන, එහි ලෞකික නීති පද්ධති යටතේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳින අයගෙන් එන බවයි.

ඔවුන් තමන්ගේම ප්‍රජාවට ආපසු තම රටේ එම අයිතිවාසිකම් අහිමි කරති. එය හුදු අනනුකූලත්වයක් පමණක් නොව, කුහකකමකි.

අපහසු සත්‍යයකටද මුහුණ දෙමු: කාතිවරුන් 60 දෙනාගෙන් 6 දෙනෙකු අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත – එය 10%කි. එය හුදු එක්තරා දුෂ්ටයන් කිහිප දෙනෙකුගේ ගැටලුවක් නොවේ. එය ආතතියට පත්ව ඇති පද්ධතියකි, එයට ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.

මුස්ලිම් නීතියේ නම යොදාගෙන අයුක්තිය වසං කිරීම ඉස්ලාමයේ කරුණාව, වගවීම සහ සාධාරණත්වය වැනි වටිනාකම්වලට කරන පාවාදීමකි.

මෙම ප්‍රතිසංස්කරණ ඇතුළත් නොකළහොත්, අපි ඉස්ලාමීය වටිනාකම් හා නීති පිළිබඳ ව්‍යාජ රුවක් ඉදිරිපත් කරනු ඇති අතර, අප ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් ආගමට සහ වටිනාකම්වලට බරපතල අකටයුතුකමක් කරනු ඇත.

Arunodakaruwo Novel

අවම, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත:

1. විවාහය සඳහා අවම වයස 18ක් වීම

2. කාන්තාවකට තමන්ගේ විවාහ සහතිකයට අත්සන් කිරීමේ අයිතිය

3. ස්ථිර ජීවනාධාරයක් සඳහා විධිවිධාන

4. කයිකුලි (දායාදය) තහනම් කිරීම

5. ජීවනාධාර පිළිබඳ අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණවලට පැවරීම

6. කාසිවරුන් සඳහා අවම සුදුසුකම් සැකසීම

7. කාතිවරුන් ලෙස සේවය කිරීමට කාන්තාවන්ට ඉඩදීම

8. විවාදිත දික්කසාද සාධාරණ, සාක්ෂි පදනම් කරගත් විනිශ්චය සඳහා දිස්ත්‍රික් අධිකරණයට යොමු කිරීම

පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීම අවසන් කර ඇත. නීතිපතිවරයා විසින් එය සහතික කර ඇත. තවත් කිසිදු නිදහසට කරුණක් නැත.

නීතියක් විසින් බියෙන්, පක්ෂග්‍රාහීත්වයෙන් හෝ පූර්ව අගතියෙන් තොරව විශේෂයෙන් පීඩාවට පත්වූවන්ට සහ අවදානමට ලක්වූවන්ට සාධාරණත්වය ලබාදීමට අසමත් වුවහොත් එහි ඒ නීතිය ලියැවුණු කඩදාසියට තරම් වත් වටිනාකමක් නැත.

මෙය ආගමට එරෙහි ප්‍රතිසංස්කරණ ගැටලුවක් නොවේ. එය ඉහළම ආදර්ශ පිළිබිඹු කරන නීති පද්ධතියක් හරහා අපගේ ඇදහිල්ලට ගෞරව කිරීමයි. ක්‍රියා කිරීමට කාලය එළඹ ඇත.

-මොහොමඩ් අලි සබ්රි

Sinhala Tamil English Translations and Content Writing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *