Sri Lanka sinking

කේ

අජිත් පැරකුම් ජයසිංහ

මගේ මිත්‍රයකු වන කේගෙ රසවත් කතාව නොමිලේ කියවන එකට හිලව්වට පහත දැක්වෙන ඡේදයේ තියෙන මගේ අමන කතාවත් ඉවසා වදාරන්න. ඒ නීරස කෙටි ඡේදෙන් පස්සෙ කතාව.

පිටරටවලින් ණය අරන්, රුපියල ශක්තිමත් කරන්නට යොදවලා, ඒ ඩොලර්ම වියදම් කරලා ඉන්ධන ආනයනය කරලා, ඊටත් වඩා අඩු මිලට තමනුත් තෙල් ගහගත්ත බවත්, ඒ ක්‍රමය වෙනස් කරන්නට පාලකයන් දරපු සෑම උත්සාහයකටම තමනුත් විරුද්ධ වූ බවත්, තමන් ද වරෙදහි පාර්ශ්වකරුවන් බවත් තේරුම් ගන්නකල් මේ රටේ ජනතාවට විසඳුම් හමුවෙන්නෙ නැහැ. ජනතාව අහිංසකයන්ය කියලා රවටන නායකයන්ටත් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ.

ජනතාව විදියට අපි දැන් මුහුණදෙන ප්‍රශ්නය දිහා මෙහෙම බලන්නත් පුළුවන්. කේ කියලා පුද්ගලයෙකු ඉන්නවාය කියමු. මිනිහා මගේ පරණ යාළුවෙක්. අන්ත දුගී පවුලකින් පැවත එන කෙනෙක්. ලොකු අධ්‍යාපනයක් ලැබුවෙත් නැහැ. හැබැයි, ප්‍රායෝගික මිනිහා.

ඔහුට කොරියාවේ රස්සාවක් කරන්නට අවස්ථාව ලැබුණා. ඒකෙන් මුදලක් ඉතිරි කරගත් ඔහු ආපසු ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගත්තා. සුපර් මාකට් එකක්. සුපිරිම විදියට දැම්මා. ඒකට ප්‍රාග්ධනය මදිවුණ නිසා බැංකු ණයත් ගත්තා. ඔහුට ඒකෙන් ලෙකු ලාභයක් නැති වුණත්, ඔහු බැංකුවටත්, සමාජයටත් තමන් ඉහළ ලාභයක් ලබන බව පෙන්නුවා. ඒ ලාභයෙන් තමන් සැපට ඉන්න බව පෙන්නන්න හොඳ වාහනයක් ගත්තා. අඩු මුදලක් මුලින් ගෙවලා ලීසිං කරලා තමයි ගත්තෙ. ගෙයත් නවීකරණය කළා. ඒකටත් තව ණයක් ගත්තා.

කේ කැමතියි සංචාරයට. ලංකාවේ ලස්සන තැන් නරඹන්න ගිහින් හොඳ හෝටල්වල නිවාඩු ගතකරලා ඔහු ෆේස්බුක්වල ෆොටෝ දැම්මා. විදේශ රටවලත් සංචාරය කරන්නට පටන් ගත්තා. ඔහුගේ ආදායම් වියදමට ප්‍රමාණවත් නැති නිසා ඔහු බැංකුවත් එක්ක කතාකරලා ආදායම් වැඩිකරගන්නට නගරයේ තවත් තැනක සුපර් මාකට් එකක් විවෘත කළා. දැන් ඔහුගේ සුපර් මාකට් ජාලය වේගයෙන් වර්ධනය වුණා. ඔහු සේවකයන් රැසකට රැකියාත් දුන්නා

කේ දැන් බැංකු ගණනාවක් එක්ක ගනුදෙනු කරනවා. බැංකුත් ඔහු වැනි දියුණු වන බව පෙනෙන ව්‍යාපාරිකයකුට ණය දුන්නෙ හරි කැමැත්තෙන්. ඔහු පවුලේ අයත් එක්ක ලෝකෙ වටේ සවාරි ගසමින් සතුටින් හිටියා. හැබැයි, ණය ගෙවාගැනීම දවසින් දවස අමාරු වුණා. බැංකුවලින් පුළුවන් විදියට ණය ප්‍රතිව්‍යූහගත කරලා දුන්නා. ඒත් ගෙවාගන්න අමාරුයි. සමහර බැංකු ණය ගෙවීම ඔහු මගහැරියා.

ඔය අතරෙ කොවිඩ් ආවා. ණය සහන ලැබුණා. සමහරවිට සුපර් මාකට්වල ලාභය ටිකක් අඩුවුණත්, ඒකෙන් පොඩි තල්ලුවක් ලැබුණා. ඒ වුණත්, එන්න එන්නම ණය ගොඩගැසුණා. ඒත් ඔහු කොහොම හරි ටික ටික හරි ණය ගෙව්වා. ඒ සඳහා බැංකුවලින් ණය ගන්න බැරි නිසා ෆිනෑන්ස් සමාගම්වලින් වැඩි පොළියට ණය ගත්තා. කඩේට බඩුදාන්න එහෙම පොළී මුදලාලිලාගෙනුත් ණය ගත්තා.

එක තැනකදී ඔහුට තේරුණා තවදුරටත් ණය ගෙවාගත නොහැකි බව. ඒ වෙනකොට ඔහුට සුපර් මාකට් ජාලය සඳහා ණයට බඩුගන්නටත්, කඩ කුලී ගෙවන්නටත්, සේවක පඩි ගෙවන්නටත් හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු ඒ බව සියලුදෙනාට දැන්වූවා.

දැන් කඩවල සේවකයන්ට රැකියා බේරගන්න ඕනැ. කඩ හිමියන්ට කුලිය ඕනැ. කඩේට ණයට බඩුදුන්න අයගේ සිට බැංකු දක්වා හැමෝටම ණය ආපසු ඕනැ. කේ මේ ටික බේරලා දෙන්නට නම් බිස්නස් එක දිගටම කරගෙන යන්න ඕනැ. දැන් හැමෝම ක්‍රම හොයනවා කේගෙ බිස්නස් එක පවත්වාගෙන යන්න.

ඔය අතරෙ වාහනය ලීසිං ඇරියස් වෙලා සීස් කළා. ගේත් බැංකුවට සින්න වුණා. කේට පවුලත් එක්ක ගමේ මහගෙදරට යන්නට වුණා.

හැමෝගෙන්ම කේට පීඩනය. මුලදි කේට සියදිවි නසාගන්නට පවා හිතුණා. අන්න ඒ කාලෙ තමයි මට කේව හමුවුණේ. මෑන් මගෙන් ඇහුවා දැන් මොකක්ද කරන්නෙ කියලා.

මිනිහාට මං දුන්න උපදෙස මේකයි. “මචං, උඹයි, උඹේ පවුලයි, පහුගිය අවුරුදු පහේ උපරිම සැපෙන් හිටියනේ. කාලා බීලා, හොඳ ගෙයක ලස්සනට ඉඳලා, හොඳ වාහනයක් පාවිච්චි කරලා, හොඳ හෝටලවලින් කාලා, ලෝකෙ රටේ ඇවිදලා පවුල පිටින්ම ලොකු ආතල් එකක් ගත්තනේ. ඒ නිසා ඒක ගැන සතුටු වෙයන්. උඹ කොරියාවෙ ගිහින් ඇවිත් කිරි හරක් ඇතිකළා නම් උඹ තාම හැන්දෑවට තණකොළ කපනවා. ඒ නිසා දැන් ඔය උඹේ ණයකාරයන් කියන විදියට වැඩකරලා ඉතුරු ටික මොනවහරි කරපන්.”

දැන් ණයකාරයන් මිනිහට පිටරට රස්සාවක් හොයාදීලා. මෑන් දැන් ඉරාකෙ. ගෙදර වියදමටත් සල්ලි එවනවා. පුළු පුළුවන් විදියට ණයත් ගෙවනවා. දැන් ළමයි ලොකුයි. ඒ කාලෙ විඳපු සැප ගැන හිතලා කවුරුත් සතුටු වෙනවා. එක පුතෙක් දැන් හමුදාවට බැඳිලා. දුව ඒ ලෙවල් ඉවර වෙලා ගාමන්ට් කෝස් එකක් කරනවා.

ශ්‍රී ලංකාව මගෙන් උපදෙස් විමසුවොත් මට කේට දීපු උපදෙසම තමයි දෙන්න තියෙන්නෙ. සැපට හිටපු අතීතය ගැන හිතලා සතුටු වෙන්න.

ප.ලි: ළඟදි ආරංචි වුණා කේට කැන්සර් එකක්ය කියලා. සමහර ප්‍රශ්නවලට ලැබෙන විසඳුම් හරි අමුතුයි.