Ajith Perakum YouTube channel

අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ පුරපතිනිය පත්කිරීමේදී කටයුතු කළ ආකාරය කුමන්ත්‍රණකාරී බව ඉතා පැහැදිලිය.

ඔවුන් ප්‍රසිද්ධියේ ඔවුන්ට සහයෝගය දුන් පිරිසට අමතරව තවත් පිරිසක් සමග හොර ඩීල් එකක් ගසාගෙන තිබේ. එම ඩීල් එකේ පිටතට පෙනෙන කාරණය නම්, ඔවුන් ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන්නට එකඟ වී නැති බවයි. ඔවුන් සිය සහයෝගය දක්වන්නේ රහස් ඡන්දයක් හරහා පමණි. විවෘත ඡන්දයක් වී නම්, ඔවුන් මාලිමාවට සහාය පළ කරන්නේ නැත.

එයට හේතු මොනවාද? දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ.

එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය.

එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද?

තමන් කෙසේ හෝ ගේම ගසා දිනූ බවට ජාතික ජන බලවේගයේ නායකයන් පාර්ලිමේන්තුවේදී එහෙම පෑ රංගනයන් කොයි තරම් පහත්ද? නව දේශපාලන සංස්කෘතියක් ගැන කතා ඉවරයි නේද?

අනෙක් පැත්තෙන්, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්වරියගේ චර්යාව ද බරපතල ගැටලු සහගතය. ඇය විසින් කළ යුතුව තිබුණු පරිදි, පවත්වන්නේ රහස් ඡන්දයක්ද, විවෘත ඡන්දයක්ද යන්න සම්බන්ධයෙන් නියෝජිතයන්ගෙන් නම කැඳවා ඡන්දය විමසීම ඇය කූට ලෙස මගහරින ලදි.

ජාතික ජන බලවේගයේ හා කොමසාරිස්වරියගේ චර්යාවටම උඩගෙඩි දෙන පිරිසක් සමගි ජන බලවේගයේ ද සිටියහ. විශේෂයෙන්ම රහස් ඡන්දයට එකඟ වූ පිරිස් අතර මාලිමාව සමග ඩීල් ගැසූ අය ඉන්නට ඇත. නගරාධිපති අපේක්ෂක රීසා සරූක් පවා හැසිරුණ අන්දම ගැටලු සහගතය.

සමගි ජන බලවේගයේ මහජන නියෝජිතයන් ඉතා දුර්වල අය බව පැහැදිලිය. එසේම, ඔවුන්ට නිසි නායකත්වයක්, මාර්ගෝපදේශයක් සමගි ජන බලවේගයේ නායකයන් විසින් සපයා නැති බව ද පැහැදිලිව දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය ඊනියා පිරිසිදු සළු උනා දමා නගර සභාවේ බලය අල්ලා ගැනීම හැම පැත්තෙන්ම හොඳය. දැන් ඉතින් පළාත් පාලනය හරියට කරන්නට ඔවුන්ට කොළඹ නගරයේදී බාධාවක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *