violence against men

පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානයේ ‘පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ගැලවුණ අයට සහාය: වෘත්තිකයන්ට මාර්ගෝපදේශයක්’ වාර්තාව ඇසුරෙනි.

පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයෙහි පැවැත්ම ශ්‍රී ලංකාවේ බොහෝ විට සැලකිල්ලට නොගන්නා වූ හඳුනා නොගත් ප්‍රශ්නයකි. එසේ හඳුනා නොගැනීම එයට ගොදුරුව ගැලවුණ අයට ප්‍රමාණවත් සහාය සහ සේවා අවම වීමට දායක වන හේතුවකි.

ශ්‍රී ලංකාවේ පිරිමින්ට සහ පිරිමි ළමයින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය යනු පොදුවේ සිතනවාට වඩා සුලබ ප්‍රශ්නයකි. 2013 වසරේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක කරන ලද අධ්‍යයනයකදී ප්‍රතිචාර දැක්වූ පිරිමින් 1,658දෙනාගෙන් හතරෙන් එකකට වඩා (28%) ළමා ලිංගික අපචාරවලට මුහුණ දී තිබිණි. ඊට අමතරව, සහභාගි වූ පිරිමින්ගෙන් 12.1%ක් වාර්තා කළේ තමන් සාමාජික වන කල්ලිවලදී පිරිමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන බවයි. ( CARE and Partners for Prevention, Broadening gender: Why masculinities matter – Attitudes, practices and gender-based violence in four districts in Sri Lanka, 2013)

පිරිමින් සහ පිරිමි ළමයින් ලිංගික අපචාරවලට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වන සිද්ධි විශ්වවිද්‍යාල, බන්ධනාගාර, රැඳවුම් කඳවුරු, පාසල්, ආගමික ආයතන, රැකවරණ නිවාස, පොදු ප්‍රවාහනය සහ නිවෙස් වැනි විවිධ පසුබිම්වලින් වාර්තා වේ.

ප්‍රශ්නය හඳුනාගැනීමේ හා ඒ පිළිබඳ ලේඛනගත කිරීමෙ අඩුපාඩුව හේතුවෙන් ක්‍රියාධරයන්, සත්කාර සපයන්නන් සහ පොදු ජනතාව අතර මේ පිළිබඳ ඇත්තේ සීමිත අවබෝධයකි. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවෘත සංවාදයක් නැතිකම සහ බොහෝ විට සිදුවීම් ලිංගික ප්‍රචණ්ඩත්වය ලෙස අර්ථකථනය නොකිරීම සහ විස්තර නොකිරීම නිසා එයින් බේරුණු පුද්ගලයන්ට සිදු වන නිශ්චිත හානි පිළිබඳ තේරුම්ගැනීම වැළැක්වේ.

ලිංගික ප්‍රචණ්ඩත්වය යනු පුළුල් යෙදුමකි. එමගින් පුළුල් පරාසයක ක්‍රියා ආවරණය වේ. ඒ අතරට, දූෂණය, දූෂණයට උත්සාහ කිරීම, ලිංගික අපචාර සහ ලිංගික සූරාකෑම අයත් වේ. ලිංගික ප්‍රචණ්ඩත්වය අර්ථකථනය කර තිබෙන්නේ මෙසේ ය: “නිවස හා සේවා ස්ථානය මෙන් ම වෙනත් ඕනෑම පසුබිමකදී, ඕනෑම පුද්ගලයකු විසින්, වින්දිතයාට තිබෙන සම්බන්ධය කුමක් වුවත්, ලිංගික ක්‍රියාවක්, අනවශ්‍ය ලිංගික ප්‍රකාශයක් හෝ වාසියක් ලබාගැනීමට දරනු ලබන උත්සාහයක් හෝ බලහත්කාරයෙන් තැනින් තැන ගෙන යාමට දරන උත්සාහයක් හෝ එසේ නොමැතිනම්, බලහත්කාරය භාවිතා කරමින් පුද්ගලයකුගේ ලිංගිකභාවයට එරෙහිව සිදු කරනු ලබන ඕනෑම ලිංගික ක්‍රියාවක්.”[උපුටාගැනීම මෙතැනින්] කාරණා තුනක් සම්පූර්ණ වේ නම් නීතිමය නොවන ආකරයට ද පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය අර්ථකථනය කළ හැකි ය:

  • අකැමැත්තෙන් කරනු ලබන ඕනෑම ලිංගික බලහත්කාරයක් හා / හෝ යටපත් කිරීමක්,
  • ශාරීරික හා / හෝ මානසික යහපැවැත්මට තර්ජනයක්,
  • පිරිමි ළමයකු, පිරිමි නව යව්වනයකු හෝ වැඩිහිටියකු සම්බන්ධ වීම

නීතිමය ප්‍රතිසංස්කරණ සහ නඩු නීති යන අංශ දෙකෙන් ම නිශ්චිත ගෘහස්ථ නීතිමය බලය සම්බන්ධයෙන් සැලකියයුතු ප්‍රගතියක් තිබෙනමුත්, ලිංගික ප්‍රචණ්ඩත්වයේ සංස්ථාපක මූලිකාංග තවමත් ජාත්‍යන්තර නීතිය යටතේ පවා අභියෝගයට ලක් වේ. නිදසුනක් ලෙස, ලිංගික ස්වරූපයේ ඇතැම් ක්‍රියා ලිංගික ප්‍රචණ්ඩත්ව අපරාධයක් ද යන්න සම්බන්ධයෙන් තර්ක තිබේ. කාන්තාවන්ටත්, පිරිමින්ටත්, මෙම නිතිමය දෙබිඩිභාවය හේතුවෙන් වගවීමේ දුබලතාවක් ඇති වේ.

ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරන්නා විසින් බලය අපහරණය කිරීම අයත් වේ. ශාරීරික බලය, ප්‍රචණ්ඩත්වය, ලජ්ජාවට පත් කිරීම සහ යටපත් කිරීම එයට අයත් වන්නට හෝ නොවන්නට පුළුවන. කෙසේ වෙතත්, ලිංගික ප්‍රචණ්ඩත්වය හා බලය අතර මෙම සම්ප්‍රදායික සම්බන්ධය මගින් ඇතැම්විට ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා තුළට වැරදිකරුවාගේ ආශාව ඇතුළත් වීමේ හැකියාව ප්‍රතික්ෂේප කිරීම සිදු නොවිය යුතු ය. බේරුණු පුද්ගලයකු වරද කරන්නා විසින් තනිකරගත් බව පිළිගැනීම හෝ ඔහු කිසියම් ආකාරයකින් ආශාවේ වස්තුවක් වී ඇති බව පිළිගැනීම යනු දුෂ්කර සහ සංකීර්ණ සාකච්ඡාවකි. බොහෝ බේරුණු පුද්ගලයන් එය තමන් තුළ හෝ පිළිගැනීමට අකැමැති ය. එහෙත්, අවදානම්සහගතභාවයන් තේරුම්ගැනීම සඳහා සහ බේරුණු පුද්ගලයාගේ විස්තරවල යථාර්ථයට හා එක් එක් බේරුණු පුද්ගලයන් විසින් මුහුණ දෙනු ලබන නිශ්චිත දුෂ්කරතාවලට යුක්තිය ඉටුකිරීම සඳහාත් මෙම සියුම් වෙනස පිළිගැනීම වැදගත් ය.

පුළුල්, එහෙත්, අර්ථකථනය කරන ලද කලාපයක් පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට අන්තර්ගත විය හැකි ය. එයට දූෂණය, ලිංගික අවයව ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය, කප්පාදු කිරීම, වන්ධ්‍යාකරණය, බලහත්කාර ලිංගික ක්‍රියා සහ ලිංගික නින්දා ඇතුළත් වේ. [උපුටාගැනීම මෙතැනින්]  

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අත්අඩංගුවේදී සිදු වන බව වාර්තා වී තිබෙන ප්‍රචණ්ඩත්ව වර්ග:

  • දූෂණය: ශිෂ්නය හෝ බෝතල්, පොලු, පොලිස් බැටන් පොලු වැනි හෝ ද්‍රව්‍ය වින්දිතයාගේ ගුදය හෝ මුඛය තුළට ඇතුළු කිරීම. බලහත්කාර මුඝ සංසර්ගය. ලෝහ කම්බ්, ඇල්පෙනෙති, කුඩා යකඩ බෝල ආදිය මුත්‍රා මාර්ගයට හෝ ශිශ්නයට ඇතුළු කිරීම
  • බලහත්කාරයෙන් ස්වයං වින්දනය කිරීම, බලහත්කාරයෙන් වරද කරන්නා කුල්මත් කරගැනීම, වරද කරන්නන් විසින් වින්දිතයාගේ සිරුරේ හෝ මුඛයේ හෝ ශුක්‍ර මෝචනය කිරීම සහ ශුක්‍ර හෝ මුත්‍ර ගිලින්නට බලකිරීම වැනි වෙනත් ලිංගික ලජ්ජාවට පත්කිරීම්
  • ලිංගික අවයව ලාච්චුවලට දමා වැසීම, ලිංගික අවයවවලට අතින් හෝ පයින් පහර දීම වැනි මොට බලය යෙදීමෙන් පීඩාවට පත්කිරීම
  • වෘෂණ හෝ ශිශ්නය මිරිකීමෙන් හෝ ඇඹරීමෙන් පීඩා කිරීම සහ ශිශ්නය වටා බඳින ලද නූලකින් ඇදීම
  • ලිංගික අවයව පිළිස්සීම හා විදුලි සැර යෙදීම
  • බලහත්කාරයෙන් නිරුවත් කිරීම[උපුටාගැනීම මෙතැනින්]

නීතිය යටතේ කුමන ආරක්ෂාවක් තිබේ ද?

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව, වැඩිහිටියන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ වන විධිවිධාන කීපයක් තිබේ. එහෙත්, පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සියලු ස්වරූප හඳුනාගැනීම අභියෝගයකි.

  • කැපී පෙනෙන අන්දමින්, දූෂණයෙන් ගැලවුණ වැඩිහිටි පිරිමි පුද්ගලයකු හෝ වයස අවුරුදු 16ට අඩු පිරිමි ළමයකු හට දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ සහන සෙවිය නොහැකි ය. එමගින් ආවරණය වන්නේ දූෂණය වූ සහ ව්‍යවස්ථාපිත දූෂණයට භාජනය වූ ස්ත්‍රී වින්දිතයන් පමණි. මෙය දූෂණය පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වය ම අයත් වන පරිදි පුළුල් අන්දමින් අර්ථ නිරූපණය කරන්නා වූ හා පුළුල් පරාසයක ක්‍රියා ආවරණය කරන්නා වූ ජාත්‍යන්තර නීතිය යටතේ ඇති විධිවිධානවලට සහ බොහෝ ප්‍රගතිශීලී නීතිමය විධිවිධානයන්ට පටහැණි ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේදී දූෂණය අර්ථ නිරූපණය කර තිබෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙන් පවා පටු අන්දමිනි. එයට බලහත්කාර මුඛ සංසර්ගය සහ ඩිජිටල් සංසර්ගය ද, වින්දිතයාගේ සිරුර විනිවිදින ශිශ්නය නොවන වෙනත් ශරීර කොටස් ද ඇතුළත් වන්නේ නැත.

වර්තමාන නීතිය යටතේ අදාළ වන විධිවිධාන මෙසේ ය:   

  • බරපතල ලිංගික අපචාර (365 බී කොටස): මෙම විධිවිධානය භාවිතා කරනු ලබන්නේ පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීමට ය. මෙම විධිවිධානය ස්ත්‍රී පුරුෂ වශයෙන් ස්වාධීන වේ. එහි සඳහන් වන්නේ, “ඕනෑම පුද්ගලයකු විසින් ලිංගික සන්තෘෂ්ටිය පිණිස ලිංගික අවයව හෝ මානව ශරීරයේ වෙනත් කොටසක් හෝ කිසියම් උපකරණයක් හෝ සිදුරක් හෝ වෙනත් අයෙකුගේ ශරීරයේ කොටසක් හෝ  භාවිතා කරමින් සිදු කරනු ලබන, දූෂණය යටතට නොගැනෙන ක්‍රියාවකි.” මෙම විධිවිධාන අනුව දූෂණය සම්බන්ධයෙන් පැනවෙන දණ්ඩනය ම පැනවිය හැකි ය. එහෙත්, අපරාධ ධුරාවලියේදී මෙය සැලකෙන්නේ දූෂණයට අඩු අපරාධයක් ලෙසයි.  
  • පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය විශේෂිත ස්වරූපයක් දණ්ඩ නීති සංග්‍රහයේ 311 (බී) කොටස මගින් ආවරණය වේ. එය අදාළ වන්නේ ශිශ්නය හෝ වෘෂණ කෝෂ ඉවත් කිරීම හෙවත් කප්පාදු කිරීමට ය. මෙම විධිවිධානය විසින් මෙම අපරාධය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස අර්ථ නිරූපණය කරන්නේ නැත. එහෙත්, එය පුද්ගලයකුගේ සිරුරට කරනු ලබන දරුණු පීඩාවක් ලෙස සැලකේ. 

භාවිතා කළ හැකි තවත් අමතර විධිවිධානයක් තිබේ. එහෙත්, එය මතභේදකාරී ය. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගාමී දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ඒ වගන්ති යටතේ අස්වාභාවික වරදක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ඕනෑම උත්සාහයකට බලවත් ලෙස විරුද්ධ විය යුතු ය. එයට හේතුව වන්නේ නීතියේ තිබෙන එවැනි විධිවිධාන සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා බැවිනි.  එමගින් පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය වින්දිතයන් මුහුණ දෙන ලජ්ජාව, අපකීර්තිය සහ බිය තවත් වැඩි විය හැකි ය. 

Creative Content Consultants