Law

හිරුනිකාගෙන් චම්පික ඇතුළු සෙසු දේශපාලකයන් උගත යුතු පාඩම

– අජිත් පැරකුම් ජයසිංහ,

හිරුනිකා පැවත එන්නේ දේශපාලන බලය භාවිතා කර නීතිය සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය භාවිතාවක් බවට පත් කරගත් පරපුරකිනි. ලංකාවේ අප පැවත එන්නේ නීතිය යනු අප කරන වැරදි ඔප්පු කිරීම හෝ නොකිරීම සඳහා තිබෙන මෙවලමක් ලෙස සිතන සමාජයකිනි.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී භාරතගේ රියදුරා, හිරුනිකා, රන්ජන් රාමනායක, විනිසුරු පද්මිනී රණවක සම්බන්ධ නීතිය නැවීම හා සම්බන්ධ නාටකයක් තිබේ. ඒ ගැන මෙහි සටහන් කරන්නේ නැත.

හිරුනිකා සමග පුද්ගලයකු පැහැරගෙන ගොස් වධහිංසනයට පත්කිරීමට සම්බන්ධ වූ ඇගේ සේවකයන් කීපදෙනෙකු කල් තබා වරද පිළිගත්හ. අවංක වෙමින්, අධිකරණයේ වටිනා කාලය හා රාජ්‍ය සම්පත් නාස්ති වීම වැළැක්වූ ඔවුන්ට අත්හිටවූ සිරදඬුවම් ලැබිණි. හිරුනිකා සුපුරුදු ලාංකික ක්‍රීඩාව කරගෙන ගිය අතර පරාජය වූවාය. එය අවසන් නැත. අභියාචනා ඔස්සේ ඉදිරියට යනු ඇත. තව බොහෝ වංක හෝ අවංක උත්සාහයන් දරනු ඇත.

ලංකාවේ අපරාධ වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබන්නේ සත්‍ය වැරදිකරුවන්ගෙන් ඉතා සුළු පිරිසකි. පොලිස් විමර්ශනවල දුර්වලකම, සාක්ෂි නිසි පරිදි ඉදිරිපත් කිරීමට අසමත් වීම සහ නීතීඥවරුන්ගේ ඊනියා දක්ෂකම හේතුවෙන් වැඩි පිරිසක් නිදහස් වෙති. හිරුනිකා දිගටම නඩු කියන්නට ඇත්තේ මෙම තත්වය ගැන විශ්වාසය තබමින්ය.

දේශපාලන හා රජයේ නායකයන් බලය අයුතු ලෙස භාවිතා කරමින් නීතියෙන් ගැලවීමට දරන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. නායකත්වය යනු සමාජය විසින් පිරිනමනු ලබන සම්මානනීය තත්වයකි. එකී සමාජ ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජන ගන්නා පුද්ගලයන් ආදර්ශවත් විය යුතුය. එසේ නොවේ නම් ඔවුන් වැඩි අවධාරණයකින් විනයගත කළ යුතුය. එය සමාජයට දෙන ආදර්ශයකි.

යහපාලන ආණ්ඩු සමයේ බලය අවභාවිතා කිරීම සම්බන්ධ තවත් ප්‍රසිද්ධ නඩුවක් තිබේ. ඒ වනාහි චම්පික රණවක විසින් සිදුකළ බව කියන රිය අනතුරක් සම්බන්ධයෙනි. එහි සිද්ධිය ලෙස අධිකරණයට වාර්තා වන්නේ රණවක වරද සිදු කර, පොලිසිය සමග එක් වී එය වෙනුවෙන් සිය රියදුරා ඉදිරිපත් කළ බවයි. එහෙත්, ජංගම දුරකථන සාක්ෂි මගින් රියදුරාගේ දුරකථනය ඔහුගේ ගෙදරත්, චම්පිකගේ දුරකථනය වාහනයේත් තිබුණු බව වාර්තා වී ඇත. මේ සම්බන්ධ නඩු විභාගය දැන් තාවකාලිකව අත්හිටුවා ඇත. චම්පික රණවක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් එයට හේතුවයි. මෙම නඩුව සම්බන්ධයෙන් රියදුරා වරද පිළිගෙන දඬුවම් ලබා නඩුව අවසන් වී තිබියදී චම්පිකගෙන් පළිගැනීම සඳහා අලුත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව චම්පිකගේ තර්කය විය හැකිය. අපට සිතෙන අන්දමට නම් දැන් විමර්ශනය සිදු විය යුත්තේ බලය හා නීතිය අවභාවිතා කිරීම හා අධිකරණය නොමග යැවීම සම්බන්ධයෙනි. එය එසේ වී නම්, රිය අනතුරට වඩා බරපතල තත්වයකි.

ලංකාවේ දේශපාලන නායකයන් යනු බොහෝ විට ආදර්ශවත් පිරිසක් නොවේ. ඔවුන්ගේ බ්ලන්ඩර්වලින් පුරවැසියන් වන අප පාඩම් උගත යුතුය. ජීවිතයේදී අප අතින් වැරදි සිදු වේ. ඒ සඳහා බොහෝ හේතු තිබේ. කෙසේ වෙතත්, වරද වරදමය. වරදට දඬුවමක් අවශ්‍යය. එය සමාජ සම්මතයකි.

වැරදි කිරීම මිනිස් ගතියකි. වැරදි අවම කරගැනීම පුරවැසි ලක්ෂණයකි. වරද පිළිගැනීම හා අවංක වීම සාධාරණ පුරවැසි ලක්ෂණයකි. වරදට සමාව දීමේ පදනම එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *