COVID-19-vaccine

පැණි ලෝලීන්ට එන්නත් ගැන දැනුම

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2021 ජනවාරි 31

ආණ්ඩුවේත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් එක් පිරිසක් විසින් කොවිඩ්-19 වෙනුවෙන් ධම්මික පැණිය වැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කරනු ලැබුවා. ආරක්ෂක අංශ එම මුග්ධ ක්‍රියාවට සම්බන්ධ වූයේ නැහැ. එය යම් කැපීපෙනෙන ලක්ෂණයක්. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිටත් කොවිඩ්-19 ආසාදනය වුණා. එයින් පසු ඇගේ සැමියා මාධ්‍යවලට කීවේ ඇය මාධ්‍ය හමුවේ බොරු රංගනයක් කළා මිස පැණිය නිසි අන්දමින් පාවිච්චි නොකළ බවයි. මාධ්‍ය එම ප්‍රකාශයට ද ප්‍රචාරය ලබාදෙමින් මහජනයා ගොනාට ඇන්දවීම දිගටම කරගෙන ගියා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් ඉන්දියාව විසින් අපට පරිත්‍යාග කළේ ඒ අතරවාරයේයි.

Translations by Creative Content Consultants

ජනගහණයෙන් 35%කට කොවිඩ්-19 එන්නත දැනට නියම නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසනවා.

අවුරුදු 20ට අඩු අය, ගැබිණි මාතාවන්, කිරිදෙන මව්වරුන් මෙරට ජනගහනයෙන් 35%ක් වේ. ඉතිරි 65%න් 50%ක් යනු එන්නත ලබාගත හැකි කොටසෙන් 80%ක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත නියම කරන්නේ ඔවුන්ට බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවා. මිලියන 11.5ක ජනගහනයකට ශ්‍රී ලංකාවේදී එන්නත ලබාදීමට නියමිතයි.

එන්නතක් කියන්නේ, කිසියම් රෝගයක් සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය නිර්මාණය කරන නිෂ්පාදනයක්. එය රෝගයකින් මිනිසුන් ආරක්ෂා කරගැනීමේ සරල, ආරක්ෂිත හා ඵලදායී ක්‍රමයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. පහත දැක්වෙන කරුණු අප උපුටාගෙන පරිවර්තනය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛන ඇසුරෙනුයි.

විශේෂිත ආසාදන සිදුකරන විෂබීජවලට අප ගොදුරු වීමට පෙර, ශරීරයේ ස්වාභාවික ආරක්ෂණය භාවිතා කර ශරීරය තුළ ඒවාට ප්‍රතිරෝධය නිර්මාණය කිරීමයි එමගින් කරන්නේ. එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර, වයිරස සඳහා කල්තබා සූදානම් කිරීමේ පියවරක්.

ඇතැම් එන්නත්වල තිබෙන්නේ එම රෝගය ආසාදනය කරන විෂබීජයමයි (උදා: සරම්ප එන්නතෙහි අඩංගු වන්නේ සරම්ප වයිරසයයි). හැබැයි, එම විෂබීජ මර්දනය කර දුර්වල කර තිබෙන නිසා එමගින් එන්නත ලබාගන්නා පුද්ගලයාට ඇතිවන්නේ සුළු රෝග තත්වයක්. සමහර එන්නත්වල රෝගබීජවල ශේෂ තිබෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම සඳහා එම එන්නත් විසින් විවිධ රෝගවාහකයන් භාවිතා කරනවා. උදාහරණයක් ලෙස, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා (Oxford AstraZeneca) එන්නත රෝගවාහකය ලෙස භාවිතා කරනුයේ චිම්පන්සි ඇඩිනෝවයිරසයයි. එමගින් මානව සිරුරෙහි කොවිඩ්-19 වයිරසයේ බාහිරව තිබෙන ස්පයික් ප්‍රෝටීන නිෂ්පාදනය උත්තේජනය කරනවා. වෙනස් කරන ලද මෙම රෝගවාහක වයිරසයට මිනිස් ශරීරය තුළ වර්ධනය වීමේ හැකියාවක් නැහැ.  

එන්නත් විසින් කරනු ලබන්නේ සිරුර තුළ නොපවතින ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනවා. එය රෝග බෝකරන විෂබීජවලට බොහෝදුරට සමානයි. ඔබගේ සිරුර විසින් ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය තර්ජනයක් ලෙස සලකන නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්‍රතිදේහ (antibody) නිපදවනවා.

ලංකාව පළමුව පාවිච්චි කිරීමට යන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා (Oxford AstraZeneca) එන්නත විසින් සිරුරට ලබාදෙන්නේ වයිරසයේ රූපවල දක්නට ලැබෙන කූරු වැනි කොටස්වල තිබෙන ප්‍රෝටීන ජානයි. එමගින් සෛලවලට එම ප්‍රෝටීනවල පිටපත් නිෂ්පාදනය කිරීමට උපදෙස් දෙනවා. ශරීරය විසින් එය ප්‍රතිදේහ ජනකයක් ලෙස සලකා ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ලබාදෙනවා.

එන්නත්වලින් පසු ඔබගේ සිරුර විසින් රෝග සාදන විෂබීජ පිළිබඳ මතක තබාගන්නවා. එපමණක් නොවෙයි, රෝගබීජවලට නිරාවරණය වූ විට එයට එරෙහිව සටන් කරන ආකාරය මතක තබාගනු ලැබේ. එම නිසා, එන්නත ලබාගැනීමෙන් පසු ප්‍රතිශක්තිය ඇති වෙනවා. අනාගතයේදී විෂබීජයට නිරාවරණය වුවහොත්, එම රෝගබීජය විසින් ඔබ රෝගීබවට පත්කිරීමට පෙර ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය විසින් එය ක්ෂණිකව විනාශ කරනවා.  රෝගයකට ප්‍රතිකාර කරන හෝ සුවකරන වෙනත් ඖෂධ මෙන් නොව, එන්නත් විසින් රෝගබීජ වළක්වනවා.

මිනිස් ඉතිහාසය කියන්නේම වසංගත සමග සටන් කළ ඉතිහාසයක්. ඇසට නොපෙනෙන මේ සතුරාට එරෙහිව මේ තරම් සියුම් විදියට සටන් කරන්නට අපට හැකි වුණේ මිනිස් බුද්ධියේ තිබෙන විශිෂ්ටත්වය හා විද්‍යාව නිසායි. එහෙම බුද්ධියක් ඇයි අපි අවභාවිතා කරන්නෙ? මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.

Translations