English letters

සුන්දර ඉංගිරිසි: බකප් එක

අජිත් පැරකුම් ජයසිංහ

බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ.

මෙය තත්සම ඉංග්‍රීසි වචනයක්. ඉංග්‍රීසියේ තිබෙන පහත දැක්වෙන වචනය තමයි, සිංහලේ බකප් එක කියලා භාවිතා කරන්නේ. කොලින්ස් ශබ්දකෝෂයෙන් එහි අරුත බලන්න

buck up – phrasal verb

ඉංග්‍රීසියේ මෙය නාමපදයක් ලෙස භාවිතා වන්නේ නැහැ. ඒත්, සිංහලේ එය ක්‍රියාපදයක් ලෙස භාවිතා වන්නේ නැහැ. බකප් කරනවා කියා කියන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ බකප් එක දෙනවා කියායි.

මතක තියාගන්න, මේ වචනය හැදිලා තියෙන්නෙ back up මගින් නෙමෙයි. ඒත්, මේ වචනය සිංහල භාෂාවේ භාවිතයට ආපු කාලයේ නම් එහි අරුතත් බකප් අරුතට සමීපයි. දැන් නම් බැකප් වැඩිපුර භාවිතා කරන්නේ පරිගණක භාෂාවේදීයි. ඒ අමතර පිටපතක් සේව්කර තබාගැනීමටයි.