IMF

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 808ක දැවැන්ත මුදලක් රටින් පිටවී හෝ අතුරුදන් වී ඇති බවට ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කළ පිටු 143කින් යුත් වාර්තාවක මේ බව පැහැදිලිව සඳහන් වන බවත්, 2025 වසර සඳහා එය ඩොලර් මිලියන -808 ක් ලෙස සටහන්ව ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ඉදිරි වසර සඳහා එය ‘බිංදුව’ (0) ලෙස සටහන් කර ඇති බවත්, එයින් මෙම මුදල සැබැවින්ම රටින් පිටවී ඇති බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නමුත් මේ කියන ඩොලර් මිලියන 808ක මුදල ඇත්තටම මහ බැංකුවෙන් අතුරුදන් වූවක්ද? මේ පිළිබඳ සැබෑ ආර්ථික විද්‍යාත්මක පසුබිම Praja.lk අපි මෙසේ විමසා බලමු.

මොකක්ද මේ ඩොලර් මිලියන 808?

මන්ත්‍රීවරයා උපුටා දක්වන IMF වාර්තාවේ කොටස වන්නේ “ගෙවුම් ශේෂය” (Balance of Payments – BoP) පිළිබඳ සංඛ්‍යාන සටහනයි. රටකට ලැබෙන සහ රටින් පිටවන සියලුම විදේශ විනිමය ගනුදෙනු වල සටහන ගෙවුම් ශේෂය ලෙස හැඳින්වේ. න්‍යායාත්මකව, මෙම ගිණුම්කරණයේදී ලැබීම් සහ ගෙවීම් සමාන විය යුතු අතර එහි අවසන් අගය ‘බිංදුව’ විය යුතුය.

නමුත් ප්‍රායෝගිකව රේගුව, සංචාරක මණ්ඩලය, බැංකු පද්ධතිය වැනි විවිධ ආයතන වලින් දත්ත ලැබීමේදී සිදුවන ප්‍රමාදයන්, විනිමය අනුපාත වෙනස්වීම් සහ ගණනය කිරීම් වල කාල පරතරයන් හේතුවෙන් මෙම ලැබීම් සහ ගෙවීම් කිසිදාක හරියටම සමතුලිත වන්නේ නැත. මෙසේ ගැලපෙන්නේ නැති වන අගය ගිණුම්කරණයේදී සමතුලිත කිරීම සඳහා යොදාගන්නා පදය වන්නේ “ශුද්ධ දෝෂ සහ අත්හැරීම්” (Net errors and omissions) යන්නයි.

දයාසිරි ජයසේකර මහතා උපුටා දක්වන්නේ මෙම සංඛ්‍යානමය වෙනස පෙන්වන අගයයි. එය 2025 වසරේදී ඩොලර් මිලියන -808 ක් ලෙසද, ඊට පෙර වසරේදී -254 ක් ලෙසද සටහන් වී ඇත. මෙයින් අදහස් වන්නේ රටේ සමස්ත ආනයන, අපනයන සහ විදේශ ගනුදෙනු වාර්තා කිරීමේදී ඇතිවූ සංඛ්‍යානමය පරතරය මිස මහ බැංකුවේ සේප්පුවෙන් අතුරුදන් වූ හෝ හැකරුන් විසින් සොරාගත් මුදලක් නොවේ.

ඉදිරි වසර සඳහා ‘බිංදුව’ (0) සඳහන් කර ඇත්තේ ඇයි?

මෙම අගය ඉදිරි වසර වලදී ‘0’ ලෙස තිබීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයද ගිණුම්කරණ න්‍යායන් පිළිබඳ නොදැනුවත්කමකි. “ශුද්ධ දෝෂ සහ අත්හැරීම්” යනු අතීතයේ සිදුවූ ගනුදෙනු වල දත්ත ගැලපීමේදී මතුවන දෝෂයකි. අනාගතයේදී සිදුවිය හැකි දත්ත ගැලපීමේ දෝෂයක් කල් තියා පුරෝකථනය කළ නොහැකි බැවින්, අනාගත වර්ෂ සඳහා මෙම තීරුව සෑමවිටම IMF සහ මහ බැංකු වාර්තා වල ‘0’ ලෙස සටහන් කිරීම සම්මත ක්‍රමවේදයයි.

නිගමනය

ඒ අනුව, IMF වාර්තාවේ සඳහන් වන ඩොලර් මිලියන 808ක සටහන යනු සාමාන්‍ය ගෙවුම් ශේෂ ගිණුම්කරණයේදී යොදාගන්නා “ශුද්ධ දෝෂ සහ අත්හැරීම්” නැමැති සංඛ්‍යානමය සමතුලිත කිරීමේ අගයක් පමණි. එයින් කිසිසේත්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ රජයෙන් මුදල් සොරකම් කිරීමක්, හැක් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස රටින් පිටවීමක් අදහස් නොකෙරේ.

Creative Content Consultants Ad

Leave a Reply

Your email address will not be published. Required fields are marked *